*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

දුෂිත පැරණි ආර්ථික ක්‍රමය සහ ඉලක්කම්. නව ක්‍රමයක් සහ ඉලක්කම් සොයමු. ක්‍රම වෙනස ඥාණාන්විතව කළමනාකරණය කරමු.

ලිපියේ පසුබිම 

  • මෙම කෙටි ලිපියේ අරමුණ පසුගිය දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකා රජයන් විසින් අනුගමනය කරන ලද ආර්ථික ක්‍රමය සහ එහි කාර්යසාදනය ඇගයීම සඳහා ගෙන හැර දැක්වූ ඉලක්කම් පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කිරීම යි. 
  • එය, වර්තමානයේ නව ක්‍රමයක් ඉදිරිපත් කිරීමට වෙහෙසන නායකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.
  • එහෙත්, සමහර නව නායකයන් සහ ඔවුන්ගේ උපදේශකයන් විසින් ද එම ඉලක්කම්ම කියා පෑමෙන් පෙනෙන්නේ, නව ක්‍රමයක් තවම සොයන බව යි.

පැරණි ආර්ථික ක්‍රමය

  • ආර්ථික විද්‍යාවට අනුව ආර්ථික ක්‍රමයක් යනු මිනිස් වුවමනාවන් ඉටු කිරීම සඳහා කුමක්, කෙසේ, කොපමණ, කා සඳහා නිෂ්පාදනය කෙරේ ද? යන්න තීරණය කෙරෙන ක්‍රමය යි.
  • පැරණි ආර්ථික ක්‍රමය ලෙස ශ්‍රී ලංකාවේ දැක්වෙන්නේ, රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ රාජ්‍ය නියෝජිත වෙළෙඳපොළ ක්‍රමයකි. එනම්, ආර්ථිකය ක්‍රියාත්මක වූයේ, රජයට සම්බන්ධ පාර්ශවයන් කිහිප දෙනෙකු විසින් ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාකාරකම් පාලනය කෙරෙන වෙළෙඳපොළ ක්‍රමයකි. ලිබරල් හෝ ධනවාදී හෝ සමාජ වෙළෙඳපොළ හෝ ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදී හෝ ලෙස විවිධ දේශපාලනික නම්වලින් හැඳින් වූ මෙය, හුදෙක් IMF, ලෝක බැංකුව, ලෝක වෙළෙඳ සංවිධානය සහ ඇමෙරිකානු සංචිත බැංකුව හරහා ක්‍රියාත්මක වන වොෂින්ටන් එකඟතාවයේ (Washington Consensus) දිගුවකි.
  • එබැවින්, රටේ මුදල් සහ ණය ව්‍යාප්තිය, පොලී අනුපාතය, රාජ්‍ය ණය, රාජ්‍ය වියදම්, විදේශ සංචිතය, විනිමය අනුපාතය සහ මිල ගණන් වැනි සියළු පාදක ආර්ථික කළමනාකරණ මෙවලම් ඔවුන්ට හිතකර ලෙස මෙහෙය වන ලදි. ඊට හේතුව, එමගින් හොඳ ආර්ථික කාර්යසාදන ඉලක්කම් සකසා ගැනීම යි.
  • වෙළෙඳපොළ ක්‍රමයක දී පොදුජනයාට ආර්ථික වාසි ලැබෙන්නේ, ව්‍යවසයාකයන්ගෙන් පිටතට සහ පහළට කාන්දු වන ආදායම හෝ ප්‍රතිලාභ හරහා ය. එනම්, මහජනයා විසින් ශ්‍රමය සහ අමුද්‍රව්‍ය වැනි නිෂ්පාදන සාධක ව්‍යවසයාකයන්ට සැපයීමෙන් ලැබෙන සේවා නියුක්ති ආදායම යි. ඉන් කොටසක් රජය විසින් වැට් සහ පේයී බදු හරහා උකහා ගනී. 
  • එබැවින්, පැරණි ක්‍රමය තුළ පොදුජනයා ලැබූ ආර්ථික සුබසාදනය හුදෙක් රජයේ නියෝජිත නිෂ්පාදන ක්‍රියාකාරකම්වලින් පිටතට සිදු වන මුදල් කාන්දු ප්‍රමාණය මත තීරණය විය.

ආර්ථික කාර්යසාදන ඉලක්කම්

  • පැරණි ක්‍රමයේ කාර්යසාදනය පිළිබඳ නිරන්තරයෙන් රජය දැක්වූ ඉලක්කම් වූයේ, ආර්ථික වර්ධන අනුපාතය, ඒක පුද්ගල ආදායම, උද්ධමනය, විදේශ සංචිතය, විනිමය අනුපාතය සහ අයවැය හිඟය යි. 
  • 2022 ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථික ස්ථායිකරණය හුවා දැක්වීම සඳහා තවත් ඉලක්කම් ටිකක් භාවිතා කරන ලදි. එනම්, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරණය, ණය තිරසාරභාවය, අයවැය ජංගම ගිණුමේ ශේෂය සහ බදු ප්‍රතිශතය යි.
  • රජය විසින් ආර්ථිකය කළමනාකරණය කිරීමේ හෝ වෙළෙඳපොළවලට මැදිහත් වීමේ හුදු අරමුණ වනුයේ, පොදු මහජනයාගේ ජීවන තත්ත්වය ක්‍රමානුකූලව ඉහළ දැමීම යි. එහෙත්, ඉහත දැක්වූ ඉලක්කම්වලින් එවැන්නක් අවබෝධ කර ගත නොහැකි බව කිව යුතු නැත. 
  • 2022 අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් රට නැවත ස්ථායිකරණය කළ බවට, ඉහත දැක්වූ ආර්ථික ඉලක්කම් මගින් පුන පුනා පැවසූ පසුගිය රජය ජනාධිපති මැතිවරණයෙන් පරාද වූයේ එබැවිනි. එය, හුදෙක් ආර්ථික ඉලක්කම්වල වරද නොව, එම ඉලක්කම් සැකසීමට රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවලින් පොදු මහජනයාගේ ජීවන තත්ත්වයට වැදුන පහරේ ප්‍රතිඵලයකි. එබැවින්, ඉලක්කම් හොඳටම හොඳ වුවත්, රජයට ගෙදර යාමට සිදු විය.
  • එහෙත්, එම ස්ථායිකරණ ප්‍රතිපත්ති තුළින් ආර්ථිකය මෙහෙයවන රාජ්‍ය පාර්ශව කරුවන්ගේ සුබසාදනය ඉහළ ගිය බව, එම ඉලක්කම් දෙස බැලීමෙන් පැහැදිලි ය.
  • හුදෙක් ආර්ථික වර්ධනය හෝ ඒක පුද්ගල ආදායම ඉහළ යාමෙන්, පොදු මහජනයාගේ ජීවන තත්ත්වයට ඵලයක් නැති බව, ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නොමැති කෙනෙකුට පවා අවබෝධ වෙයි. විදේශ සංචිතය ඉහළ යාම හෝ විනිමය අනුපාතය පහළ යාමෙන් සෘජු වාසි ලැබෙන්නේ ව්‍යාපාරික ආනයන කරුවන්ට සහ විදේශ සේවා ලබා ගන්නා ධනවත් පිරිසට ය. පොලී අනුපාතය පහළ යාමෙන් වාසි ලැබෙන්නේ, බැංකු ණය නොඅඩුව ලැබී, ව්‍යාපාරික කටයුතු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ය. එබැවින්, ඒවායේ ප්‍රතිඵල පහළට කාන්දු වීමෙන්, පොදු මහජනයාට ආර්ථික වාසි ලැබෙන බව සිතා සතුටු වීම  හෝ විශ්වාස කිරීම, නූතන මානව සමාජයට නොවටිනා දෙයකි.

