ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් කරගාවලියේ පළමු ජය වාර්තා කරමින් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරන්නට සමත් විය.දකුණු අප්‍රිකාවට එරෙහිව ලත් විශිෂ්ඨ ජයත් සමඟ ජයග්‍රහණයේ රිද්මයෙන් දුරස්ව සිටි ශ්‍රී ලංකාව ද පහසුවෙන් පරාජය කරනු ඇතැයි යන සුබවාදි දැක්මකින් බොහෝ දෙනෙක් නෙදර්ලන්තය දෙස බලා සිටිය ද අවසානයේ ශ්‍රි ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා පිවිසෙන්නට හැකි විය.
එහෙත් එම ජයග්‍රහණය පහසු වූයේ නැත.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ඩ්ලාන් මධුශංක ඉතා හොඳ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 49 ට කඩුලු 4 ක් ද කසුන් රාජිත ලකුණු 50 ට කඩුලු 4 ක් ද දවා ගත්තත් සෙසු පන්දු යවන්නන් සිය වගකීම එතරම් හොඳින් ඉටු කරන බවක් නොදුටුවේය.ඉන්දීය තණතිලි හොඳින් පුරුදු මහේෂ් තීක්ෂන එක කඩුල්ලක් ලබා ගත්තත්,ලකුණු 44 ට ඕවර් 10 නිමා කළත් නිවැරදි රිද්මයට පිවිස තිබෙන බවක් දකින්නට නොලැබිණි.

පන්දුවට පහරදීමේදී නිවැරදි රිද්මයෙන් බැහැරව සිටින බව හොඳින්ම පැහැදිළි විය.විශේෂයෙන් එක දිගට ලද පරාජයන් සමඟ එල්ල වූ පීඩනයෙන් ඔවුන් මානසිකව පෙළෙන බව සමහර ක්‍රිඩා රටාවන් පැහැදිළි කළේය.කුසල් මෙණ්ඩිස් ආර්යන් දුට් හමුවේ දැවි ගියේම ඒ මානසික පාලනය සහ සිහි බුද්ධිය වැඩ නොකළ නිසාමය.ආර්යන්ගේ පළමු පන්දුවට ඉහළින් පහරක් එල්ල කරන්නට ගොස් අමාරුවෙන් ගැලවුණ පැතුම් නිශ්ශංක දැක දැකම ඊ ළඟ පන්දුවට එවැනිම පහරක් ගසන්නට ගොස් කුසල් දැවී ගියේය.අපහසුවෙන් ලකුණු තිස් ගණන්වලට ඇතුල් වූ ධනංජය ද සිල්වා අවසාන මොහොතේදී වගකීම් විරහිතව හැසිරුණේ ද ඔවුන් මනසින් තවමත් සූදානම් නැති නිසාය.ඒ නැතිකම නිසාම ඔවුන් සමහර විට තමන්ට ඊ ළඟට හමුවන්නට සිටින ප්‍රතිවාදියා තරග කරන ආකාරය මඟ හරින්නට මෙන් විඩියෝ ක්‍රීඩා කරන්නට පෙළඹෙන්නට ද ඉඩ ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ කණ්ඩායමට එකතු කර තිබෙන කාර්යමණ්ඩලය වෘත්තිය මට්ටමෙන් කරන සේවය ගැන සෑහීමකට පත් විය නොහැකිය.විශේෂයෙන් මානසික චිකිත්සකවරයෙක් පොළව හා බැදුණු කතා බහක් සහිතව කණ්ඩායම සමඟ බැදී සිටිය යුතුය.සමහර මහාචාර්යවරු පවා රෙටේ වැඩ කරන්නේ වෙනත් අවශ්‍යයතා පකනම් කරගෙන බව පැහැදිළිව දැක ගන්නට ඇත.ඒ ඇතැම්හූ ආණ්ඩුවෙන්ද තනතුරු වරදාන ගන්නා අතරම තවත් ආකාරයකින් ක්‍රිකට් සම්බන්ධයෙන් තමන් දෙන දායකත්වයේ අඩුව සෘජුව නොපෙනෙන තත්ත්වයක් තුළ ක්‍රිකට් ක්‍රීඩකයා සහ පරිපාලනය පතුරු ගසද්දී සිය කකුල් ඉහළට දමා ගෙන සුදි කරති.අවමානය වෙනුවට ඔවුන්ට හැමවිටම ප්‍රීතිය සහ ලාභය හිමිය.මේ තරගයේදී ද ජයග්‍රහණය කෙසේ වුව ද,අවසානයේ පරාජය නොවී සිටින්නට බල පැවේ සදීර සමරවික්‍රමගේ ඉණිමය.ඒ සඳහා ඔහු තරගයේ වීරයාට ඉහටත් උඩින් සුදුසුය.වගකීමක් සහ දැඩි මානසික සංයමයක් සහිතව සදීරගේ ඉණිම ගොඩ නඟමින් පන්දු 107 දී නොදැවි ලකුණු 91 ක් ලබා ගන්නා අතරේ ඔහු තෙවන කඩුල්ලට පැතුම් නිශ්ශංක (52) සමඟ ලකුණු30 සමඟ 52 ක් එක් කරන්නට සමත් විය.

