*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මහාචාර්ය කපිතාන් නාලක ජයකොඩි මව්බිමට කීර්තිය ගෙනෙයි

සේයා රුව: 

1. මහාචාර්ය කපිතාන් නාලක ජයකොඩි මහතා සම්මාන ප්‍රදානෝත්සවය අතරතුර, ලෝක සාගර විද්‍යා සරසවියේ සභාපතිනී ආචාර්ය ක්ලියෝපැට්‍රා ඩුමෝබියා-හෙන්රි මහත්මිය සහ එම සරසවියේ කුලපති සහ IMO හි මහ ලේකම්වරයාවන කිටැක් ලිම් මහතා සමඟ  

සාගර විද්‍යාව පිළිබඳ දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය විද්වතෙකුවන මහාචාර්ය කපිතාන් නාලක ජයකොඩි මහතා ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලයේදී එහි ‘විශිෂ්ට ආදි ශිෂ්‍ය’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එම උත්සවය ඔක්තෝබර් 31 වැනි දින ස්වීඩනයේ මැල්මෝහි පිහිටි එම විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණි. 

මහාචාර්ය ජයකොඩි වෙත එම ගෞරව සම්මානය පිරිනැමීම සිදුකෙරුණේ ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ තීරණයකට අනුව ය. සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් එම සනාතන සභාව, ලොව විවිධ රටවල්වල විවිධ විශේෂඥතා ඇති පුද්ගලයින්ගෙන් සහ අන්තර්ජාතික සාගර විද්‍යා සංවිධානයේ (IMO), ස්වීඩන් රජයේ හා මැල්මෝ නගරයේ හිටපු නිලධාරීන්ගෙන් සමන්විත වේ. 

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට එම සරසවියේ කුලපති මෙන්ම IMO හි මහ ලේකම්වරයාවන කිටැක් ලිම්, සරසවියේ සභාපතිනී ආචාර්ය ක්ලියෝපැට්‍රා ඩුමෝබියා-හෙන්රි, සනාතන සභාවේ සාමාජිකයෝ, සරසවියේ ආචාර්ය මණ්ඩලය මෙන්ම විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. 

මෙම ගෞරව සම්මානය ලද පළමු සහ එකම දකුණු ආසියාතිකයා මහාචාර්ය ජයකොඩි වීම ද කැපීපෙනේ. සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව පැවති සභාපතිනිය විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේදී රැස්ව සිටි පිරිස අමතමින් මහාචාර්යවරයා කියා සිටියේ, මෙම සුවිශේෂී සම්මානය සිය වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේත් වැදගත් සන්ධිස්ථානයක්වන අතර, තම මව්රට වන ශ්‍රී ලංකාව දැඩි දුෂ්කර සහ අභියෝගාත්මක කාලයක් පසුකරන මේ සමයේදී සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් එක්කරනු ඇති බව ය. එදා මෙදා තුර, සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර, මහාචාර්ය ධූරයක් හිමිකරගත් එකම ශ්‍රී ලාංකේය සමූද්‍ර විශේෂඥයා ද මහාචාර්ය ජයකොඩි වේ. 

″සාගර විද්‍යාව සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් දැවැන්ත බලපෑමක් ඇති කළ මෙවැනි දක්ෂ උපාධිධාරියෙකු ඇගයීමට අවස්ථාව ලැබීම අපටත් විශාල අභිමානයක්. ඒ වගේම, අපි එක්ව වැඩ කිරීමෙන් සියලු දෙනා වෙත තිරසාර සංවර්ධනයක් අත්කරදීමට හැකි බවට මහාචාර්ය ජයකොඩි හොඳම උදාහරණයක්″, යනුවෙන් ලෝක සාගර විද්‍යා සරසවියේ සභාපති ආචාර්ය ක්ලියෝපැට්‍රා ඩුමෝබියා-හෙන්රි මහත්මිය පැවසුවාය. 

මහාචාර්ය ජයකොඩි, 2001 වසරේදී ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලයෙන් සාගර විද්‍යා අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ සිය විද්‍යාපති (MSc) උපාධිය සම්පූර්ණ කළේය. ඉන් අනතුරුව, චීනයේ ඩලියන් සාගර විද්‍යා විශ්ව විද්‍යාලයේදී සාගර විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ද අවසන් කළේය. ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලයේ උගන්නා සමයේදී එහි ශිෂ්‍ය කවුන්සිලයේ උප සභාපති ද වූ ඔහු, මැල්මෝ නුවර ඩ්‍රැගන් බෝට්ටු තරගාවලියේදී අඛණ්ඩව වසර දෙකක් සිය සරසවිය නියෝජනය කරමින් 2001 වසරේදී හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනාගත්තේය. 

ඔහු පසුකාලීනව, ජාතික කාර්යසාධන බලකායේ උපදේශක, අන්තර්ජාතික සාගර විද්‍යා සංවිධානයේ Ballast Water Convention සහ STCW 2010 ව්‍යාපෘති උපදේශක, සීෂෙල්ස්හි සහ ෆීජීහි සාගර විද්‍යා පුහුණු ඇකඩමියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති, එක්සත් රාජධානියේ ලොජිස්ටික් සහ ප්‍රවාහන වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ආදී ඉහළ තනතුරු ගණනාවක් හෙබවූවේය. 

මෙරට CINEC සරසවියේ උප සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ මහාචාර්ය ජයකොඩි, ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ සභාපතිවරයා ද විය. එමෙන්ම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ  උසස් අධ්‍යාපනය පිළිබඳ උපදේශකයෙකු සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකයෙකු (ලෝක බැංකු ව්‍යාපෘති ද ඇතුළත්ව) ලෙස ද ඔහු කටයුතු කර තිබේ. ඔහු මේ වනවිට, මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus හි උප කුලපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. 

වර්ෂ 2019 දී, IES India මගින් පිරිනැමෙන ‘අන්තර්ජාතික නායකත්ව නවෝත්පාදන විශිෂ්ටතා’ සම්මානයට හිමිකම් කී මහාචාර්ය ජයකොඩි, 2014 වසරේදී එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතින් ‘අධ්‍යයන විශිෂ්ටත්ව’ සම්මානයක් ද ලබාගත්තේය. අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර අත්දැකීම් බහුල නාවික නිලධාරියෙක් ලෙස කටයුතු කළ ඔහු, විවිධ නෞකාවල සේවය කරමින් විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් සමඟ ලොව රටවල් 90ක වැඩි සංඛ්‍යාවක සංචාරය කර තිබේ. ඔහු ඕස්ට්‍රේලියානු සාගර විද්‍යා පාසලෙන් (AMC) සිය මූලික නාවික පුහුණුව ලබා ඇති අතර, 1994 වසරේ ඕස්ට්‍රේලියාවේ RMITහිදී Master Mariner සහතිකය ලබා තිබේ. 

මහාචාර්ය ජයකොඩි විවිධ ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ සාගර විද්‍යා සමුළුවලට කථිකයෙක් ලෙස ද සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාවේ සාගර විද්‍යා සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලට ඔහු නන් අයුරින් දැක්වූ දායකත්වය ද සුවිශේෂී ය. හෙතෙම ශ්‍රී ලංකාවේ Company of Master Mariners ඇතුළු වෘත්තීය ආයතන ගණනාවක යාවජීව සාමාජිකයෙක් ද වේ. 

1983 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත විශේෂ ආයතනයක් වන අන්තර්ජාතික සාගර විද්‍යා සංගමය විසින් ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලය පිහිටුවන ලදී. සාගර විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි අධ්‍යාපනය, පර්යේෂණ සහ ධාරිතාව නැංවීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයක් පිහිටුවීම එහි අරමුණ විය. ඒ අනුව, සුවිශේෂී පශ්චාද් උපාධි අධ්‍යයන පාඨමාලා, සාගර විද්‍යාව පිළිබඳ විවිධ පර්යේෂණ මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක හා සමපාතවන සාගර විද්‍යා ධාරිතා නැංවීමේ වැඩසටහන් එමගින් ක්‍රියාත්මක වේ. 

එදා සිට අද දක්වා ලොව රටවල් 171කට අයත්, සාගර විද්‍යාව සහ සමුද්‍රීය අංශයේ විද්වතුන් 5,634ක් බිහිකිරීමට ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලය සමත්ව තිබේ. එහිදී ඉගෙනුම ලත් පිරිස් මේ වනවිට ලොව විවිධ ප්‍රමුඛ පෙළේ තනතුරු දරමින් විශාල සේවයක් ලෝ වැසි ප්‍රජාව සහ පරිසරය වෙත ඉටුකරමින් සිටියි. ඒ අතර, අමාත්‍යංශවලට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යා නිලධාරීහු, නාවික සමාගම් සහ වරායන් ආශ්‍රිත අධ්‍යක්ෂවරු, සාගර විද්‍යා ඇකඩමි සහ නාවික සංවිධානවල ප්‍රධානීහු, අන්තර්ජාතික සාගර විද්‍යා සංවිධානයේ දේශීය ප්‍රධානීහු වෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan