සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී වාහන 2ක් මාස තුනක කාලයක් සඳහා ක්රියාවිරහිත කරමින් කොළඹ මහාධිකරණය අද (05) නියෝගයක් නිකුත් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් තහනම් කර තිබුණු මෙම බැංකු ගිණුම් සහ වාහන පිළිබඳව එම කොමිසමේ නිලධාරීන් විසින් අද දිනයේදී අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු මීටපෙර අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කෙරිණි.
මෙකී රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” යටතේ අල්ලස් කොමිසම විසින් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර තහනම් කර තිබූ අතර, අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බවත් සඳහන්.
මෙම තහනම පිළිබඳ දැනුම්දීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් කිහිපවිටක් රාජගිරිය ප්රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි රඛිත රාජපක්ෂගේ නිවසට ගොස් ඇතත් ඔහු එහි නොසිටි හෙයින් මෙම තහනම පිළිබඳව ඔහුගේ බිරිඳට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.


