බැංකු ගැන ඩඩ්ලිට ප්‍රශ්නයක් – ඇමති TB අතේ ජනාධිපති අනුරට පණිවිඩයක් !

0
441

මෙරට බැංකු පද්ධතිය විසින් නිකුත් කරන ණයවලින් කර්මාන්ත ඇතුළු රටේ සංවර්ධනයට නිකුත් කෙරෙන්නේ 14%ක ප්‍රතිශතයක් පමණක් බවත් මෙම තත්වය වහාම වෙනස් කළ යුතු බවත් අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“ඇමතිතුමා, මේක ජනාධිපතිතුමාටත් කියන්න ඕනෙ, මටත් හම්බුණොත් මමත් කියන්නම්, මම මේ පහුගිය දවස් දෙක තුනක ඉඳන් නිව්ස් එකක් දකිනවා අපේ බැංකු ගැන. ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වුණොත් තමයි රජයට මේ වගේ සංවර්ධන වැඩපිළිවෙලවල් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ. රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් සංවර්ධනයක් අපි ඔබතුමාලාගේ නායකයා ප්‍රමුඛ ඔබතුමාලාගේ රජයෙන් ස්ථිරවම බලාපොරොත්තු වෙනවා. ඒක ඔයාලා කරන්නත් ඕනෙමයි. මේ තුළදී මම දැක්ක විශේෂ නිව්ස් එක තමයි පහුගිය ටිකේ, මේ බැංකුවලින් දීලා තියෙන ණය වර්ගීකරණය කිරීමේදී 86%ක් ණය දීලා තියෙන්නෙ වාහන මිලදී ගන්නයි රත්තරන් බඩු උකස් තියන්නයි. ඒ කියන්නෙ මේ රටේ තියෙන බැංකුවලින් රුපියල් 100ක් මේ රටේ සමාජයට ණය දුන්නා නම් ඒකෙන් වාහනවල ලීසිංවලටයි සමාජයේ තියෙන රත්තරන් බඩු ටික බැංකුවලට උකස් කරගන්නයි තමයි 86%ක්. 14%ක් ඇතුළත තමයි ඇමතිතුමා මේ රටේ සංවර්ධනය වෙන්නෙ. මෙව්වාට ඔබතුමාලාට මේ රටේ ජනතාව අසීමිත බලයක් දුන්නා. අපිත් මේ දේශපාලනයට බොහොම ළඟින්ම සම්බන්ධ මිනිස්සු. ඔබතුමාලාට දීපු මේ ජයග්‍රහණයට අපිත් සම්බන්ධ වුණේ මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳාගන්න.

අලුතින් නීති සම්මත කරලාහරි බැංකුවලට අනිවාර්යයෙන්ම නීතියක් – බැංකු නැත්නම් රාජ්‍ය බැංකු දෙකෙන් දුවන්න පුළුවන්, මේ ඔක්කොම එතෙන්ට එකතු වෙනවානෙ – බැංකුවලට නියම කරන්න ඕනෙ අඩුම වශයෙන් දෙන ණයවලින් 30%ක් රටේ කර්මාන්ත සංවර්ධනයට දිය යුතුමයි, සංචාරක ව්‍යාපාරයට මෙච්චරක් දිය යුතුමයි. ඔය වාහනවලට නොදුන්නත් කමක් නෑ, රත්තරන් බඩු උකස් නොගත්තත් කමක් නෑ, ඒ මිනිස්සු ඒ තත්වයට පත් නොවෙන තත්වයට ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෙ. ඒක නිසා ඒ ණයදීමේ ප්‍රතිශතය පිළිබඳ රටේ වැඩපිළිවෙලක් තියෙනවා නම්, රජය මේ රටේ අනාගතය පිළිබඳ වගකීම අරගෙන තියෙනවා නම්, ඒ වගකීම හැමදාමත් හරියට ඉෂ්ට නොකරපු එකේ ප්‍රතිඵල තමයි සමස්ත ජනතාව අද විඳින්නෙ”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවයට ඊයේ (28) එක්වෙමිනි. එම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.