ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

0
187

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.

පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසින් වසර දෙකකට වරක් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

මෙවර සම්මාන උලෙළෙහිදී 2023 සහ 2025 වසරවලට අදාළව වන වගාව සහ අපනයන කෘෂිකාර්මික බෝග ඇතුළු වැවිලි වගාව, මල් වගාව ඇතුළු වැවිලි නොවන වගාව, පශු සම්පත් සහ ධීවර හා ජලජ සම්පත් යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙම සම්මාන උලෙළ ඇමතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආනයන මත යැපීමට සිදු වීම සහ ඒ සඳහා පාරිභෝගික ජනතාවට විශාල පිරිවැයක් දැරීමට සිදු වීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් බවයි. එබැවින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ උපායමාර්ග හඳුනා ගැනීම, තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකයින් බිහි කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, අපනයනය පදනම් කර ගත් කෘෂිකාර්මික නිෂ්පාදන දියුණු කිරීම ආදිය සඳහා විද්‍යාත්මක පර්යේෂණ මගින් දායකත්වය සැපයීම කෘෂි පර්යේෂකයින් වෙත පැවරී ඇති භාරදුර වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ අදාළ සියලු පාර්ශ්වකරුවන්ට ප්‍රමාණවත් පරිදි සන්නිවේදනය කිරීම මගින් එම සොයා ගැනීම් මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙසද පර්යේෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මෙරට කාෂිකර්මික පර්යේෂණවලට අදාළව ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට වඩාත් යහපත්, එනම්, මෙරට පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන, ආනයන මත අඩු යැපීමක් සහිත ගොවි ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන පරිසර හිතකාමී කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණ බවද පැවසීය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ යන මහත්වරුද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහුද, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති මහාචාර්ය ආර්.එස්. ධර්මකීර්ති මහතා, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්, පර්යේෂකයින්, විද්වතුන්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD