ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන සිටින නීතිඥවරිය දින 90 ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්තෝම්බර් 31 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස්. බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේම කුමාර මෙම දැනුම්දීම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය.
මෙම සැකකාර නීතිඥවරිය තවදුරටත් දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකාර නීතිඥවරිය ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරුට අවශ්‍ය කරන ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය.එම සැකකාරිය දීර්ඝ කාලයක් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව ද පැවසුවේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේවන විට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද දැනුම් දුන්නේය.
මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් කිසියම් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමුවී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන බවත් ඔහු පැවසීය.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ප්‍රකාශයක් මත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත්, එම පිස්තෝලය ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධවලට යොදා ගෙන තිබේදැයි වැඩිදුර විමර්ශන කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.
බීබීසී සිංහල