චරිත් අසලංක (44) සමඟ සිවිවන කඩුල්ලට ඇති කරන ලද සබඳතාවය ලකුණු 77 කි.පස්වන කඩුල්ලට යළිත් ධනංජය ද සිල්වා (30) සමඟ ඇති කර ගත් සබඳතාවය ලකුණු 76 ක් විය.ඒ නිසා සදීර සිය ඉණිම වටා හොඳ සබඳතා ඇති කරමින් ගොඩ නැඟූ ඉණිම තරගයේ ජයග්‍රහණයේ වීරත්වය සටහන් කළ ඉණිම බව අවිවාදිතය.ශ්‍රී ලංකා කණ්ඩායම තුළ මානසික විශ්වාසය ඇති කරන බිම් මට්ටමේ පුද්ගලයෙකුට තියෙන ඉඩ හොඳටම පැහැදිළි වූ තරගයකි.
ඒ නිසාම රිද්මයෙන් සහ ආත්ම විශ්වාසයෙන් බිඳ වැටුණු පිරිසක් පන්දු යැවීමේදි සිය ඉලක්කය සොයා ගන්නට වෙහෙසෙන බව දකින්නට ඇත.එහිදී නිරන්තරයෙන් කරනු ලබන විශ්වසනීයත්වයෙන් තොර තේරීම් ද දැඩිව ක්‍රීඩකයන්ගේ ස්ථාවරත්වයට සහ සාර්ථකත්වය බලපාන බව නොරහසකි.මේ තත්ත්වය ප්‍රතිවාදීන්ට වෙහෙසකින් තොරව ලකුණු පරිත්‍යාග කරන ව්‍යාපෘතියක් වී ඇති අතර නෙදර්ලන්තයට පන්දු ඕවර් 2.2 ක් වැඩිපුර දෙමින් වයිඩ් පන්දු 14 ක ලකුණු සමඟම ඒ නිසා අමතරව යවන්නට සිඳුවන පන්දුවලට එකතු කළ ලකුණු ද සමඟ ලකුණු 262 ක් ලබා දී සීමා කර ගැනීමත් එක්තරා ආකාරයක හපන්කමකි.එහිදි මානසික විශ්වාසය,ස්ථාවරය සමඟ කටයුතු කිරීමේදී නෙදර්ලන්තය සිටින්නේ අපට ඉහළින් බව පෙන්වන්නට හොඳම උදාහරණය ඔවුන් හත්වන කඩුල්ලට සිබ්රන්ට් එන්ගල්බ්‍රෙච්ට් සහ ලෝගන් වැන්බෙක් ලකුණු 140 ක සබඳතාවයක් ගොඩ නැඟූ හැටිය.ඒ ලකුණු 91 ට කඩුලු 6 ක් බිඳ වැටි සිටියදී ඇති වූ සබඳතාවයේ දී පැහැදිළි වූයේ ඔවුන් ඒ සම්බන්ධයෙන් කෙතරම් දුරට මානසිකව සූදානම්ව සිටියේද යන්නය.

එසේම ඔවුන් ස්ථාවර වෙන්න වෙන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මනසින් වෙනස්වීම ද පැහැදිළි විය.තරගය ජයග්‍රහණය කළ ද නෙදර්ලන්තය සිය ලකුණු වේගය අභිබවා යන්නට ඉඩ නොදෙමින් තරගය අවසානයේද ලකුණු සටහනේ ඉහළින් ලකුණු වේගය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේය.
තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසෙන්න.
සටහන – නිෂ්මං රණසිංහ
