*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රනිල්-මහින්ද හමුව – රාජපක්ෂ සහෝදරයෝ මිරිහානේ එක්වෙලා – සජිත් සෝමාවතියේ – සීනි වංචාවට නැවක් ගෙනාපු හැටි – කළුතර සජබ කුමන්ත්‍රණය – අනුර ඇමරිකාව දික්විජය කරයි

  • රනිල් – මහින්ද හමුව
  • රාජපක්ෂ සහෝදරයෝ මිරිහානේ එක්වෙලා
  • සජිත් සෝමාවතියේ
  • සීනි වංචාවට නැවක් ගෙනාපු හැටි
  • කළුතර සජබ කුමන්ත්‍රණය
  • දිලිත් “රාජපක්ෂ බූදලය” අතට ගනී
  • අනුර – ඇමරිකාව දික්විජය කරයි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): අයවැයට දින ගණනකි. ජනතාවගේ ජීවන බර වැඩි වෙමින් පවතින්නේ සමාගම් හා කර්මාන්ත ශාලා වැසීයමින් රැකියා අහිමිවන තත්ත්වයක් තුළ ය. රටපුරා මිනීමැරුම් මංකොල්ලකෑම්, කාන්තා ලිංගික අපයෝජන ඉහළ යමින් පවතී. හැකි සෑම දෙනාම රටින් පිටව යන්නේ කෙසේදැයි සිතන තත්ත්වයක් තුළ රටේ අනාගතය සම්බන්ධයෙන් ඇත්තේ අපැහැදිලි චිත්‍රයකි. ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 350 කටත් වඩා අඩු කාලයකි. ජනතාවාදී නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය ව තිබේ. මුලින් මහ මැතිවරණයක් ගැන කතාබහක් දේශපාලන ක්ෂේත්‍රය තුළ තදින් පවතින අතර ඇතැමුන් පවසන්නේ මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ය.

අයවැයට පෙර පොහොට්ටු ඉල්ලීම් වලට ජනපති කන් දෙයි ?

2024 අයවැය ලබන 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එළඹෙන අයවැය යෝජනාවලිය මඟින් සියළුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය වෙත පසුගියදා ප්‍රකාශ කර තිබිණි.ඒ අනුව රුපියල් දස දහසකින් පමණ වැටුප් වැඩිවීමක් සිදු කරන්නට නියමිතය.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩිය ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා පවසා තිබිණි. එහෙත් රටේ පවතින තත්ත්වය අනුව පෞද්ගලික අංශය මීට කවර ආකාරයකින් ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ඇති ද යන්න සැක  සහිතය.

බොහෝ විට මෙම වැටුප් වැඩිවීම දීමනාවක් ලෙස ලබා දීමට නියමිත ය, යම් ලෙසකින් එය වැටුප් වැඩිවීමක් ලෙස ලබා දෙන්නේ නම් එවිට වෛද්‍යවරුන් වෙත එකට හතරක වැටුප් වැඩිවීමක් ලෙස රුපියල් හතලිස් දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට සිදුවන අතර එවිට වැටුප් විෂමතාවයන් තවදුරටත් ඉහළ ගොස් වැඩ වර්ජන රාශියකට මඟ පෑදීමක් වනු ඇත.

මේ අතර වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරමින් පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් ලිපියක් යවා තිබේ.

සමෘද්ධි සහනාධාරය දිගටම පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය දීම දිගටම කරගෙන යෑම, මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම එම ඉල්ලීම් හතර වේ.

රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය සමෘද්ධි ව්‍යාපාරය හෙයින් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනවිත් වෙනස් කිරීම සුදුසු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. අයවැය සඳහා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම තීරණාත්මකවන අතර  තම ඉල්ලීම් ලැබුණු බව පවසමින් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම සාධාරණීකරණය කරන්න්නට ද මේ අනුව පොදුජන පෙරමුණට හැකියාව ලැබේ.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණත්, පොදුජන පෙරමුණට රනිල් වික්‍රමසිංහත් අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් මත රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා තීරණ නිසා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙත යා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මහින්ද – රනිල්  හමුව

කෙසේවෙතත් පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර ඉක්මනින් එකඟතාවයක් ඇතිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ දෙදෙනා අතර ඇති දශක ගණනාවක මිතුදම අනුව ඕනෑම ගැටළුවක් සාකච්ඡා කර විසඳා ගත හැකිය. අනෙක් අතට එම මිතුදම නිසා රනිල්ට ජනාධිපති ධුරයද හිමිවූ අතර වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා විසින් දෙදෙනාවම ආරක්ෂා කර තිබිණි. පසුගියදා ඉන්දීය මුදල් ඇමතිවරියගේ ශ්‍රී ලංකා සංචාරයේ දී රනිල් – මහින්ද හමුවක් සිදුවූ අතර එහිදී ප්‍රභල ලෙස දේශපාලන අදහස් හුවමාරුවක් සිදු වුයේ නැත. ඉදිරි වසර පහක කාලයත් රනිල්ට ලබා දෙන්නට මහින්දගේ අකැමැත්තක් නැති අතර එතෙක් නාමල් රාජපක්ෂ දේශපාලනිකව පරිණත ශක්තිමත් නායකයකු වීම මහින්දගේ බලාපොරොත්තුව බවට සැක නැත.

කෙසේ වෙතත් අයවැයට පෙර ඇමති ධුර කීපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයි ද පැවසේ. එසේ නොකොට අයවැයේ දී කිසියම් හෝ ගැටළුවක් ඇතිවීම වැළක්විය නොහැකි තත්ත්වයක් පැවතීම ඊට හේතුවයි.

කෙහෙළිය ගේ ඇමති ධුරය රමේෂ්ට දීම මෙන්ම අමරවීර ට තවත් ඇමතිකමක් ලබාදීම පොහොට්ටුවට වෙනස්කමක් ලෙස ඇතැම් පාර්ශව පිළිගැනීම මීට හේතුවයි. එසේම රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද සාකච්ඡා පැවැත්වීම මෙන්ම හම්බන්තොට බල අරගලයේ දී අමරවීර ශක්තිමත්වීම ආදී කාරණා නිසා පොහොට්ටුවේ ඇතැමුන් රනිල් දෙස බලන්නේ දැඩි සැකයෙනි. කෙසේ වෙතත් මේ සියලු ගැටලුවලට විසඳුම් ලබන සතිදෙක තුළ ලැබෙනු ඇති අතර එය බොහෝ විට රටේ විශාල පරිපාලන වෙනසක් ද සමඟින් සිදුවනු ඇත. මේ පාර්ශව දෙකම එකඟතාවයකින් තොරව ඉදිරියට යාමක් නොමැති බව තේරුම් ගැනීම රටේ පැත්තෙන් සුභදායකය.

වැටුප් වැඩිකර වැට් බද්ද වැඩි කිරීම

වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර තිබේ. මේ හේතුවෙන් භාණ්ඩ මිල යළිත් වතාවක් වැඩිවීම වැළක්විය නොහැක. ඉන්ධන මිලද වැඩි කර තිබේ. විදුලි බිල වැඩි කලේ සති දෙකකට පමණ පෙරය.

රජයේ සේවක වැටුප් වැඩි කිරීම මගින් ලක්ෂ 15 ක් පමණ වන රජයේ සේවකයන්ට සෙත සැලසුන ද වැට් බදු වැඩිවීම පොදුවේ රටේ ජනතාවටම බලපාන ප්‍රශ්නයකි. විදුලි බිල වැඩිකිරීම සහ වැට් බදු වැඩි කිරීම සිදු නොකර රජයේ සේවක වැටුප් ද වැඩි නොකර සිටියා නම් මීට වඩා ජනතාවට බර අඩුවනු ඇත. ලක්ෂ 15 ක රජයේ සේවකයන්ට සහන සැලසීමට වඩා රටේ සමස්ත ජනතාවට සහන සැලසීමේ ක්‍රමවේදයක් රජයට අවශ්‍යවේ. අනෙක් අතට මේ බදු හා ගාස්තු වැඩි කිරීම් ජනතාවට කිසිසේත් ඔරොත්තු නොදෙන අතර මැතිවරණ වසරක් අභියස සියතින් ගෙල සිඳ ගැනීමකි.

