අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ

අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම වෙන්න හේතුව උනේ එකක් ඔහු ඒ වෙද්දී ‘සම්ප්‍රදායික දේශපාලනය’ කියන දේ නියෝජනය කිරීම. අනික ඔහු අරගලයේ පරමාදර්ශ එක්ක සමපාත වෙන්නේ නැහැ කියන හැඟීම. මේ දෙකටම හේතු වෙච්ච සමහර කාරණා ඔහු තුලම ඇතැම් වෙලාවට තියෙන්න ඇති.

හැබැයි සජිත් කියන මනුස්සය කවුද කියන එක ගැන මේ ඉතාම මෑතක් වෙනතුරු පැහැදිලි සමාජ චිත්‍රයක් තිබ්බේ නැහැ කියල මම හිතනවා. එකක් තමයි ඔහු බලය වෙනුවෙන් ‘ඕනෑම ගේමක්’ ගහන කෙනෙක් නෙවෙයි කියන එකට මෛත්‍රිපාල ජනාධිපති වරයාගේ කාලේ වගේම ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලෙත් සාධක තිබ්බ.

බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කළා නම් මම හිතනවා මේ වෙද්දි ඔහු රටේ නායකයා වෙලා කියල.

ඒ වගේම මම හිතනවා ඔහු යම් විදියකට ඔහුගේම හෘද සාක්ෂියක් එක්ක ඔහුගේම රිද්මයකට වැඩ කරනවා කියල. ඒක මහා සමාජය ඇතුලේ ඔහු මාකට් කරන්න දඟලන්නෙත් නැති කෙනෙක්. ඒක දන්නා පිරිසක් ඔහුව අතහරින්නේ නැතුව ඔහු එක්ක ඉන්නවා.

සජිත්ගේ දේශපාලන නොවන ජීවිතය අතිශයින් පැහැදිලි වෙච්ච වෙලාවක් තමයි කාවන්තිස්ස ඇත් රජුගේ මරණය. ඒ ඔස්සේ ලංකාවේ සමාජය සජිත්ගේ දේශපාලනය ඇතුලේ මාකට් නොවුණු හැබැයි ඇත්තටම දේශපාලනික – සාංදෘෂ්ටික පැවැත්මේ කොටසක් සමාජයට නිරාවරණය වුනා. ඒ නිරාවරණය පවා ලොකු මාකට් කිරීමක කොටසක් හැටියට නෙවෙයි ආවේ. ඔහුගේ පරිසර – සත්ව – වනජීවී – චායාරූප ආදරයේ ආත්මීය පැවැත්මක කොටසක් හැටියට. මම හිතන්නේ අපි හැමෝටම ඒ සජිත්ගේ අපි දැක්කේ නැති එහෙත් වසර තිහක් තිස්සේ තිබ්බ ඇත්තම ඇත්ත වනජීවී – පරිසර සම්බන්දයක් සමාජගත උනා.

කාවන්තිස්ස අවසන් හුස්ම හෙලන්න කලින් ඔහු එතන කාටහරි මාධ්‍ය කරුවෙක්ට කතා කරනවා. එතැනදී ඔහු කියනවා ‘එයාට කාවන්තිස්ස කියල නම තිබ්බෙත් මම මීට අවුරුදු තිහකට කලින්’ කියල. මට ඒ වෙලාවේ මේ මනුස්සයා ගැන පුදුම හිතුණා.

ඒ එක්කම සජිත් කියනවා ‘එයා හරි ලස්සන ඇතෙක්’ කියල. මම කවදාවත් එහෙම ‘එයා’, ‘ලස්සනයි’ වගේ ආත්මීය වචන ඇතෙක් ගැන ලංකාවේ දේශපාලඥයෙක් කියනවා අහල තිබ්බේ නැහැ. එයා ඒක කියන්නේ ඇත්තටම ආත්මයෙන්.

මම කල්පනා කළා අරගලයෙන් පන්නපු – සම්ප්‍රදායික දේශපාලනය කියල එකක හිටපු – හැබැයි අපි නොදන්නා කොච්චර වෙනස් සහ විශාල සජිත් කෙනෙක් ඉඳල තියනවද කියල.

ඒ ඔස්සේ ඇත්තටම ලංකාවට නෙවෙයි ලෝකෙම අවධානයට ලක්වෙන්න ඕනි දේශපාලඥයෙක් විදියට අපිට ඔහුව පේන්න ගත්ත. මොකද විසි එක් වන සියවස ලියවිලා තියෙන්නේ පරිසර දේශපාලනයක් එක්ක. අද ලංකාවේ පවා විශාල පරිසර ප්‍රේමින් ප්‍රමාණයක් පාරට ඇවිල්ල තියෙනවා කාවන්තිස්ස වෙනුවෙන් සහ අනික් සියලු අලි ඇතුන් වෙනුවෙන්.

පරිසරය කියන්නේ අපේ රට පැත්තෙන් විශාල උරුමයක්. සහ විශාල මාකට් එකක්. පරිස්සමින් පාවිච්චි කළ යුතු.

සජිත් අනික් දේශපාලඥයෝ වගේ ආතතිගත දේශපාලඥයෙක් නොවෙන්නේ ඔහුට දේශපාලනයෙන් පස්සේ කරන්න තමන් ආදරය කරන 'වෙනත් ජීවිතයක්' (another life) තියන නිසා. ඒ කියන්නේ දේශපාලන ආතතියෙන් 'පසු බහින්න' (retreat) වෙනත් පැවැත්මක් ඔහු දන්නා නිසා. ඔහු යන්නේ කැලේට. කැමරාවක් එක්ක.

මම මගේ ජීවිත කාලේ අහල නොතිබ්බ ‘වලස්කෙම ඇතා’ ‘සැන්ඩෝ’ ‘තිලක්’ ‘දළ පූට්ටුවා’ ආදී වශයෙන් එකී මෙකී නොකී ඇත්තු ගණනක් ගැන සජිත් හරහා දැනගත්ත. ඒ තමයි එයාගේ ජීවිතේ. උඩවලවට ගියොත් දන්නා අය කියනවා ඔය දැනුත් සජිත් මහත්තය ඉඳල ගියේ කියල. ඔන්න ඔහොමයි එයාගේ ඇත්ත ජීවිතේ.

අපි වගේ ෆේස්බුක් පෝස්ට් දැකල ළඟ පිකප් වෙන අලි ප්‍රේමියෙක් නෙවෙයි සජිත්. ජීවිතෙන්ම එතන ඉන්න කෙනෙක්.

විසි එක් වෙනි සියවසේ පාරිසරික දේශපාලනය වෙනුවෙන් ඔහු ඉන්න ඕනි කෙනෙක්.

තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල මම මෙහෙමත් ලියනවා.

මම දැන් හිතනවා සජිත් අරගලය ඇතුලේ තියාගන්න තිබ්බ කියල සහ අරගලයේ ඇතැම් අභිලාශ ඔහු ඔස්සේ පවා ඉටුකරගන්න තිබ්බ කියල. මොකද ඔහු මිනිස්සුන්ට සවන්දෙන කෙනෙක්. ඔහු අරගලයට එන්න ඇත්තේ ඇත්තටම කියලත් මට හිතෙනවා.

මොකද අරගලය ඇතුලේ හිටියෙත් සජිත් වගේ වෙනම දේවල් ටිකක් තිබ්බ මිනිස්සු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...