ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW :

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේදී ළමා හෘද රෝගීන් 13 දෙනෙකුට 'Take Heart Mercy Mission' විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්.

ලෝකයේ පවතින උසස්ම ප්‍රතිකාර ක්‍රමවේද, විශේෂඥ තාක්ෂණික දැනුම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට මහඟු ආයෝජනයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්‍රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් ‘Take Heart Mercy Mission’ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

දේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා එක්ව සිදු කෙරෙන මෙම සැත්කම් සහ ඒ ආශ්‍රිත වෛද්‍ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද (22) කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී හෘද සැත්කමක් සිදු කෙරෙන ආකාරය සෘජුවම නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අනතුරුව ළමා දැඩි සත්කාර ඒකකයේ (Paediatric Intensive Care Unit) නිරීක්ෂණයක ද නිරත වූ අතර, සංකීර්ණ සැත්කම්වලින් පසු දරුවන් සුවය ලබන ආකාරය ‘Take Heart’ වෛද්‍ය කණ්ඩායම විසින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පැහැදිලි කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ, අතිශය සංකීර්ණ හෘද රෝග හඳුනා ගැනීමෙන් පසුව මෙතෙක් මෙරටදී ලබා දීමට හැකි වූයේ රෝග විනිශ්චයක් පමණක් බවත්, නියමිත වේලාවට මෙවැනි සංකීර්ණ සැත්කම් සිදු කිරීමෙන් දරුවාගේ පමණක් නොව සමස්ත පවුලේ සහ සමාජයේම අනාගතය යහපත් ලෙස වෙනස් වන බවත්ය.

ලෝකයේ යම් උසස් ප්‍රතිකාර ක්‍රමවේදයක් පවතී නම් එය මෙරට ජනතාවට නොලැබී යාමට ඉඩ නොතැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරය බවත්, විදේශීය වෛද්‍ය කණ්ඩායම විසින් ඉටු කරනු ලබන්නේ එම අභිප්‍රාය යථාර්ථයක් බවට පත් කිරීමක් බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙරට පවතින දැඩි නීති රීති පද්ධතියට අනුකූලව නිසි අවසර ලබා ගනිමින්, ශ්‍රී ලංකා රජයට කිසිදු පිරිවැයක් දැරීමට නොදී, සියලු උපකරණ සහ වියදම් අදාළ පුණ්‍යායතනය මගින්ම දරමින් මෙම අතිදැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පටක බැංකුව (Tissue bank) හරහා ලබා දුන් හෘද පටකයක් බද්ධ කිරීමේ (Heart tissue transplant) සංකීර්ණ සැත්කමක් අද සිදු කළ බවත්, මෙමගින් සංකීර්ණ සැත්කම් සිදු කර ගන්නා රෝගීන් ගණනට වඩා දේශීය වෛද්‍ය කණ්ඩායම්වලට ලැබෙන අත්දැකීම්, තාක්ෂණික දැනුම සහ ප්‍රාගුණ්‍යය ඉදිරි අනාගතයට අතිශය වැදගත් වන බවත් ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උපතින්ම හෘද රෝග (Congenital Heart Defects) සහිත දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ පරමාර්ථයෙන් දේශීය වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා වසර 23කට පෙර ‘Take Heart Mercy Mission’ පුණ්‍යායතනය පිහිටුවා ඇත. විවිධ රටවල් සහ ජාතීන් නියෝජනය කරන වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සමන්විත මෙම විශේෂඥ කණ්ඩායම වසරක් පාසා කරාපිටිය රෝහලට පැමිණ ශ්‍රී ලාංකික දරුවන් සිය ගණනකට සම්පූර්ණයෙන්ම නොමිලේ ජීවිතදානය ලබා දීමට කටයුතු කරයි.

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා, ‘Take Heart Mercy Mission – Sri Lanka’ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය, කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...