…..”සිංහලෙන් කවි ලියන සමකාලීන මොහොත යනු කෙටියෙන් ලියන කවිය අරභයා වන සංවාදය පැල්මක රැඳුණු මොහොතකි. කවියේ සංක්ෂිප්තකරභාවය අරභයා මෙන් ම සන්දර්භයෙන් වියුක්ත සෙල්ලකාරී හයිකු පෙළහරපෑම් අරභයා අධිනිෂ්චය වුණු අදහස් පද්ධතියක් කාලාන්තරයක් පුරා සිංහලෙන් කියවන ලියන සංස්කෘතික කලාපයේ දක්නට ලැබේ. මෙම සංක්ෂිප්තකර කාව්‍ය ලිවීම්වලට මෙන්ම ‘නිවර්ථනකාරී’ හයිකු ලිවීම්වලට අරක්ගෙන සිටන පොල්මංකාර ගුරුකුල හා ඒවා කරගහනෙ සිටින සිංහල ශාස්තෘවරුන්, තම අඩවියේ කරක් ගැසීමට තබා ඊට අත තැබීමටවත් සනුහරයෙන් පිට නාඳුනන ලියන්නන්ට ඉඩ තබන්නේ නැත.
විජය නන්දන පෙරේරා නම් සුධීමත් සහෝදර කවියාගේ ‘සහස්පත්’ මා අත පත් වන්නේ එවන් පසුබිමක ය. ඔහුගේ දැනුම්, හැඟුම්, හෙළුම්, විදුම්, රැඳැවුම් අතර එකෙල මෙකෙල වෙමින් සිටියදී මෙවන් කවක් හමුවෙයි.
‘බිඳුණු
බැම්මකත්
මලක්’
කාව්‍ය නූතනවාදයට රූපිකමය ප්‍රවේශයක් ගත් කෙටි කවිය හමුවන්නේ ලංකාවේ තැන් තැන් වල වන ශිලා පුවරු මතින් හෝ සීගිරියේ කැටපත් පවුරින් නොව දාර්ශනික සෙන් බෞද්ධ පදනමක රැඳුණු ජපන් හොක්කු නොහොත් හයිකු හරහා බව පළමුකොටම අප පිළිගත යුතු ය. උක්ත කවියෙහි යෝජිත පැල්ම ඔස්සේ විජය නන්දන කවියාගේ ‘සහස්පත්’ වෙත පිවිසෙන්නට කුඩා දොර කවුළුවක් විවෘත කරලීම පිණිස කිසියම් සංවාදයක් ඇති කරලීම මෙම රචනාවේ ආරම්මණයයි.”………………
++++
ඉහතින් උපුටනය කෙරුණේ විජය නන්දන පෙරේරා නම් මා සමකාලීන සුමිත්‍රික කවියාගේ ‘සහස්පත්’ කෙටිකවි සමුච්චය අරභයා ම විසින් ලියැවුණු තරමක දීර්ඝ රචනාවේ ප්‍රවේශකර තර්කනය යි.
කෘතිය සහෘද විචාරක පර්ෂද් වෙත ගෙන එන්නට ‘සිලිකා ප්‍රකාශන’ කටයුතු කර තිබේ.
කෘතියේ ආත්මය පරාවර්තනය කළ පිට වැස්ම රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ ශ්‍රමයෙනි.
~ මංජුල වෙඩිවර්ධන
RN