ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්රිත නීතිවිරෝධී ක්රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්රදේශය කේන්ද්ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්යාංශය සඳහන් කරයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී ඇති අතර ඔහු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව සඳහන්.
සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක් හා උණ්ඩ 24ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පවසයි.
මිගලෑව ප්රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකය හා වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමේදී පසුගිය (18) පස්වරුවේ සැකකරුව අත්අඩගුවට ගත් අතර ඔහු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කාවන්තිස්ස ඇතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර නිලධාරින් කණ්ඩායමක් උස්ගල, සියඹලාන්ගමුව ප්රදේශය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
පරිසර අමාත්යාංශයේ පැමිණිල්ලකට අනුවයි එම විමර්ශනය සිදුවන්නේ.
මේ අතර සිද්ධිය අදාළව අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන්ගෙන් වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව ප්රශ්න කරමින් සිටින අතර අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේද යන්න පිළිබඳව සොයා බැලීමටද විමර්ශන පුළුල් කර ඇති බව දැක්වෙයි.