නව ආර්ථික ක්‍රමයක් පිළිබඳ යෝජනාවන්

  • මේ දිනවල නව පාලක පංතිය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන බොහෝ නායකයන් විසින් ආර්ථිකය නැවත බංකොලොත් නොවන, මහජන ජීවන තත්ත්වය ඉහළ යන නව ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අදහස් දක්වන බව නොරහසකි.
  • එහෙත්, එම අදහස් ද පැරණි ක්‍රමය යටතේ හඳුන්වා දුන්  IMF ණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අයවැය කප්පාදුව, නව විදේශ ණය හරහා විදේශ සංචිතය ගොඩ නැගීම සහ විනිමය අනුපාතය පහළ දැමීම පවත්වා ගැනීමේ කැමැත්ත මත පදනම් වී ඇත. එබැවින්, සමහර නව නායකයන් විසින් ද තම කාර්යසාදනය පෙන්වීම සඳහා පැරණි ආර්ථික ඉලක්කම් කිහිපය එලෙසම භාවිතා කරන බව දැකිය හැකිය. ඊට හේතුව, පැරණි ක්‍රමයේ නියෝජිතයන් තවමත් රජය මෙහෙයවන බැවිනි.
  • එබැවින්, නව නායකයන් විසින් පොදු මහජනතාවට වඩාත් හිතකර නව ආර්ථික ක්‍රමයක් ඉදිරිපත් කෙරේ නම්, එමගින් පොදු මහජන ජීවන තත්ත්වය ඉහළ නැංවෙන ආකාරය ඇගයීමට උපකාරී වන ආර්ථික ඉලක්කම් ගොන්නක් ද ප්‍රසිද්ධ කිරීම යෝග්‍ය වනු ඇත. මෙහි දී, මුදල්, ණය, ආදායම, රැකියා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය මහජනයා අතර සිදු වන ව්‍යාප්තිය නිරූපණය කෙරෙන ඉලක්කම් අත්‍යාවශ්‍ය ය. ක්‍රමය කුමක් වුවත්, මහජන ජීවන තත්ත්වයේ දිසාව හඳුනා ගැනීම සඳහා එම ඉලක්කම් අතිශය වැදගත් වෙයි.
  • එසේ නැත්නම්, වොෂින්ටන් එකඟතාවය තුළ තවදුරටත් ආර්ථිකය මෙහෙය වීමෙන්, නව නායකයන්ගේ ජාතික තිරසාර භාවය පිළිබඳ ව අවදානම් හට ගනු ඇත.
  • උතුරු වියට්නාමයේ හෝචින් මින් විසින් දකුණු වියට්නාමයේ පැවති ඇමෙරිකානු ධනවාදයට එරෙහිව 1960 ගණන්වල මහජනයා පෙළ ගස්වා සිදු කළ බිහිසුණු කොමිනිස්ට් විප්ලව වාදී සටනෙන් දශක කිහිපයකට පසු, වියට්නාමය නැවත ඩොලර් ප්‍රමුඛ ඇමෙරිකානු ධනවාදී ආර්ථික ක්‍රමය තුළින් දියුණු වීමට කරන උත්සාහය මෑත කාලයේ දැකිය හැකිය. 1950 ගණන්වල සිදු වූ කොරියානු යුද්ධයෙන් පසු උතුර කොමිස්නිස්ට් ඒකාධිපති ක්‍රමයත්, දකුණ විසින් ඇමෙරිකානු ධනවාදී ක්‍රමයත් අනුගමනය කිරීමෙන්, වත්මන් දකුණු කොරියාව ඉතා සංවර්ධිත රටක් බවට පත් වී, උතුරු කොරියාව ලෝකයෙන් හුදකලා වී ඇත. 
  • එබැවින්, “ක්‍රම වෙනස” (System Change) කළමනාකරණය  කිරීම යනු අති මානුෂීය මෙහෙයවුමකි. ඊට හේතුව, එහි ප්‍රතිලාභ හෝ පිරිවැය දැරීමට සිදු වන්නේ, පොදු මහජනතාවට වීම යි. එහෙත්, ක්‍රම වෙනස සඳහා මහජන බලය ලබා ගෙන, පසුව යටි කුමන්ත්‍රණ හේතුවෙන් එය නොහැකි වූ බව පැවසීම හුදෙක් මහජන විශ්වාසය බිඳ දැමීමකි. ඊට හේතුව, ක්‍රම වෙනසට මහජනයා බලය දී ඇති බැවින් එම බලය නිසි ලෙස භාවිතා කිරීමට අසමත් වීම යි. මහජනයා විසින් ඒ පිළිබඳ ව මෑත කාලීන අත්දැකීම් නොඅඩුව විඳ ඇත.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan