තිරස් අතට එක පයක්, සිරස් අතට එක පයක් – නෙත් මෙන් රැකිය යුතු පනින්නිය නෙත්සලා

Date:

සාමාන්‍යයෙන් එකම ක්‍රීඩා උළෙලක උස සහ දුර පැනීමෙන් වාර්තා තැබීම දුෂ්කරයි.ඒක ජාතික මට්ටමෙන් කිරීම අති දුෂ්කරයි.සිරස් සහ තිරස් වූ පිමි දෙවර්ගයකින් එසේ දස්කම් දැක්වීමට අමතරව තවත් වැදගත් දෙයක් මේ පිමි දෙවර්ගය හිමි දිලිනි නෙත්සලා ගැන කිව යුතුව තිබෙනවා.ඒ ඇය උස පැනීමේ දී පිම්මට වාරුව ගන්නේ වමෙන් වුවත්,දුර පැනීමේ දී ඒ දේ සඳහා ඇය යොදා ගන්නේ දකුණු පයයි.

මේ සටහන නිමවෙන විට ඇය මීටර් 60 ඉසව්වටද සහභාගි වි අවසන්ව තිබෙන්නට පුළුවන්.එයත් වාර්තාවක් සමඟ ජය ගැනීමට ඇයට ඇති කැමත්ත ඉෂ්ඨ වී තිබෙන්නටත් පුළුවන්.ඒ දේ සිඳු නොවී තිබුණත් අවුරුදු 14 න් පහළ දැරියක හැටියට ඇය මේ දක්වන සුවිශේෂීත්වය වඩාත් අර පිරිමැස්මෙන් අනාගතයට රැඟෙන යා යුතුයි.

දැනට ඇයගේ පුහුණුකාරිය දමිතා චාමලි දහනායකය.ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ තුන් පිම්ම සහ දුර පැනීම ප්‍රමුඛ කරගත් සත් ප්‍රයාම ඉසව්වද නියෝජනය කළ ඈ,දිල්නිව සොයා ගත් තැනත්තිය ද වන්නීය.දැන් ඇය දිල්නි ඔසවා තබන තැන ශක්තිමත්ම අඩිතාලම වන්නීය.බුත්පිටිය කණිෂ්ඨ සහ මහා විද්‍යාවල ආදි සිසුවියක කර දිල්නි වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත කැඳවාගෙන එන්නී දහනායකය.

බුත්පිටිය පාසලේ විදුහල්පති පුන්සිරි චමින්ද මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිණිය වන නීලකාන්ති ද සිය කැදල්ලේ පෝෂණය මදි කිරිල්ලිය හොදින් වැඩෙන කූඩුවකට දන් දෙන්නට පැකිලීමකින් තොරව ඉදිරිපත් වන්නීය.

ඉස්සරත් පුළුවන් විදිහට ස්කෝලෙන් දේවල් කරා.ලයිසියම් එකට ආවට පස්සෙ ඉතිං හිතාගන්නත් බැහැ.හැමදේම හොඳටම කරනවා”

දිල්නිගේ වචන අස්සේ තියෙන්නේ පුන්සිරි විදුහල්පතිවරයාගේ සහ නීලකාන්ති නියෝජ්‍ය විදුහල්පතිණියගේ තීරණයේ අරුතය.

එසේම අරුතට පන දෙන ලයිසියම් විදුහලේ ආදරය බෙදන්නට මුල් වන පිරිස ද දිල්නිට මතකය.

ලයිසියම් නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරෝ ගේ සිට දිග හැරෙන එම නම් ලැයිස්තුවට විදුහල්පතිණිය කුමාරි ග්‍රේරෝ,අධ්‍යක්ෂ නිකිත ග්‍රේරෝ,ක්‍රීඩා අධ්‍යක්ෂ සමීර හේවගේ,ප්‍රධාන ක්‍රිඩා පුහුණුකරු ලලිත් සිල්වා,ක්‍රිඩා භාර ආචාරය ප්‍රදීප් නුගේගොඩ ගේ සිට “හැමදේම ඉතිං කරේ මැඩම්” කියා දිල්නි හඳුන්වන පුහුණුකාරි දමිතා චාමලි දහනායක ද අයත් ය.

දිල්නි ගේ අක්කා මේ වන රජරට සරසවියේ ඉහළ අධ්‍යාපනය ලබයි.තවමක් 20 හැවිරිදි අයියා එස්එල්ටී රැකියාවකය.නංගි තුන වසරේය.දිල්නි පුහුණුවට එන්නේ අයියා පසුපසින්ය.බුත්පිටියේ දි අයියා පසුපසින් එන සුරතල් නැගණිය පමණක් ක්‍රිඩාවට ඉතුරු කර අයියාට තාත්තා සමඟ පවුල සරි කරන්නට එක්වන්නට වන්නේය.

තාත්තා වෑල්ඩින් වැඩ කරන්නෙ.කොවිඩ් කාලෙ ඉතිං ඒවා කඩාගෙන වැටුණා.ඉස්සර වගෙ හොඳ නැහැ.ඒ නිසා අයියා රස්සාවට යනන පටන් ගත්තා”

බිත්තිවලින් නැවතී තිබෙන ගෙදර පිම්ම

දිල්නිගේ තාත්තා ප්‍රියන්ත උදය කුමාර ය.දරු සිව් දෙනෙකුගේ ජීවිතය පාස්සන එක යකඩ පාස්සන තරම් පහසු නැත.බලාපොරොත්තු තියාගෙන සිය ඇඹෙිණිය දර්ශනී කුමාරි සමඟ එක්ව ගොඩ නඟන්න ඇති ගෙය බිත්ති ගඩොළින් නැවතී ඇත.ඒවා නොව අඩුම තරමේ හය දෙනෙක් වූ නිවසේ බඩවල් හය පිරවීමත් තාත්තාට කනිව අපහසු බව දැන ගත් අයියා,තමන්ගේ දුවන පයේ වීරියත් නංගීට පවරා තාත්තාට අත්වැලක් වන්නට තීරණය කරන්නේය.

ඒත් ඉතිං ජාත්‍යන්තර පාසලක ලොකු වියදමක් යනවනෙ

අපි කතාව මැදට බාධකයක් තැබුවෙමු.

“හැමදේම කරන්නෙ ස්කෝලෙන්.මාව ස්කෝලෙට එක්ක එන්නෙ එක්ක යන්නෙත් ස්කෝලෙන්මයි.”

ඇය අපේ බාධකය ඉවත් කර පෙරට යන්නීය.ඇයම ඉනික්බිති ඇයට දැනෙන බාධකයක් අසළ නවතින්නීය.

හයි එකටයි,ලෝන්ග් එකටයි,දුවන්නයි ඉතිං එකම ස්පයිස් කූට්ටමයි තියෙන්නෙ.වෙන වෙනම ඒවට ටෙක්නිකලි ඕනි.”

ඇයට බාධා කරමින් මැදිහත් වන්නී දහනායකය.

ඇත්තටම එහෙම තියෙනවනම් හොඳයි.ඒත් ඉති අපි පිරිමහගෙන කරනවා.ස්කෝලෙන් තමයි දැන් තියෙන දෙක දීලා තියෙන්නෙ.ස්කෝලේ හැම ක්‍රීඩා කරන ළමයා දිහාම එයාල බලන්න ඕනි.කරදර කරන්න බැහැ අපිට.මේ දුවගෙ ගෙදර තත්ත්වය එක්ක ගත්තම දැනට තියෙන පහසුකම් එයාලට හිතා ගන්නත් බැහැ.දරුවා ඉගෙන ගන්නත් දක්ෂ නිසා පංතියක් ඉස්සරහින් තියාගෙන උගන්නගන යන්නෙත්”

මීටර් 5.66 කියන්නෙ 14 න් පහළ හොඳ දුරක්නෙ

අපි සාකච්ඡාවට කැඳවා ගන්න බලන්නෙ දහනායකයතඒත් ලැජ්ජීශීලි දල්නි එයට හ්ම් කියන අතරේ උස පැනීම ගැන කතා කරන්නීය.

උසනම් මම පළාත් 1.58 ක් පැන්නා.අද පැන්නෙ 1.55 ක් විතරයි.මං ගිය පාර පළමු අවුරුද්ද ට ජාතික පාසල් ආවම දුර දෙක වුණා.එක වෙච්චි කෙනා මේ පාරත් හිටියා.මේ පාර මං කොහොම හරි එක වුණා.”

ඇය ලැජ්ජාශීලී වුණාට අභියෝග ජය ගන්නට මැලි නැත.මේ වන විටත් ඇය සතුව පසු කර ආ සහ වත්මන් වයස් කාණ්ඩවල නම බැදුණු වාර්තා පොකුරක්ය.-

ඇය වඩාත් පැනීම් ඉසව් දෙකෙන් කැමති කුමක්දැයි අපි විමසුවෙමු.

ඇය සතු ආසම සෙල්ලම් බඩු පොකුරෙන් එකක් අපි පැහැර ගෙන යන්නට උත්සාහ කරන ගාණට ඒ ඇස් විසල් විය.

”දෙකම “

ඇය මුමුණන්නීය.නමුත් සේ දෙපයෙන්ම පිමිමට වාරු ගන්නට හැකි,කෙටි දුර දුවන්නටත් හැකි ඇයගේ අපූරු හැකියාවන් තුන් පිම්මට මෙන්ම සත් ප්‍රයාමයට ද හුරු දහනායක දිනෙක තුන් පිම්මක හෝ කුඩුලු පැනීමක නවතාලන්නටත් බැරි නැත.

අනාගතයට තව දුරය.මේ හංසයා රන් බිත්තර දමන්නේයැයි බඩ පලා රන් බිජු ගන්නට වෙර දැරීමෙන් වැළකිය යුතුය.එය ඇයගේ වැඩිහිටියන්ගේ සිට ක්‍රිඩා පරිපාලනයේ පහළ සිට ඉහළට සියල්ලෝම දත යුතු වන්නාහ.

දෙපයෙන් වීරිය ගෙන දෙවිදිහකට පනින්නට හැකි දිල්නි නෙත්සලා දෙස නෙත් නොසලා බලා හිටින්නට හැකි දවසක් ලංකාවේ මලල ක්‍රිඩාවට අනාගතයේදී උදාවන්නට ඇති ඉඩ සුවිශාලය.ඒ සඳහා ඇය රැක ගත යුත්තේ පරිස්සමට නෙත් මෙන්ය.

වත්තල ලයිසියම් කැදල්ලේ ආදරය සහ රැකවරණය මැද ලෝකයට යන්නට පාර කපා ගන්න දිල්නි නෙත්සලාට සවිය හා දිරිය අපි පතන්නෙමු.

නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...