රාජපක්ෂ සහෝදරවරු මිරිහානේ දී කලකට පසු එක්වෙති

රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන්ගේ එක්වීමක් පසුගියදා නුගේගොඩ මිරිහානේ දී සිදුවිය. මේ සඳහා මහින්ද, චමල්, ගෝඨාභය හා බැසිල් සිවු දෙනාම එක්ව සිටියහ. පසුගිය දේශපාලන අර්බුද වලින් පසුව මේ රාජපක්ෂ පවුලේ සහෝදරයන් සියල්ල කලකට පසු  එකට හමුවුනේ මෙහිදී ය. රාජපක්ෂ පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙකි. ඒ චමල් , ජයන්ති, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි, ප්‍රීති සහ ගාන්ධිනී ය. මෙයින් ජයන්ති, චන්ද්‍රා සහ ගාන්ධිනී සොයුරු සොයුරියන් දැනට ජීවතුන් අතර නැත. මහින්දලාගේ මව වූ දන්දිනා සමරසිංහ මෑණියන්ගේ අභාවයෙන් පසු පවුලේ මූලිකත්වය ගෙන මවක් කටයුතු කළේ නැසීගිය ජයන්ති ය.

ජයන්තිගේ සැමියා සිරි හෙට්ටිආරච්චිය. ඔවුන්ගේ දරුවන් වන රංගනී සහ හිමල් තම මවත් පියාත් අනුස්මරණය කිරීම පවත්වන ලද පිරිත් හා දානමය පිංකම පැවතියේ මිරිහානේ රංගනීගේ නිවසේදී ය. දැන් රාජපක්ෂ පවුලේ සියලු දෙනා එකමුතු කරන නායිකාව ප්‍රීති ය. ප්‍රශ්න විසඳාගෙන සියලු දෙනා එකමුතු කරන ඇය අද රාජපක්ෂ පවුලට මවක් වැනිය. ඇය විවාහ වී සිටින්නේ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස සමඟය.

උදයංග වීරතුංග යනු මහින්ද ගේ මවගේ නැගණියගේ පුතා ය. පසුගිය දිනවල රාජපක්ෂවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටි උදයංග මෙම පිරිත් හා දානමය පින්කම් වල මුලිකත්වය ගෙන කටයුතු කරමින් කටයුතු සංවිධාන කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. හේතුව මෙතෙක් බොහෝදෙනා සිතා  සිටියේ උදයංග, රාජපක්ෂවරුන් සමඟ විරසකව සිටින බවකි. නාමල් සහ ලිහිනි ද මේ කටයුතු සඳහා එක්ව සිටියහ.

නැවතත් සීනි බදු වංචාවක් –  සීනි, තිරිඟු පිටි ඇතුළු බදු වංචා දිගටම …..

රටේ ජනතාව කොතරම් අසීරුවෙන් සිටිය ද රටේ සිදුවන සොරකම් හා වංචාවල අඩුවක් නොමැත. මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා ඉහළ පෙලේ කීපදෙනෙකු එක්ව විවිධ බදු වංචා මගින් දිගින් දිගටම බිලියන ගණනින් ගසා කමින්  සිටී.

