සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 05,(LNW) කොළඹ :
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නරකම කාල පරිච්ඡේදය කුමක්දැයි අසන කෙනෙකු, පිළක් නැතිව කියන්නේ ඒ 88/89 කාල වකවානුව බවය.ඒ අහිතකර බව කාටත් දැණුන එකක් විය.සමහර විට දැණුන හැටි වෙනස් වන්නට ඇත.ඒ කාල පරිච්ඡේදය ඇතුළත ලංකාවට අහිමි වූ තරුණ ජිවිත අදටත් තැන තැන සිහිගන්වා කරන වැඩ කටයුතු අතර පරණ නමක් ඇති ක්‍රීඩා සමාජයක් පරණ මතකය අලුත් කරමින් පරණ මිනිස්සු එකතු කරගෙන කරන පාපන්දු තරගාවලියක් ගැන වැටුණු ඉව ඔස්සේ වැල්ලවත්ත කුරේ පාර්ක් වෙත ගියෙමි.
සිහි ගන්වන තරුණ මතකය අද සිටියානම් වැඩිහිටියෙක්ව එහි ක්‍රීඩා කරන්නට තිබිණ.එසේම ඔහු දිවි හිමියෙන් කැප වුණා යැයි සිතිය හැකි දේශපාලනයේ ස්වර්ණමය මොහොත එළැඹි මොහොත විඳිමින් වඩාත් උද්යෝගයෙන් සහ සතුටින් සිටින්නද ඉඩ තිබිණි.ඔහු ක්‍රීඩකයෙක්ව සිටි ඉතිහාසය පුංචි කොළ කැබල්ලකට භාෂා තුනෙන්ම රැඟෙන තිබිණි.එහෙත් ඒ අකුරු මත්තේ දුවන්න වෙහෙසෙන ඇස වෙනුවට ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව ඉසිපතන විද්‍යාලයට,පීටර්සන් ක්‍රීඩා සමාජයට,මහරගම හයිඩ්‍රාමනි ආයතනයට සහ නුගේගොඩ අමිල පොටෝ වෙත ක්‍රීඩා කළ මතක පිබිදෙමින් තිබිණ.
එසේම ඉසිපතනයට සහ පීටර්සන් ක්‍රීඩා සමාජයට දුන් රග්බි දායකත්වය පිළිබඳ මතක ලියලමින් තිබිණ.පාපන්දු ක්‍රීඩකයෙක්ව වැල්ලවත්ත ජයබිම ක්‍රීඩා සමාජයටත්,මහරගම හයිඩ්‍රාමනියටත් දුන් දායකත්වය අවදි කරමින් තිබිණ.ඒවා ඇසට වඩා තදින් දෙසවන හරහා හදවතට මනසට කා වැද්දූ කතාවන්ය.
ඔහු අතුල ගුණසිංහ ය.ඔහු නමින් සැකසි අතුල ගුණසිංහ අනුස්මරණ කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරමින් තිබුණේ වයස 40 සහ 50 සම්මිශ්‍රව තිබුණු ක්‍රීඩකයෝය.නටබුන්ව නැති තවමත් ආලෝකය විහිදෙන දෙපයින් කෙරෙන පන්දුව හැසිරීමේ හුරුව සිටින මොහොතින්,ඒ මොහොත දක්වා පැමිණීමට පෙර එපිටින් වන දශක ගණනක් දුර සිහිනයක සිට විඳින්නට හැකි ඒවාය.කුරේ පාක්,සෝන්ඩර්ස්,ඕල්ඩ් බෙන්ස් ලෙස ඇසෙන ලාංකේය පාපන්දු ඉතිහාසයේ ස්වරණමය නාමකරණයන් වසර ගණනක ඈත සිට හිතට එබෙමින් ඇසින් විඳිමින් සිටියෙමි.
කුරේ පාක් එකේ පුඩ්බෝල් ගහන්න එන්නෙ අපි ස්කෝලෙ ඇඳුම පිටින්මයි.
ඒ පරණ මතකයක ජීවය වචනවල වෙලෙමින් ඇඳෙන හැටිය.
බෙදා වෙන් නොකළ සීමාවක දෙබිඩි දරුවෙක් සේ එකටම ඇළුණු පීටර්සන් පිටියෙන් විහිදුණු රගර් සහ ක්‍රිකට් ගැන මතක කතා ද සුවඳ දෙමින් විහිදෙමින් ඇත.
තැනක රටම නොව ලොවම දන්නා ක්‍රිකට් නමක්ය.ඒ අසන්ත ද මෙල් ය.ඔහු ඇඳුම පිටින්ම පාසල නිම වී මේ ක්‍රීඩා පිටි දෙක පාලම කරගෙන සිය ලෝක පූජිත ක්‍රීඩා ගමණ ආරම්භ කළ අයෙක්ය.
හැම එකම මාරෙට නියමෙට උඹ කරා.
ඒ අසන්තගේ පරණම සමකාලින මිතුරෙක්ය.ඒ අතර ක්‍රීඩා ගණනාවකි.අපූර්වත්වය කැරම් ද ඒ අතර වීමය.
ප්‍රධාන ආරාධිතයා වන්නේ හිටපු රගර් සභාපති රිස්ලි ඉල්ලියාස්ය.
බෝලෙ තනියෙන් අරගෙන යන්නෙ.
ඒ ඉල්ලියාස්ගේ මතකය අවදි වෙන පරණ සුමිතුරු මුවකින් වැටෙන වචනය.පීටර්ස්න් රගර් මතකය ඔස්සේ අවදි වෙන ඒ කතා අපූරුය.
රට වෙනුවෙන් ආසියාව එක්ක හැප්පෙන ගට දුන්නු තැන මෙතැන
ආසියානු සම්මේලනයේ බලපෑම්වලට රට යටත් නොවී සටන් කරපු ශක්තිසම්පන්න භාවය මේ පොළවෙන් ඇහිදා ගත්තු එකක් බව සහෘදයෝ පවසති.මහා නම් ඇති අවන්හල් ඇති ක්‍රීඩා සමාජ පෝෂණය කරන ක්‍රීඩා තරු උපද්දන මූළ බීජ ඇති තැන් නිර්මාණය කරපු හැටිත්,රගර් වෙනුවෙන් කිසිවක්ම නොපතා ආදරයේන් දිරිය දෙන ප්‍රෙක්ෂකත්වයේ අවංකත්වයත් සමඟ මිනිසුන් ඉල්ලියාස්ගේ සටන ඒ දෑත් අල්ලා තමන්ගේ පපුව මත තබා ගනිමින් හැසිරෙන්නේ එම සටන හදවත තුළට කාවද්දා ගන්නා හැඩයක් පාමින්ය.
ක්‍රීඩා පරිපාලකයේ ටයි කෝට් පැළදි ක්‍රීඩා සමාජ ලොක්කන්ගේ ඩීල්මය අස්ථානයෙන් මිදි මේ පොළවට පැමිණ ක්‍රීඩාව කියවා ගන්නේනම් අපූරුය.ඒ තැන්වල ජීවිතය දෙවැනි කර ආදරය පුරවාගත් අතුල ගුණසිංහලාගේ සංස්කෘතික ආභාෂය ගත් ක්‍රීඩා ප්‍රේමීන් බේදයකින් තොරව ක්‍රීඩාවේ ඇත්ත අවශ්‍යයතාවය පැහැදිළිව පවසන්නේය.ක්‍රීඩා නීතිය විය යුතු තැන් බොහෝ එහි මිනිසුන්ගේ අව්‍යාජ හඩ තුළ ඇත.මාධ්‍යකරුවෙක් නොවි තැන තැන ඒ කතාවලට කණ රිංගවීමෙන්,සිත යොමු කිරීමෙන් ඒ අව්‍යාජත්වය සිමාවන්වලට යටත් නොවි විඳ ගන්නට පහසුය.
එහි කිසිවෙකු ජාතියක් නොතකන්නේය.ආගමක් මත වෙන් කිරිමක් නැත.මනුස්සකමට ආදරය කරන මිනිස්සුය.එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවයන් බෙදා වෙන් කර නොගෙන පොදුවේ වින්ද හැටි කතා හරිම රසවත්ය.ආගමික දේශනා වෙනුවට මෙවැනි පරිසරයක අතීත කතාවන්වල ඇති සංහිදියාව වඩා දුරකට පැතිරෙන සුවඳකින් යුතුය.
ඒ අතරට ප්‍රකට ව්‍යාපාරික ෆවුසාල් හමීඩ් ද එකතු වන්නේය.ඔහුට ද සිය ළමා කාලය කුරේ පිටිය සහ පීටර්සන් පිටිය හරහා කෙළිදොලෙන් ගෙවා දැමූ මිහිරි මතකයක් ඇත.ඒවා සිහිපත් කරන ඇස්වලින් කාන්තිය විහිදෙන්නේය.මුහුණුවල ප්‍රභාව මන්දස්මිතය අතීතතමය ආස්වාදයේ පෞඩත්වය වචනවලින් මනින්නට යාම පල රහිතය.ඒවා ඒ තරම් සුවිසල් අතීතානන්දයක්ය.
තවත් බොහෝ ව්‍යපාරිකයන්,වියතුන් එක පෙළට එකට බැදුණු සුමිතුර මතක දිග හැරෙන්නට දෙන අපූරු අවකාශය රහය.වරක් අසන්ත පසෙකට හැරී ස්මරණය කරන අතුලගේ සහෝදරිය කෘතවේදීව අමතා, පිට්ටනිය එක්ක පොත පත අමතක කර ඔට්ටු වෙන කොල්ලන්ගේ අතපසු වූ පාසල් වැඩ කියා දෙමින් ඇය කළ සේවය සිහියට නඟන්නේය.මතකය නිවැරදිනම් ඇය රමණි විය යුතුය.කුරේ පාක් සභාපති ද අතුල ගේ සහෝදරයාය.අනුර ගුණසිංහ ය
කුරේ පාක් සහ පීටර්සන් මතකය ඇතුළේ තියෙන්නේ ක්‍රීඩාව මිනිසෙකුට කරන මඟ පෙන්වීමය.එසේම ක්‍රීඩකයා මිනිසුන්ගේ හදවතින් පහසුවෙන් මකා දැමිය නොහැකි සහෘදයෙකු වන්නට ඇති සුදුසුකම්ය.අතුල ගැන මතක පොදි ලිහන අය කතා කරන්නේ ඒ ක්‍රියාකාරි ක්‍රීඩා රටාවේ තවමත් ඇලී බැදී තිබෙන මතක ගැනය.බලධාරීන්ගේ ඇසින් සහ හදවතින් ඈත් වී තිබෙන සමාජමය වටිනාකම් නිර්මාණය කළ කුරේ සහ පීටර්සන් ක්‍රීඩා පිටිවලට යළිත් ජිවිය පිඹීමේ අවශ්‍යයතාවය ගැනය.
පිටිය වට කර තැණුනු තට්ටු ගණනින් උඩට ගිය නිවෙස්වලින් අතීතය ඈත් වී ඇත.ඔවුන්ව යළිත් කුරේ සහ පිටර්සන් පිටි වෙත කැඳවා ගැනීමේ අවශ්‍යයතාවය තේරුම් ගැනීම වැදගත්ය.දරුවන් ක්‍රීඩා පිටිවලින් හංගා අධ්‍යාපනයට යැයි යොමු කරන දෙමව්පියන්, පසුව ඔවුන් ක්‍රීඩා පිටියෙන් බැහැර වයසට පෙර හමුවන ලෙඩ රෝග වල ගොදුරු කරන අවස්ථා කොතෙකුත්ය.එසේත් නැතිනම් ක්‍රීඩා පිටියෙන් බැහැරව රඳවන ජීවිත විවිධ සමාජ උවදුරුවල ගොදුරු බවට පත් වෙන අවස්ථා ද සුළු නැත.
කුරේ පිටියේ අතුල ගුණසිංහ අනුස්මරණ තරගාවලිය කියවා ගනිද්දී, ක්‍රීඩා පිටිය තුළ සැරි සරන පරණ පෞරුෂවත් ක්‍රීඩාව ලියවුණු ශරීරවල අතීතානන්දයට පමණක් සීමා නොවන්නේය.කණ්ඩායම් 16 ක් ඒ අතීත මතක ඔස්සේ කියන්නේ පෙර පැවති නාගරික පරිසරයන් පෝෂණය කළ ක්‍රීඩා සංස්කෘතියේ පොහොසත්කම ගැනය.ඒ පොහොසත්කම් මනුස්සකම්වලට සබැඳි ආදරණිය සහෘද මතක සටහන්වලින් පෝෂණය වූ ඒවාය.ඒවා රොඳ බැඳින තැනක් බවට කුරේ පිටිය පත් කළ අතුලගේ මතකය සමඟ ඔවුනොවුන් පරණ කතාවන් සමඟ එකිනෙකා වැළඳගන්නේ තවමත් අතුලව සජීවීව ජිවත්වෙන බවට සහෘදයන් තුළ මතකයන් පුබුදු කරවමින්ය.
ඒ මතක පුබුදු කළ අතීතාවර්ජනයේ සමාප්තියේ අතුල ගුණසිංහ අනුස්මරණ පාපන්දු සූරතාවලියේ සූරයන් වූයේ ඔල්ඩ් බෙන්ස් ක්‍රීඩකයෝය.අවසාන තරගයේදී ඔවුන් වෙතින් පරාජයට පත් වන්නේ සෝන්ඩර්ස ක්‍රීඩකයෝය.ඉතා තියුණු මුහුණුවරක් ගත් තරග කිහිපයක අවසානය නිදහස් පහර මත තීරණය වූ තරගාවලියක අවසාන තරගයේ අවසාන තීරණයද තීරණය වූයේ ඒ අයුරෙන්ය.නිදහස් පහර 2-0 ක් ලෙස ඔල්ඩ්බෙන්ස් සූරතාවයට හිමිකම් කීවේය.ඔවුන්ට සූරතා කුසලානය සමඟ රුපියල් දෙලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමි විය.අනු සූර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට අනු සූරතා කුසලානය සමඟ රුපියල් ලක්ෂයක්ය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ සජිත් ධර්මපාලය.හොඳම ගෝල් රකින්නා ලෙස තරගාවලියම සළකා ඇගයිමට ලක් කළේ ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජයේ ටී ජොන්සන් ය.අවසාන තරගයේදී කැපී පෙණුන දක්ෂතාම ක්‍රීඩකයා ලෙස ඇගයිමට ලක් වූයේ ඔල්ඩ් බෙන්ස් හී තවරාජා ය.
තරගාවලියම සැළකිල්ලට ගෙන ඇගයූ සජිත්ට සහ ජොන්ස්න් ට රුපියල් විසි දහස බැගින් හිමි විය.තවරාජාට රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් හිමි විය.
අතුල ගුණසිංහ ඇත්තටම මේ රටේ දේශපාලනික ඛේදවාචකයේ කියවීමක්ය.ඔහුව අනුස්මරණය කළ ද මියගිය බවට සහතික නැති මිනිසෙක්ය.එවැනි මිනිසුන් මියගිය බව දේශාපාලනයේ ම්ලේච්ඡත්වය විසින් අපට ඒත්තු ගැන් වුව ද,ඒවා භෞතිකව අහිමිවීම් පමණක්ම වන්නේය.අධ්‍යාත්මිකව ඔවුන් වඩාත් මිනිස් හදවත්වල සුරක්ෂිතව ජීවත්වෙන බව තරගාවලිය පුරාමත්,එය ඉතුරු කළ මතක අතරින් දත් නොදත් සැමගේ හදවත් තුළත් ජිවමානව ජිවත්වන්නේය.
ප්‍රධෘන ආරාධිතයාව එක් වූ රිස්ලි ඉල්ලියාස් අතින් සූරයන් ඇගයෙන අන්තිම තත්පරයට පෙර වේදිකාවට ගොඩ වී සම්මාන ප්‍රදානය කළේ අතුල ගුණසිංහගේ පවුලේ සාමාජිකයෝය.ඔවුන් සියල්ලම අතුලගේ මතකය සමඟ ජීවත්වෙන කුරේ පිටියක අතීතානන්දයේ සැරි සරන්නෝය.පීටර්සන් පිටිය සහ කුරේ පිටියේ අසීමාන්තික බැදීම් සමඟ රිස්ලි ඉල්ලියාස් ද බොහෝ හැඟීම්බරව සිටියේය.සියල්ලන් අතුළව ජිවත්වෙන බව පසක් කර ගතිමින් යළිත් ඒ අතීතානන්දයේ සළකුණු කුරේ පිටය මත පමණක් නොව පීටර්සන් පිටිය මත ද එළෙන සිහිනයේ වෙලී වෙන්ව ගියහ.
ක්‍රීඩාවට සමාජයට ආදරය කරන මිනිසුන්ගේ ලෙංගතු බැදීම් පළල් වෙන තැනක් බවට ක්‍රීඩා පිටිය දැන හඳුනාගන්න මේ තරගාවලිය මෙන්ම ඒ වටා අතීතාවර්ජනයන්හී සොඳුරු මතක පොදි බැඳගෙන එකතු වූ සියල්ලෝ පැහැදිළි කළහ.මේ මොහොත කුරේ පිටියෙන් පමණක් නොව කොළඹ නාගරික සමාජ පද්ධතිය තුළ හුදෙකලා වෙම්න් පවතින එළිමහන් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ පද්ධති සියල්ලම පවසන්නේ යළිත් ආදරණිය සමාජයක් උදෙසා ඒ ක්‍රීඩා සංස්කෘතිය එදාටත් වඩා දියුණු වට පිටාවක් තුළ පෝෂණය කළ යුතු බවය.අතුල ගුණසිංහ විශ්වාස කළ දේශපාලනය බලයට පැමිණ ඇති මොහොතක අතුල ජිවත් කළ තවමත් භෞතිකව අහිමිව ගිය ද අධ්‍යාත්මිකව මිනිසුකන්ගේ හදවත්වල ජිවමානව රැඳෙන මිනිසෙක් බවට පත් කළ දේශපාලනය ඒ ආදරණිය උවමනාව අත් හරියි ද? අපි බලා සිටින්නෙමු!