රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :
ලොව ඇති විශිෂ්ටතම මැණික් වර්ග ලබා දෙන ප්‍රභවයක් ලෙස ශ්‍රී ලංකාවට සියවස් ගණනාවක් පුරා පැවති කීර්ති නාමය නැවත වරක් අවධානයට ලක්ව තිබේ. ඊට හේතුව වී ඇත්තේ, මෙතෙක් සොයාගෙන ඇති අතිවිශිෂ්ටතම නිධන් එකතුවක් තුළ ශ්‍රී ලංකාවෙන් ලබාගත් දුර්ලභ නිල් මැණික් (sapphires) සහ රතු මැණික් (rubies) අඩංගු වීමයි.
මීට සියවසකට පමණ පෙර ලන්ඩනයේදී සොයාගන්නා ලද, මිල කළ නොහැකි මැණික්, ආභරණ සහ වටිනා භාණ්ඩ 500කින් පමණ සමන්විත “චීප්සයිඩ් හෝඩ්” (Cheapside Hoard) නම් සුප්‍රසිද්ධ නිධන් එකතුව, ලබන මාසයේ සිට ලන්ඩන් කෞතුකාගාරයේ (London Museum) අලුතින් විවෘත කෙරෙන ‘ගෝල්ඩ්ස්මිත්ස් ගැලරිය’ (Goldsmiths’ Gallery) තුළ ස්ථිර ප්‍රදර්ශනයක් ලෙස තැන්පත් කෙරේ.
එලිසබෙත් සහ ජේකබියන් යුගයට අයත්, අදටත් ඉතිරිව පවතින විශිෂ්ටතම ආභරණ එකතුවක් ලෙස සැලකෙන මෙය, ලොව පුරා විවිධ ප්‍රදේශවලින් ලබාගත් වටිනා මැණික්වලින් සමන්විත වේ. සියවස් ගණනාවකට පෙර යුරෝපය, ආසියාව සහ වෙනත් කලාප අතර පැවති පුළුල් ජාත්‍යන්තර වෙළඳ ජාලයන් පිළිබඳව මින් මනාව පැහැදිලි වේ.
මෙම නිධන් අතර ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ලබාගත් නිල් මැණික්, ස්පිනල් (spinels), දියමන්ති සහ රතු මැණික් මෙන්ම, චීනයෙන් ලබාගත් නෙෆ්රයිට් ජේඩ් (nephrite jade), පර්සියාවෙන් ලබාගත් ටර්කියුොයිස් (turquoise), මුතු, ඕපල් (opals) සහ ඓතිහාසික වශයෙන් වැදගත් මැණික් හා ආභරණ රැසක් ද ඇතුළත් වේ.
1912 වසරේදී, ඓතිහාසික ලන්ඩනයේ ‘චීප්සයිඩ්’ (Cheapside) හි අංක 30-32 දරන ස්ථානයේ පිහිටි බිම් මහලක (cellar) බිම හාරමින් සිටි සේවකයෙකුට, දිරාපත් වූ ලී පෙට්ටියක් වැනි දෙයක් හමුවීමත් සමඟ මෙම නිධන් එකතුව සොයා ගැනුණි. වාර්තා වන පරිදි, මෙම බිම් මහල වසර 270ක් පමණ කාලයක් තිස්සේ කිසිවෙකු විසින් විවෘත කර නොතිබුණි.
එම පෙට්ටිය තුළ වටිනා පුරාවස්තු සිය ගණනක් තිබූ අතර, ඒ අතර විශාල කොලොම්බියානු මරකත මැණිකක් (emerald) තුළ ඔබ්බවන ලද ඉතා සියුම් ලෙස නිමවා ඇති රන් ඔරලෝසුවක් සහ පැරණි මැණික් එකතුවක් ද විය. මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන නිර්මාණයක් වන්නේ, ක්‍රි.පූ. 2 වන සහ 1 වන සියවස් අතර කාලයේ ඊජිප්තුවේ නිර්මාණය වූවා යැයි සැලකෙන, ටොලමයික් (Ptolemaic) රාජවංශයට අයත් රැජිනකගේ හිස නිරූපිත කැටයමයි.


