අම්පාරේ ප්‍රකට චරිතයක් වන හිටපු අමාත්‍ය පී. දයාරත්න මැතිතුමා ගැන උදේ රූපවාහිනී පුවත්පත් කියවීමේදී කතා කරනු ඇසුවෙමි. ඒ එතුමා භාරයේ තිබූ රජයේ නිල නිවසක් වසර 46කට පසුව ආපසු භාරදීමය. පත්තරේ තිබුනේ ඒ රජයේ නිල නිවස ආපසු භාර දීම ගැන වුනත් කියවන අයනම් සුපුරුදු පරිදි තවත් බොහෝ දේ කියවන බව ඇසිණි.
මේ නිල නිවස ගැන මගේ මතකයේ පවතින්නේ ඒ ගැන අවුරුදු තිහකට පමන පෙර පූර්ණ සොයා බැලීමක් මම පුද්ගලිකවම කල නිසාය. ඒ 1995,දීය මම එවිට අම්පාරේ නගරය අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම්වරයාය.රජයේ නිල නිවාස පරිපාලනය භාරව සිටි රාජ්‍ය නිලධාරියා වුනේ මමය.පීදයාරත්න මහතා ඒ වනවිට විපක්ෂ මංත්‍රීවරයෙකු විය.නගරයේ රාජකාරි කටයුතුවලදී විපක්ෂ මංත්‍රීවරයෙකු වූ එතුමා ආන්ඩුවට එල්ල කල විවේචන වලට රාජ්‍ය නිලධාරීන් ලෙස උත්තර දෙන්නට වුනේ අපටය.එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් පෙරේරා, තැපැල් අධිකාරි ලියණ පතිරණ ලංකා ගමනා ගමන මංඩලයේ ඩිපෝ අධිකාරී වීරවර්ණ ,හා ප්‍රාදේශීය ලේකම් සුනිල් කන්නන්ගර යන හතර දෙනා ප්‍රකටව සිටියේ පැවති එජාප ආන්ඩුවේ විරුද්ධවාදින් ලෙසටය.ඒ අම්පාරේ නගර සභාව ප්‍රමුඛ නගරයේ බලය තිබූ ආයතන එජාප පාලනයේ තිබීම නිසා නව ආන්ඩුව සමග ඒ ආයතන ඇති කරගත් ගැටුමට මැදිවන්නට අපට සිදුවූ නිසාය. ඒනිසා විපක්ෂයේ අම්පාරේ ප්‍රධනියාවූ දයාරත්න මහතා අපේ රාජකාරි ගැන යම් යම් ප්‍රශ්න රැස්වීම්වලදී මතුකිරීමට පටන්ගත්තේය අපි ඔහුට පිලිතුරු දීමට පටන් ගත්තෙමු.
ටික දිනකින් බලවත් ගැටුමක් දයාරත්න මහතා හා අප අතර ඇතිවුනි. ඒ අනුව දයාරත්න මහතා අපේ රාජකාරිවල වැරදි අඩුපාඩු සොයන්නට වූ අතර අපද පටන්ගත්තේ ඔහුගේ කටයුතු වල අඩුපාඩු හොයන්නටය .මේ කාලයේ මට ඇතිවූ බලවත් සැකයක් වුනේ අම්පාර දිසා ඇමතිවරයා ලෙස පී දයාරත්න මහතා පදිංචිව සිටි නිල නිවස ඔහු සාමාන්‍ය මංත්‍රීවරයෙකු වූ පසුත් භාවිතා කරන්නේ කෙසේද යන්නය.
මේ නිසා මේ නිල නිවාසයෙන් ඉවත් කිරීමට හැකියාව සොයා බැලීමට මම කාර්‍යලයේ ලිපිගොනු පිරික්සුවෙමි.ඇමතිවරයෙක් ලෙස වෙන්කර ගත් නිවෙස මංත්‍රීවරයෙකුට පාවිච්චි කිරීම නීත්‍යානුකූල නොවේය යන පූර්ව නිගමනය ඇතිව ලිපිගොනු පරීක්ෂා කිරීමේදී මේ රජයේ නිවස පීදයාරත්න මහතාගේ පදිංචියට වෙන්කර දුන් ලිපිය සොයා ගත හැකිවිය.ඒ වෙන්කිරීම කර ඇත්තේ 1977/9/1 දිනැතිව පාර්ලිමේන්තු මංත්‍රී පී.දයාරත්න නමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඩී බී අයි පී එස් සිරිවර්ධන මහතාය.මා සිතා සිටි පරිදි මේ නිවස අමාත්‍යවරයෙකුගේ නිල නිවසක් ලෙස වෙන්කර තිබුනේ නැත.එසේම මේ නිවස වෙන්කර දුන්නේ කොපමණ කාලයකටද යන්නත් එහි සටහන්ව නොතිබුණි .ඒ අනුව මංත්‍රී ධුරය දරණ තෙක් නිල නිවස භාවිතා කිරීමට නීතිමය බාධාවක් නොතිබුණි.
ඊලඟට මම සොයා බැලුවේ රජයට ගෙවිය යුතු නිවාස කුලිය නියමිත පරිදි ගෙවා ඇතිදැයි කියාය.එම කුලියත් කිසිදු හිගයක් නොවන්නට ගෙවා තිබුනි. දයාරත්න මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස ක්‍රියා කල නිසා විදුලි බිල නම් ගෙවා නැතැයි සිතා විදුලිබල මංඩලයට ලිපියක් යවා බී 8 රජයේ නිවසේ විදුලි ගාස්තු ගෙවීමේ විස්තර ගෙනවා ගත්තෙමි. ඒ දක්වා විදුලිබිල කිසිදු හිඟයක් තිබුනේ නැත සත්‍ය වශයෙන්ම තිබුනේ සුලු මුදලක අතිරික්තයකි. ඉන් අදහස් වුනේ විදුලි බල ඇමති කලයේත් පී. දයාරත්න මහතා විදුලිබල මංඩලයට විදුලි ගාස්තු මාසිකව අකුරටම පියවා ඇති බවය.ජල බිලේද කිසි හිඟයක් තිබුනේ නැත.
පාර්ලිමේන්තුවටලිපියක් යවා පීදයාරත්න මහතාට මංත්‍රී නිලනිවසක් වෙන්කර දීඇතිදැයි සොයා බැලුවෙමි.පි දයාරත්න මහතට මංත්‍රී නිල නිවසක් ලබාදී නැත. යනුවෙන් පිලිතුරු ලැබිණි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගිය දිනයක අතිරේක ලේකම් කොටක දෙණිය මැතිණිය හමුවී ඇමති නිල නිවාස පී .දයාරත්න මහතාට ලබාදී තිබුනේදැයි සෙව්වෙමි. ඒ අංශයේ ප්‍රධානියා හෙලි කලේ කිසිදු නිල නිවසක් දයාරත්න ඇමතිවරයාට ලබාදී තිබුනේ නැත කියාය.
මේ නිල නිවාසය අරබයා එදා මම සොයා බැලීම් කලේ පී. දයාරත්න මැතිතුමාට ලෙඩක් අදින්න මිස එතුමාට ප්‍රශංසාවක් කරන්න හෙම නොවේ.
ඊටපසු 2006 වසර අවසානයේ අම්පාර දිසාපතිවරයා ලෙස පත්වූ මම රජයේ නිල නිවාස රාජ්‍ය නිලධාරීන් නොවන අයට වෙන්කර දීම ගැන ලද විගනන විමසුමකට අදාලව දේශපාලකයින් නමින් දිසාපතිවරුන් විසින් වෙන්කර තිබූ නිල නිවාස ලාභීන්ට රජයේ නිවාස සන්‍තකය ආපසු ලබා ගැනීම් පණත යටතේ අස්කිරීමේ දැන්වීම් යැව්වෙමි. ඒ යටතේ මුල්ම නඩුව දැම්මේ එවක ආන්ඩු බලය දරූ පක්ෂය වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවිධායකට එරෙහිවය. ඉවත් කිරීමේ නියෝග ලද පසු ඒ නිල නිවස රජයට භරදුන්නේය. දෙවැනි නඩුව එවක එජාප සංවිධායක දයා ගමගේට එරෙහිව ගොනු කෙරින. ඔහු ඒ නඩුවට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් මහාධිකරණයට ගොස් මහේස්ත්‍රාත් අධිකරණයෙ නඩුවට වාරණයක් ගත්තේය. ඒ වාරණය ලැබීමත් සමග රජයේ නීතීඥයාගේ උපදෙස් මත අනික් නඩු ගොනු කිරීම අත් හිටෙව්වෙමි. නොඑසේනම් මතක හැටියට අමාත්‍ය අදා උල්ලා, රවුෆ් හකීම් දෙදෙනාටත් නඩු දෙකක් වැටෙන්නට නියමිතව තිබුණි. පී. දයාරත්න මහතාට එරෙහිව එබඳු නඩුවක් ගොනු කිරීමට එදා මට නොහැකිවුනේ ඔහු රජයේ නිවාස බලධාරියාගේ වූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ අවසරය මත නිල නිවසෙහි කුලිය ගෙවමින් සිටි නිසාය .දයාගමගේ ලබාගත් අධිකරාණ වාරණ ය නියමය මම අම්පාර දිසාපතිකමෙන් රත්නපුරයට එනතෙක්ම තිබිණි. ඉන්පසු සිදුවූ දේවල් මගේ පාලනයේ නොවීය.
මේ අනුව කිව යුත්තේ පී. දයාරත්න මහතා පදිංචිව සිටි බී 8, දීඝ ගාමිණී මාවත, අම්පාර නිල නිවස ඔහුට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිත්‍යානුකූලව වෙන්කර දී තිබුනු නිල නිවසක් බවයි. ඔහු එහි ජලබිල්, විදුලිබිල් හා කුලීමුදල් අඛන්ඩව ගෙවමින් ඉතාම උසස් අන්දමට එම නිවස නඩත්තු කරමින් පවත්වාගෙන ආ බවත් සඳහන් කල යුතුය. එසේම එතුමා මංත්‍රී හෝ ඇමති නිල නිවසක් කොලඹින් නොගෙන සිය පෞද්ගලික නිවසේ සිට ඒ රාජකාරි වල යෙදුනු අයෙක් බවද කිව යුතුය. තව එක් ගුණයක් ගැන කිවයුත්තේ ඔහු ඇමති මංත්‍රීකම් දරන කාලයේ නිල නිවෙසට හෝ පුද්ගලික නිවසට දුරකතන ඇමතුමක් දුන්විට පිලිතුරු දෙන්නේ ලේකම් වරුහෝ ගෝල බාලයින් නොව එතුමා හෝ එතුමාගේ මැතිණිය යන දෙදෙනාගෙන් කෙනෙක් බවය. මෑත වසර හත අට තුල දුරකතනයෙන් කතා කරනැති නිසා දැන් කෙසේදැයි දන්නේ නැත.
අම්පාරට විශාල මෙහෙවරක් කල එතුමා හා උප දිසාපතිවරයෙක් හා ප්‍රාදේශීය ලේකම් වරයෙක් කාලයේ මා අතර බරපතල ලෙස ගැටුම් ඇතිවුනත් කිසිදිනක මා හා අමනාපයක් පෙන්වා ද නැත. මට හිරිහැරයක් හෝ බලපෑමක් කලේද නැත. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී අප සමග උණුසුම් හා බරපතල වාග් සංග්‍රාම වලයෙදී රැස්වීම අවසන්වී පිටත්ව යන එතුමාට අම්පාර කච්චේරියේ බිම් මහලේදී අහම්බෙන් වත් මාව මුණ ගැසුනොත් කටපුරා සිනාසී වාහනයට ගොඩවී දොරවසා ගන්නවා ම්ස මූණ පුලුටු කර ගත්තේද නැත.
අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය මැතිවරණ දිස්ත්‍රිකයක් කිරීමේදී දිගාමඩුල්ල නම් ඓතිහාසික නම යලි තැබීමට යෝජනා කලේ එතුමාය. නිරුදක කතරක් බඳුව එකල තිබූ කච්චේරි භූමිය වන ගොමුවක් බවට පත් කිරීමට පැල සිටුවීම කලේ එතුමාය අදටත් අම්පාර කච්චේරි බිමේ ඇති ගස් කොලන් වැඩිම ප්‍රමාණයක් සිටුවා ඇත්තේ එතුමාගේ දෑතිනි.
මේවා දන්නේ අප කීප දෙනෙකි. පී දයාරත්න නම් දේශපාලකයා සැසඳිය යුත්තේ අපේ ඔලුවල ඉන්න පරමාදර්ශී දේශපාලන චරිතය සමග නොව ඔහුගේ සම හා පසුකාලීන දේශපාලන චරිත සමගය. ඒ සැසඳීමේදී ගුණ යහපත්කම අතින් පී. දයාරත්න මහතා ඉන්නේ බොහෝ ඉදිරියෙනි.
~ සුනිල් කන්නංගර
සංස්කාරක සටහන –
පී. දයාරත්න යනු ගෞරවාන්විත ලෙස දේශපාලනයේ නියැළුණු අයෙකි. එය ඔහු ගැන දන්නා කවුරුත් පිළිගන්නා දෙයකි. ඔහු දේශපාලනයෙන් මුදල් ගොඩ ගසාගත් අයෙකු ද නොවේ. එසේම ඇමතිවරයකු වශයෙන් කොළඹින් නිල නිවාස ලබාගත් අයෙකු ද නොවේ. අදාළ නිල නිවස ඔහු භාවිතා කර ඇත්තේ නීත්‍යානුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් ලබාදුන් අවසරයක් මත කුලී මුදල් ගෙවමිනි. ජල හා විදුලි බිල්පත් ගෙවමිනි. එය ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින් “ලැගීමක්” නොවේ. මේ නිවස බැලු බැල්මටම සුඛෝපභෝගී ඇමති නිවසකුත් නොවේ. එය වසර 60ක් හෝ ඊටත් වැඩියෙන් පැරණි නිවසක් විය යුතුය. එය මේ මට්ටමින් නඩත්තු කර තබාගැනීමත් වැදගත් දෙයකි. එහෙයින් මේ වසර 46 කතාව උස්සාගෙන දිවීමට තරම් මහා එකක් නොවේ. අනෙක් අතට ඇතැම් පරමාදර්ශී යැයි පෙන්වන දේශපාලන චරිත පවා තමන්ට හිමිකමක් නොමැති නිල නිවාස ලබාගෙන ඒවා අන්සතු කර තිබුණු බවත් තවත් එවැනිම අය මන්ත්‍රීකම් අහිමි වී වසර 10 – 15 තරම් දීර්ඝ කාලයක් අන්සතු මන්ත්‍රී නිල නිවාසවල කොළඹම ජීවත් වී තිබුණු බවත් පසුගිය දිනවල අනාවරණය වී තිබිණි.