මෙවර සීනි බදු වංචාව සිදු කර ඇත්තේ පසුගියදා රජය හදිසියේ ම සීනි සඳහා බද්ද ශත විසි පහේ සිට රුපියල් පනහ දක්වා වැඩ කිරීමට පෙර හදිසියේම මෙරටට නැව් පිටින් සීනි ගෙන ඒම මඟිනි. මෙවර ද පසුගිය සීනි බදු වංචාවට චෝදනා එල්ල වුණු පිරමිඩ් විල්මාර් සමාගමට ම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. පිරමිඩ් විල්මා සමාගම සිංගප්පුරු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයකි. පිරමිඩ් විල්මා සමාගම තායිලන්තයට අයත් සීනි නිශ්පාදන කම්හලක සිට කැම්බෝඩියාව හරහා සීනි ටොන් 8500 ක නැවක්  හදිසියේ ම ශ්‍රී ලංකාවට ගෙන්වන ලද අතර ඊට කඩිනමින් ශත 25 ක රේගු බදු ගෙවා වහාම නිදහස් කර ගන්නා ලදී. එම සීනි නැව නිදහස් කරගත් වහාම සීනි සඳහා මෙතෙක් පැවති බද්ද වහාම රජය විසින් කිලෝවකට රුපියල් පනහ දක්වා රුපියල් 49,75 කින් වැඩි කරන ලද්දේ අදාළ සමාගමට බිලියන ගණනක් ලාභ ලබා දෙමිනි. මෙම නැව ගෙන්වන විටත් පිරමිඩ් විල්මා සමගම සතුව ශත 25 බද්ද යටතේ ගෙන්වූ සීනි ටොන් විසිපන්දහසක් පමණ ඔවුන්ගේ ගබඩා වල තිබිණි. පිරමිඩ් විල්මා සමාගමේ මේ සීනි තොගය නිදහස් කරගත් පසු රජය සීනි සඳහා පාලන මිලක් ද පනවා ඇති අතර එය කිලෝවකට රුපියල් 275 කි. දැනට ඇති රුපියල් 50 ක බද්ද ගෙවා සීනි ගෙන එන සමාගමකට සීනි කිලෝවකට වැයවන වියදම රුපියල් 315 කි. ඒ අනුව දැනට මෙරට ඇති සීනි තොගය රුපියල් බිලියන ගණනක විශාල වාසියක් ඇතිව පිරමිඩ් විල්මා සමාගමට විකුණාගත හැකිය. මේ ගනුදෙනු සඳහා රජයේ ඉහලම පුද්ගලයන් සම්බන්ධ බව පැවසේ.

මීට මාස කීපයකට පෙර ද මෙවැනිම වංචාවක් සිදු කරන ලද්දේ ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් දෙකට ලාභ ලැබීම සඳහා තිරිඟු පිටි ආනයනය තහනම් කරමිනි. ඒ ලෝක වෙළඳපොලේ මිල අඩු වී මෙරට තිරිඟු පිටි කිලෝව රුපියල් 150 කට අලෙවි කළ හැකිව තිබිය දී කිලෝවකට රුපියල් 220ක මිලක් ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් දෙකට පවත්වා ගෙනයාමට ඉඩ දෙමිනි. මේ ආකාරයේ දූෂණ රටේ සමස්ත ජනතාවම ගසාකන්නට සමාගම් වලට ඉඩදෙමින් එම ලාභය බෙදා ගැනීම මෙහිදී සිදුව තිබේ.

පෞද්ගලීකරණය ට පෙර ශ්‍රීලන්කන් හා විදුලිබල මණ්ඩලයට බිලියන 238 ක් ….

පෞද්ගලීකරණය කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති අතර ඊට රුපියල් බිලියන 238 වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම මුදලින් රුපියල් බිලියන 129ක්, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඉතිරි රුපියල් බිලියන 109 ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් ද ලබා ගැනීමට නියමිත ය.

මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුව ද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ත් 400ත් පමණ ප්‍රමාණයක් පවතින බව ද වාර්තා වේ.

මෙම මුදල් ඉන්ධන මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කිරීමට නියමිත ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහ භාණ්ඩාගාරයෙන් ලබා ගත් ණය පියවීමටත්, මහ භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබා ගත් ණය පියවීමටත් භාවිත කිරීමට නියමිතය. මෙම ආයතනවල ණය බර පෞද්ගලීකරණය පෙර ඉවත්කළ යුතුව ඇති අතර විශාල ණය කන්දරාවක් සමඟ මෙම ආයතන මිලදී ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවේ.

ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සුදානම් ……………

ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හෝ ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය ඕනෑම මොහොතක සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පක්ෂයේ ප්‍රබලයන් සමග ප්‍රකාශ කර තිබිණි. රට පුරා යමින් පක්ෂයේ සංවිධාන කටයුතු මෙහෙයවන අතරේ මෙතෙක් කිසිඳු විපක්ෂ නායකවරයෙක් සිදු නොකළ විවිධ සමාජ සේවා හා සංවර්ධන කටයුතු සඳහා සජිත් දායක වෙමින් සිටී.

මෙවර සෝමාවතී මහ සෑ රදුන් අභියස කඨින චීවර පුණ්‍යෝත්සවය පැවැත්වුනේ සජිත් ප්‍රේමදාස හා ජලනි ප්‍රේමදාස යුවලගේ බැතිබර දායකත්වයෙනි. ඒ සඳහා විශාල ජනතාවක් සෝමාවතියට එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර සාකච්ඡාවක් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි.

රජය විසින් සිදුකරණ බදු ඉහළ දැමීම හේතුවෙන් තම වෘත්තිකයන්ට මෙන්ම රටේ සමස්ථ ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටළු රැසක් පිළිබඳව මෙහිදී එම පිරිස විසින්  විපක්ෂ නායකවරයාට කරුණු පැහැදිලි කරන ලදී.

සජබ ජාතික ලැයිස්තුවට ඉව අල්ලන කළුතර හිටපු ඇමති රස්සා දීපු හැටි හෙළිවෙයි …..

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රභලයකු විසින් ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් දියත් කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ලත් තැනම ලොප් වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයෙන් පසුගිය වර පරාජය වූ මේ සිටපු ඇමතිවරයා ඉදිරි මැතිවරණයේ දී කළුතර සජබ නායකයකුට නාමයෝජනා දෙන්නේ නම් නාමයෝජනා පත්‍රය අත්සන් නොකරන්නට තවත් සංවිධායකවරුන් කීපදෙනෙකුට කතාකරමින් ඊට එක්කර ගැනීමට උත්සහ දරා තිබේ. එහෙත් ඒ සියලුදෙනා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ සජබ ප්‍රභලයා ජාතික තලයේ නායකයකු බවත් සියලු පාර්ශව වල ගෞරවාදරයට පත් ඔහු ජනතා කැමැත්ත මස මිස කුමන්ත්‍රණවලින් පරාජය කරන්නට තමන් එකඟ නොවන බව පවසමිනි. මේ වන විට කළුතරට නව සංවිධායකවරුන් ද පත් කර තිබේ. මෙවරද  තම පරාජය නියත බව දැනගත් මොහු මේ වන විට සජබ ජාතික ලැයිස්තුවට ඉව අල්ලමින් සිටී. තම අමාත්‍යංශය වෙත ලැබුණු රැකියා 1800 ක් පමණ රුපියල් ලක්ෂ දෙක ගණනේ  2015-2019 කාලේ අලෙවි කළ බවට මොහුට චෝදනා නැගෙන බව සඳහන්ය. මේ පිරිස රැස්වීම් සඳහා ගෙන්වන්නට පසුගියදා මේ ආසන සංවිධායකවරයා උත්සහ ගත්තේ 300 බැගින් කණ්ඩායම් හයකට ය. පළමු තුන්සියයෙන් මුල් රැස්වීමට පැමිණ සිටියේ 15 දෙනෙකි. සල්ලි දීලා රස්සා අරගෙන මොකට රැස්වීම් වලට යන්නේ දැයි බොහෝ දෙනා මෙහිදී ප්‍රශ්න කර තිබිණි. එතැනින්ම එම රැස්වීම් මාලාව අවසන් ව තිබිණි. ජනතාව කළ ගුණ සලකන්නේ එලෙසය.

අනුර කුමාර ඇමරිකාවේ සාර්ථක සංචාරයක ………….

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට සාර්ථක ඇමරිකානු සංචාරයක නිරතවෙමින් සිටී. කැලිෆෝනියාවේ හා නිව්යෝර්ක් ඇතුළු ඔහුගේ ජනහමු ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඔවුන්ගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්   ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අසන ලද ප්‍රශ්න වලට ඔහු සාර්ථකව පිළිතුරු සපයා තිබිණි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් බත්තරමුල්ල ජවිපෙ මූලස්ථානයේ දී ඇමරිකාවට එන්නට පෙර අනුර කුමාර හමුවීම බොහෝදෙනාගේ අවධානයට ලක්විය. එම නිසාම බොහෝදෙනා අනුරගේ ඇමරිකානු සංචාරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමද දැක ගත හැකිවිය.

දිලිත් දිස්ත්‍රික් ප්‍රචාරණ වැඩපිළිවෙල ආරම්භ කරයි ………………

ව්‍යාපාරික දිලිත් ජයවීර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය මව්බිම ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීම සිය ගම් ප්‍රදේශය වන ගාල්ලෙන් ආරම්භ කිරීම මේ සතියේ සිදු විය.

මේ සඳහා විශාල ජනතාවක් සහභාගී වූ අතර රැස්ව සිටි පිරිස අමතමින් දිලිත් පැවසුවේ 69 ලක්ෂය බූදලයක් යනු රාජපක්ෂලාගේ නොවන බවය. එසේම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ සියලු ජාති ආගම් වලට අයත් ජනතාව සමඟ රටක් ලෙස ඉදිරියට ගමන් කරවීම තම අරමුණ බව ද දිලිත් ජයවීර මෙහිදී පැවසීය.

ධම්මික ගේ DP එඩියුකේෂන් වැඩපිළිවෙල ගම්දනව් සිසාරා……………..

ව්‍යාපාරික ධම්මික පෙරේරා මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තම වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශව දැනුවත් කරමින් සිටී. රට පුරා තරුණ දූපුතුන් ලක්ෂ ගණනකට නොමිලේ අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක වන ධම්මික පෙරේරාගේ DP එඩියුකේෂන් වැඩපිළිවෙල මේ වන විට ගම්දනව් සිසාරා ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රීලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආලෝකමත් කරන්නට ඉන්දීය රජයේ සහය

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දීය රජය විසින් ලබාදී තිබේ.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්‍රදානය යොදා ගැනීමට හැකියාව පවතී.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් හදන්න රුධිරය ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් …

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් සෑදීම සඳහා රුධිරය ලබා ගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බව රිමාන්ඩ් භාරයේ පසුවන Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති පවසා ඇත.

එසේ, රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යන පර්යේෂණයක් සඳහා යයි පවසමින්, සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය මත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඒ අනුව, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් රුධිරය ලීටර 150ක් අදාල ව්‍යාපාරිකයාට ලබාදී ඇත. එසේ ලබා දෙන ලද රුධිරය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැත. එසේම මෙම රුධිරය ප්‍රමාණය මේ තරම් විශාල ඖෂධ ප්‍රමාණයක් නිෂ්පාදනයට ප්‍රමාණවත් නැත. එසේම මෙම පොලිස් පරීක්ෂණ සඳහා නිසි වෘත්තීයමය දැනුමක් සහිත පාර්ශව වල අවශ්‍යතාවක් පවතී.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලින් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ලවන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුව ද ඒවා මෙරට දී නිෂ්පාදනය කර ඇති බවයි. එසේම ඒවා වෙනත් රටකින් නොගෙන්වූ බව රේගු වාර්තා මගින්ද සනාත කර තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan