*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

රනිල් ජන්දේ ඉල්ලුවේ නැති වුණාට රට ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු යළි එනවා!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජාතික ලැයිස්තුව හරහා හෝ පාර්ලිමේන්තුවට පැමිණියේ නැතත් ඉදිරියේදී රට ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහුගේ සේවය රටට ලබාදීමට ගෑස් සිලින්ඩරය කණ්ඩායම මැදිහත්ව කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී කඩා වැටුණු රට යළි ගොඩනැඟීමේ වගකීම භාරනොගත් සජිත් ප්‍රේමදාස මහතා අනුර දිසානායක පාලනය යටතේ ද රට කඩා වැටෙන විට එම අභියෝගය භාර නොගන්නා බවත් එදිනටද රට යළි ගොඩ නැඟීමේ වගකීම භාරගන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම බවයි සඳහන් කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (25) ජන හමුවක් අමතමිනි.

”මේ යන විදිහට තවත් අවුරුද්දක් එකහමාරක් යනකොට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායමට මේ රට භාරගන්න වෙනවා. අපි කියන්නේ නොවැම්බර් 15 වෙනකොට කකුල් මාට්ටු දාලා අනුර ගේ ආණ්ඩුව වට්ටනවා කියලා නෙවෙයි. එතුමට රට කරගන්න බැරි වෙනවා. එතකොට රට භාරගන්න කණ්ඩායමක් ඉන්න ඕන. ඔබතුමන්ලා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ රට කඩාගෙන වැටෙනකොට සජිත් ප්‍රේමදාස මහතා රටේ වගකීම භාරගත්තේ නෑ . සජිත් මහතා ජනාධිපති ධූරය භාරගත්තා නම් රනිල් වික්‍රමසිංහ කියලා චරිතයක් එන්නෙත් නෑ . නමුත් සජිත් මහතා රට ගොඩගැනීම භාරනොගත් නිසා අපිට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න. සජිත් මහතා හරි හැටි වගකීම් ඉෂ්ට නොකළ නිසා තමයි අනුරලගේ මාලිමාවට නැගිටලා බලය ගන්න පුළුවන් වුණේ. මේ රට අනුර දිසානායක යටතේ යළි ඇද වැටෙනකොට, එය යළි ගොඩගැනීමේ වගකීමත් සජිත් මහතා භාරගන්නේ නෑ. ඔහු භාරගන්න සූදානමින් ඉන්නේ සතුටින් ජොලියේ කරගෙන යන්න පුළුවන් රටක් විතරයි. ඒ හැර රට හමුවේ අභියෝගයක් තියෙනවා නම් ඔහු මේ රට භාරගන්නේ නෑ.නොවැම්බර් 14 වනදා ගෑස් සිලින්ඩරය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සහයෝගය දෙන්න ඕන ඒ නිසයි. එදාට ඔබ තමුන්නාසේලා අපිට දෙන සහයෝගය ශක්තිය මත අවුරුද්දක් යනකොට අපිට ආණ්ඩුව ගන්න වුණත් පුළුවන්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ලැයිස්තුව හරහාවත් පාර්ලිමේන්තු එන්නේ නෑ . හැබැයි රටට රනිල්ව අවශ්‍ය වුණොත්, රටට රනිල්ගේ සහාය අවශ්‍ය වුණොත් එතුමාව යළිත් පාර්ලිමේන්තුවට ගෙනෙන්න අපේ කණ්ඩායම තුළ ඕන තරම් ඉඩ තිබෙනවා. ඔබතුමන්ලා දන්නවා , පසුගිය සමයේ මේ රටේ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත අපි ආරම්භ කළා. ඔබේ ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ට මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස කෝටි ගණනක් මුදල් ලබා දුන්නා. ඒ සමඟ වසර ගණනාවක් නඩත්තු නොවූ පාලම් බෝක්කු මාර්ග පිළිසකර කෙරුණා. අලුත් ව්‍යාපෘති සමඟ ගමට මුදල් ආවා. අපි එතනට මේ රට හැදුවා. සමහරු හිතන්න පුළුවන් බංකොලොත් වෙලා , අවුරුදු දෙකකට කලින් ගෑස් ඉන්ධන පෝලිම් තිබුණ රටකට මෙහෙම සල්ලි කොහෙන්ද කියලා. ඔබට කියන්න ඕන , ආර්ථිකය මේ තැනට ගේන්න අපේ ආණ්ඩුව ණය ගත්තේ නෑ. මුදල් මුද්‍රණය කළෙත් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ආර්ථික වර්ධනය තක්සේරු කළේ 2% කට යන්න කියලයි. නමුත් මේ වසරේ අපි 4% ක ආර්ථික වර්ධනයක් අරගෙන දුන්නා. ඒ කියන්නේ ඉලක්කයට වඩා දෙගුණයක සංවර්ධනයක් අපි ලබාගෙන තියෙනවා.

ඒ එක්කම ඔබතුමන්ලා මතක තියාගන්න ඕන , නොවැම්බර් 14 වනදා පැවැත්වෙන ජන්දය අනුර හෝ සජිත් වෙනුවෙන් පැවැත්වෙන ජන්දයක් නෙවෙයි. ඔබේ ප්‍රදේශය සංවර්ධනය කරගන්න, ඊට අවශ්‍ය මැදිහත්වීම කරන්න ඔය කවුරුත් එන්නේ නෑ. ඒ නිසා ඔබේ ප්‍රදේශය නියෝජනය කරන,ඔබට වැඩක් කරපු, ඉදිරියටත් වැඩක් කරගන්න පුළුවන් දන්නා කියන ශක්තිමත් කණ්ඩායමක් අපි පාර්ලිමේන්තු යවමු. ඒ වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා එක්වෙමු. ඔබතුමන්ලා දන්නවා අපිට එහෙම භේදයක් නෑ. සියලු දෙනා එක්ව අපේ කඳවුර ශක්තිමත් කරමු.” යනුවෙන් අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan