මතකය නිවැරදි නම්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2025 ඔක්තෝබර් 11දා ප්‍රකාශ කළේ SJB මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා ඉල්ලා අස්වීමට සූදානම් බවය.
දේශපාලනඥයිට ඔවුන් දේශපාලනඥයින්ම වන නිසා “බලය” සම්බන්ධව “ආශය” බරපතල බව ඇත්තය. නමුත් එක් එක් දේශපාලනඥයින්ගේ පෞද්ගලික ආශයට පමණක් ඉඩදී ක්‍රියාකළොත් එය පවතින තත්ත්වයට වඩා බැරෑරුම් දේශපාලන ඉරණමකින් අවසන් විය හැකිය. විශේෂයෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය වැනි ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයේ වියරුවෙන් ඔද්දල් වූ ආණ්ඩුවක් බලයේ සිටින විට, දේශපාලන උපාය උපක්‍රම සෙවීමේදී ප්‍රවේසම් විය යුතු බව අමුතුවෙන් කිවයුත්තක් නොවේය.
සැබවින්ම මේ ලිපියේ අපේක්ෂාවද ඒ සම්බන්ධව සංවාදයක් මතුකර ගැනීමය.
ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය 2022 ගෝල්ෆේස් අරගලයෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් විය. ජනතාව නැගී සිටියේ ආර්ථික අර්බුදය, දූෂණය සහ ප්‍රභූ පාලනයට එරෙහිවය. එය රටේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනීය මොහොතක් වූ බව අවිවාදිතය.
මෙම ගෝල්ෆේස් අරගලයෙන් පසුව ජනතාවගේ අපේක්ෂාවන් නැවත සකස් විය. එහිදි පරණ ප්‍රභූ දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, නව මුහුණු, නව ප්‍රවේශයන් සහ ජනතාවගේ ගැටළුවලට සමීප වූ දේශපාලනයක් ඉල්ලා සිටි බව අවිවාදිතය. කෙසේවෙතත් මීට අදාළ නැරේෂන් එක කාලයක සිට සකස් කරේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් ය. එය දෘෂ්ටිවාදයක් බවට පත්කර ගනිමින් ඒ වටා භෞතික බලවේගයක් ලෙස ජනතාව ගොනුකළේ මැද පංතිය විසින් ය. ඒ සඳහා ද ඔවුන්ට හේතුවක් තිබිණ.
ක්‍රමයෙන් මෝරා පැමිණි මෙරට මැද පංතියට දේශපාලනය කිරීමට පහසු යතුරක් පැවති ප්‍රධාන ගතානුගතික දේශපාලන පක්ෂ වෙතින් ලැබුණේ නැති තරම් ය. දැන උගත්කම , උවමනාව, කැපවීම තිබුණත් මේ මධ්‍යම පාංතිකයාගේ දේශපාලන ප්‍රවේශයට ගතානුගතික ප්‍රධාන පක්ෂ වල අවස්ථාව දුෂ්කර වූ නිසාම එම පක්ෂ එකතැන පල්වන ස්වභාවයක් පෙන්නුම් කෙරිණ. අලුත් මුහුණු වෙනුවට සීමිත පිරිසකගේ මූණත් තහඩු දෛනික දේශපාලන ජීවිත ඇතුළේ සුපුරුදු විය.
ඒ නිසාම දේශපාලන මහල්ලන්, අවුරුදු 76ක් තිස්සේ රටට මොකුත් නොකර ජනතා දේපොළ කාබාසිනියා කළ වුන්, දූෂිතයන්, පවුල් පාලන, ගජමිතුරු පාලන, සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ආදී විවිධ ප්‍රවාද පැළ කිරීම පහසු විය. ඒවා 100%ක් නිවැරදි නොවූවද, ඇතැම්විට කොතරම් අතාර්කික වූවද, ඒ වන විටත් ගොඩනඟා තිබූ දේශපාලන සමස්තයට අගතිදායි මත, පොහොර නැතුවම අපේ රටේ මිනිසුන්ගේ මොල ගෙඩි ඇතුලේ මුල් අදින්න පහසු කළේය.
හරියටම කිව්වොත්, ජනතාව තුළ මතුවූ මෙකී සම්ප්‍රදායික දේශපාලන ප්‍රතිවිරෝධය නිවැරදිව කළමනාකරණය කර ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණය.
අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළේ 42.3%ක ඡන්ද ප්‍රතිශතයකින් ය. 2024 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී NPP 61%ක ඡන්ද ප්‍රතිශතයක් සමගින් ආසන 159ක් දිනාගෙන දැවැන්ත බහුතරයක් ලබා ගත්තේ ය. මේ වෙනුවෙන් ඔවුන් පවුරු පදනම් සකස්කර ගත්තේ, ජවිපෙ නම් , එතෙක් ලාංකීය දේශපාලනයේ කුල්ල කුජීතව තිබූ පක්ෂයේ පැහැය, ලකුණ පමණක් නොව, මාක්ස්, එංගල්ස් , ලෙනින් මෙන්ම විජේවීර ව පවා සිය වේදිකාවෙන් ගලවා ඉවත්කරමින් ය. එසේම තම පෙරමුණු බල ඇණි සියල්ල අලුත් මුහුණු වලින් ආදේශ කරමින් ය.
ඔවුන් මෙලෙස පිළිතුර සම්පාදනය කරේ, ජනතාවගේ පැහැදිලි පණිවිඩය වූ “පරණ දේශපාලනය ඉවරයි. අපිට ඕනේ නව පරම්පරාවක්.” යන්නට සුදුසුම තෝරාගැනීම ලෙස ඉදිරිපත් කරමින් ය. ඔවුන් මෙහි කොතරම් සාර්ථක වූවාද කිවහොත් , ඔවුන් කියන ඕනෑම ගජබින්නයක් අතාර්කිකව පිළිගන්නා බහුතරයක් රට තුළ ගොඩනැඟීමටත්, ඔවුන් අන් සියල්ලන්ට වඩා දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ සක්‍රීය කරගන්නටත් ජාජබ සමත් විය.
ඒ පසුබිමේ මෙරට සම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂ වල ප්‍රමුඛ පෙළේ සුපුරුදු මූණත්තහඩු වලට සිදුවූයේ මහ මැතිවරණයට පවා ඉදිරිපත් නොවී වසංවීමටය. මැතිවරණයෙන් නියත පරාජයක් අත්වන බව දැනුනත්, නිර්භීතව ඒ සඳහා ඉදිරිපත්වූ ධෛර්යයමත් තරුණ දේශපාලනඥයින් සිටි බවද ඇත්තය. කංචන විජේසේකර , ශෙහාන් සේමසිංහ, හරීන් ප්‍රනාන්දු වැන්නන් ඊට නිදර්ශනය. ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකට කැපවූ නමුත් ඔවුන්ටද සිදුවූයේ එක මිටට පරදින්නය.
දේශපාලන කුණාටු එහෙමය. නැවේ ඉන්නේ දොස්තර හොඳ හිතද, නැතිනම් දියරකුස්ද යන්න කුණාටුවට අදාළ නැත. දේශපාලන වල්පැළ ඉවත් කර මල්පැළ ගෙනාවා කිව්වත්, අවසානයේ පාර්ලිමේන්තු පැමිණි 159 සාතිශය බහුතරය වල්පැළ වීමෙන්ම ඒ බව තේරුම් ගත යුතුව ඇත.
කෙසේවෙතත් මේ සන්දර්භය තුළ යන්තමින් හෝ ජාමේ බේරාගත්තේ සමගි ජන බලවේගය පමණය. ඒද අතිවිශේෂ ප්‍රාතිහාර්යයක් නිසා නොව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම සමඟ රනිල් රාජපක්‍ෂ ලෙස බෞතීස්ම කිරීම සාර්ථකවීමත්, ලිබරල් දේශපාලන කඳවුරේ සිටි බහුතරය වේලාසනින්ම සජබ සමඟ එක්ව සිටීමත් නිසාය.
ඒ අනුව නම් සජබ යනු මේ මොහොතේ දක්ෂිණාංශික දේශපාලනයේ ප්‍රධාන පක්ෂය ය. එජාපය යනු සජබ ගර්භාෂය ය. එබැවින් එම පක්ෂ දෙකෙහි එකතුව කිසිසේත් වරදක් හෝ විකෘතියක් නොවේය. ඊට අවශ්‍ය වන්නේ එකී පක්ෂ නායකයන්ගේ ඊගෝව මඳක් අඩුකර ගැනීම පමණය. ශ්‍රිලනිප, සුළු පක්ෂ ඇතුළු තවත් පක්ෂ රැසකට ඒ ඇතුලේ ඉඩක්ද ඇත්තේය. මේ සන්ධානය කොහෙත්ම දේශපාලන විකෘතියක් නොවේය. ජවිපෙ – ජාජබ නාඩගම දෙස බලන විට නම්, එකී ශාපලත් විකෘතිය අසලටවත් විපක්ෂයේ මේ සන්ධානය සමීප නැත.
එසේනම් අවශ්‍යව ඇත්තේ විපක්ෂයක් ලෙස මෙම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට යන වත්මන් ආණ්ඩුවට මුහුණදීමට හැකි ඉදිරි පෙරමුණක් ගොඩනැඟීමය. නැතිනම් නායක මාරු වෙනුවට ඉදිරි ආරක්‍ෂක වළල්ල ශක්තිමත් කරගැනීමය. ඊට දියුනු දේශපාලන උපාය උපක්‍රම තේරීමය. මෙය උරගා බැලීමට වඩාත් සුදුසු දේශපාලන මොහොත වන්නේ යෝජිත පළාත් සභා මැතිවරණය ය.
බලයට පත්වී වසරක් තුළ ජාතික ජනබලවේගය ආණ්ඩුව ලබමින් සිටින බරපතල ජනතා අප්‍රසාදය සහ විශ්වාසභංගය සම්බන්ධව කදිම තහවුරුවක් පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විසින් ලබා දුන්නේය. ඒ මහමැතිවරණයට සාපේක්ෂව පුංචි ජන්දයේදී ආණ්ඩුවේ ජන්ද ප්‍රමාණය ලක්ෂ 20කින් පමණ අඩු කරමින් ය. බහුතර පළාත් පාලන ආයතන ප්‍රමණයක් ජාතික ජනබලවේගය ආණ්ඩු පාර්ශ්වය අත්පත් කරගත් නමුත්, ඒ බොහෝ ස්ථාන වල ඊට සජබ , එජාප, පොපෙ, ශ්‍රිලනිප සහාය ඇතිවය.
එනිසා ආණ්ඩුව පිරිහෙමින් ඇති බව පැහැදිලිය. වාදයක් නැත. වල්පැළ එප- මල්පැළ පැතුවත්, මල්පැළ ඔස්සේ පැමිණ ඇත්තේ කහඹිලියා ඇතුළු වත්ත මායිමේවත් තබා ගැනීමට සුදුසු නොවන වල්පැළ බව ජනතාවට පසක්වෙමින් ඇත. ජනතාවගෙන් ඇතමුන් ප්‍රසිද්ධියේම කසමින්, තවත් පිරිසක් රහසේ ද කසමින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග වෙමින් පැවතියත් ඔවුන්ගේ අපේක්ෂාව පරණ මූණත්තහඩු වලට මරුවීම යැයි සිතුවොත් එය බරපතල දේශපාලන වරදක් වන්නේය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව, සබරගමුවේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවා යෝජිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාව ඇතිව සිටින බවට දැනගන්නට ඇත. සජබ මන්ත‍්‍රීවරුන් මෙන්ම නවීන් ගත්තද පෞද්ගලිකව ඔවුන් හොඳ මිනිසුන් බවට වාදයක් නැත. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මතුව ඇති නව දේශපාලන යුද්ධය සඳහා මුහුණදීමට ඔවුන් කෙතරම් ශක්තිමත් ද යන්නෙහිය.
නවීන් ප්‍රභූ දේශපාලනයේ යළි මතුවීමක් ලෙස ප්‍රහාරයට ලක්වන විට, පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාවට එම මන්ත‍්‍රීවවරුන් පළමු මොහොතේම ප්‍රහාරයට ලක්වන්නේ, පැරණි දේශපාලනය යළියළිත් සිදුවීම නොහොත්, පැරණි සටන් පාඨ අලුත්කර ගහන්න ආණ්ඩුවට ඉඩහසර විවෘත කර දෙමින් ය.
අනෙක් අතට ජාතික ජනබලවේගය ආණ්ඩුවද මේ මොහොතේ දරුණු “මුහුණු” අර්බුදයක පසුවන්නේය. ඒ සිටින සියළු කෙරුමන් පාර්ලිමේන්තුවට ගෙනවිත් දමාගෙන සිටින නිසාය. ජවිපෙ තවදුරටත් ජවිපෙ නොවන හුදෙක් npp උදවියට පළාත් සභා මුල්පුටු දීමට සූදානම් නැත. ඔවුන් දවස ගෙවන්නේම හරිනිට දුන්න අගමැති ධූරයත් ජවිපෙට නැවත ගන්නේ කෙසේදැයි දත කමින් ය. ඒ පසුබිමේ දැනටමත් අසාර්ථකව , දිනපතා ජනතා අප්‍රසාදය ලබන පාර්ලිමේන්තුවේ 159න් හෝ පළාත් පාලන ආයතන වල සිටින ජවිපෙ කාඩර්වරුන්ගේ පිහිට පැතීම සහ ඊනියා බුද්ධිමතුන් කියා ගෙනෙන පැරෂුට් නියෝජිතයන් හැර විකල්පයක් ආණ්ඩුවට නැත.
නමුත් මේ නව දේශපාලන අභියෝගය තේරුම් ගෙන ඊට මුහුණදීමට සමත් ශක්තිමත් තරුණ පෙළක් සමඟ ඊට මුහුණදීමට අවස්ථාව සජබ ප්‍රමුඛ විපක්ෂයට ඇත.
මෙහිදි ශෙහාන් සේමසිංහ , කංචන විජේසේකර දැනටමත් ජනතාව දන්නා කියන දේශපාලනඥයින් වන නිසා , ඔවුන්ද ඇතුළත්, මේ කියන විපක්ෂයේ දේශපාලන ඉදිරි ආරක්‍ෂක වලල්ල ශක්තිමත් කරන අතර, පළාත් සභා මැතිවරණය අවස්ථාවේ, ආණ්ඩු පක්ෂයේ ඉදිරි ආරක්‍ෂක වලල්ලට විශ්මය දනවන ප්‍රහාරයක් එල්ල කිරීමට යොදාගත හැකි තරුණ දේශපාලන පෞරුෂ කිහිපයක්ම විපක්ෂය තුළින් ඉස්මතුව ඇත.
ඉන් එක් අයෙකු නම් සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්‍ෂ ය. මෙහිදි අපි වරුණ නිදර්ශනයට ගන්නේ හේතු කිහිපක් සහ සංකීර්ණ දේශපාලන පසුබිමක් තුළ විග්‍රහකර දැක්වීමේ පහසුව නිසාය.
වරුණ රාජපක්‍ෂ කියූ විට ඇතමුන් එය හිටපු කතානායක කරු ජයසූරිය ගේ සම්බන්ධතාවක් සමගින් තේරුම් ගන්නේය. තවත් පිරිසක් 1998 සිට දේශපාලනයේ නිරත, පළාත් සභාවේ හිටපු JVP කණ්ඩායම් නායකයා ලෙස තේරුම් ගන්නේය. 2006දී පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගනිමින් ප්‍රසන්න රණතුංග වද පරාජය කිරීමට සමත්වූ අයෙක් ය. එසේම වරුණ සම්ප්‍රදායික ප්‍රභූ පවුල් දේශපාලනයෙන් එන්නෙකු නොවේය. තමන්ගේ හැකියාවෙන්, දෛනික දේශපාලන හැසිරීමෙන් ලද පන්නරයෙන් පෙරට ආවෙක් ය. වර්තමානයේ වරුණව ජනතාව දැනගන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අමාරුවෙන් ඉතිරිවූ මල් පැල, ඒ රැවටිලි දේශපාලන පත්තිනි අම්මලාගේ රෙද්දෙ ඇති තුත්තිරි හොඳින්ම අනාවරණය කරන්නා ලෙසය.
ඒ අතින් වරුණලාගේ පරිණතභාවය ගැන පමණක් නොව නිර්භීත බවගැනත්, අසාමාන්‍ය දේශපාලන ධෛර්යය ගැනත් රට්ටු දැනගන්නේ වරුණලාට අතිශය අවාසිදායක දේශපාලන පසුබිමක වීම වඩාත් සුවිශේෂීය. අපට අනුව නම් යෝජිත පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විපක්ෂයේ පෙරමුණ බලඇණි වෙත නායකත්වය දිය යුතුව තිබෙන්නේ එවැන්නන් ය.
ඔවුන් දැනුමෙන් , දේශපාලන සාක්ෂරතාවයෙන් , දේශපාලන අභිලාෂයෙන් පමණක් නොව, වඩාත් අවාසිදායක දේශපාලන පොරපිටිය තුළත් ඊට මුහුණදීමට සමත් නිර්භීතභාවයෙන් සහ ධෛර්යයෙන්ද ශක්තිමත් වීම අනිවාර්‍යය. සතුරාගේ උපාය උපක්‍රම ගැන උපරිම අවබෝධයක සිට කටයුතු කිරීමට මෙන්ම, උදේ සතුරාට නිර්දය ප්‍රහාරයක් එල්ලකර, රාත්‍රියේ සමාව ගන්නා හෝ එතැනට පිරිහීමේ අවධානමක් ඇති කිසිවෙකු විපක්ෂයේ පෙරමුණ බලඇණියට උචිත නැත. අප කියන්නේ වරුණ පමණක් නොව, චරිත් අබේසිංහ ද එවැනි දේශපාලන පෞරුෂයක් පෙන්වන තරුණයෙක් ය.
මේ සටහනේ අපි ප්‍රසාද් සිරිවර්ධන, චිත්‍රාල් ප්‍රනාන්දු වැන්නවුන් ගැන නොලියන්නේ ඔවුන් මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින නිසාය. ඔවුන් මේ වන විට සිටිනුයේ පාර්ලිමේන්තුවෙන් පිටත නම් ඒ නම් ද යෝජිත පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විපක්ෂයේ පෙරමුණු බලඇණියේ ඉදිරියෙන්ම ලිවිය යුතු නම් බවද සිහිපත් කළ යුතුය.
එබැවින් මේ මොහොත කියන්නේ විපක්ෂය තුළ සිටින මේ ආකාරයේ, විශ්වාසවන්ත දක්ෂ සහ අමාරුම අවස්ථාවේ පවා කඳවුර වෙනුවෙන් නොසැලී සිටින, එහි බිඳුවකින් හෝ අඩු නොකර දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටින තරුණ දේශපාලන නායකයන් වැඩිදුර පුහුණුව සඳහා යොමුකර ගත යුතු සමයක් ය. පළපුරුදු දේශපාලන නායකයන්ගේ උපදෙස් , සැලසුම්, අත්දැකීම් සමඟ ඔවුන්ව ඊළඟ දේශපාලන ප්‍රහාරයට සූදානම් කළ යුතු මොහොතය.
ඒ හැර පළාත් සභා මැතිවරණය සඳහා විපක්ෂය විසින් පරණ මුහුණත්තහඩු යළි ගෙනෙන්නට සිතනවා නම්, විශේෂයෙන් ජවාධික අශ්වයන් පසුපෙළට ගෙන දුර්වල අසුන්ගෙන් ජයග්‍රහණය ගැන සිතනවා නම් එය , විපක්ෂය ලබන බොහෝවිට අවසන් මැතිවරණ අවස්ථාවත් එළැඹෙන පළාත් සභා මැතිවරණය වන්නට පුළුවන. ( සංවාදයට විවෘතයි )
~ ප්‍රසන්න ඊරියගොල්ල

