Monday, December 4, 2023
spot_img

Latest Posts

දුර ගැන හිතන්න පුළුවන් බර අනාගතයක්

බිබිල කිව්වම ඉස්සර ඔළුවට ආවෙ පැණි දොඩම්.
දැන්නම් එහෙම නැහැ.අපෙත් ගස් ටිකක් තියෙනවා.ඒත් ඉස්සර කියලා තියෙන තරමට ලංකාවෙ වැඩියම වගෙනම් පෙණුමක් නැහැ.
අපේ කතා නායිකාව මාතෘකාවෙන් පිට තැනකදී පවසන්නීය.නමුත් අපට ඇය රස විඳින්න පැණි දොඩම්මය හැඟීමක් ආඩම්බරයෙන් අරගෙන එන්නට සමත් ඇත්තියක බව කිව යුතුය.
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලට කිට්ටුව නන්නපුරාව කියන ග්‍රාමය දැන් නිතර රටට ඇහෙනවා පෙනෙනවා.ඒ ඒ පාසලෙන් රටට වටින දායාදයක් තිළිණ වෙමින් තිබෙන නිසා.නමින් නෙතුමිකා මධුෂානි හේරත් වූ ඇය මේ වන විට ශ්‍රී ලංකා කණිෂ්ඨ දුර පැනීමේ වාර්තාවේ හිමිකාරියයි.ඇය එ් වාර්තාගත දුරට ඔසවා තබන්නා ක්‍රිෂාන්ත කුමාරයි.
“ශ්‍රී ලංකාවේ දුර පැනීමේ වාර්තාව මීටර් 6.65 ක්.ඒක සාරංගි අක්කගෙ.”


අපි ඇයගේ ඉලක්කය හොයන දුරට සමීප වුණෙමු.සාරංගි ද සිලවා ශ්‍රී ලංකාවේ නැවතී තිබුණ කාන්තා දුර පැනීමේ කඩඉම් වේගයෙන් පසුකර ගොස් අවසන්ය.ඇය එමග දුර යන්නියක බව සමාජය දැනගත්තේ 2012 දි වමණ අවුරුදු 16 ක පමණ හිච්චි එකියකව ඉද්දිය.දැන් අපේ කතා නායිකාවට අවුරුදු 18 කි.ඇය දැනටම සාරංගිගේ දුරට වේගයෙන් හඹා එන්නීය.ගෙවුණු සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ එහි උපරිමයට ආ ඇය පැන්න දුර මීටර් 6.22 කි.එය සාරංගි අවුරුදු 18 දී පැන්න දුරනම් පසු කරත් සාරංගිගේ වාර්තාව හෙටම පසුකර රටම වෙනස් කරයි කියන්නට නොහැකිය.ඇය ද නොකියන්නීය.


“මට තව කල් තියෙනවා.2024 වෙන කොට 6.40 ට.එතකොට සාරංගි අක්කා තව ඉස්සරහට ගිහිං ඉදියි.එත් මම මගේ දක්ෂතාවය හෙමින් වැඩි කර ගන්නවා.ආසියානු ක්‍රීඩා උළෙල වෙනකොට මීටර් 7.00 ක දුරේ ඉන්නයි මට ඕනි.”


ඇය ජවසම්පන්න පිමි පනින්නීය.නො උස් සිරුර වේගවත් පය මාරුවකින් පසු ඉහළටත් දුරටත් විහිදී යන්න සළස්වන අඩ සඳැති හැඩයකට නමණීය වන සිරුර අපූරු ප්‍රිය දසුනක්ය.පහතින් එබෙන කැමරා ඇසකට,ඇය ගුවනේ සිටින නිමේෂය තුළ හැඩය, විවිධ වර්ණාලේපිත ඇසිල්ලක දේදුන්නක්ය.


මධුෂානි යනු නමුත් වර්ණ දේදුන්නක් සේ මැකී නොයා යුතු තිර ජයග්‍රහන වෙනුවෙන් සුරැකිව තබා ගත යුතු අනර්ඝ ක්‍රීඩිකාවක්ය.ඇය තවමත් නොරටට රට නියෝජනය කරමින් පය තබා ඇත්තේ එක් වරක් පමණි.එහිදී ඇයට උපරිමයට ළඟා වීමට නොහැකි වූවාය.


“නුහුරුකම.හරියට තරගෙට සූදානම් වුණේ නැහැ වගෙ.”
කුවේට් හි පැවති එම තරගයෙන් වූ පරාජයෙන් ඇය ලද පන්නරය දැන් දකින්නට ඇත.පරාජයන් ජයග්‍රහණයන් වෙනුවෙන් පාර කියන බව ඔප්පු කරමින් සිටින්නේය.
“ගොවිතැන්වලින් තමයි ඉතිං පවුලම නඩත්තු වෙන්නෙ.අක්කා කැම්පස්,ළඟදි ලොකු අක්කටත් සම්පත් බැංකුවෙ රස්සාවක් හම්බ වුණා.දැන් කොළඹ.නංගි පොඩියි.”
මධුෂානිගේ අම්මා සහ තාත්තා දායද කර ඇත්තේ කම්බායන්ම හතරකි.රුව පමණක් නොව නැණ ද යහමින් පාදා දෙන්නට ඔවුන් දෙදෙනා පොළවත් එක්ක කරන පොර බැදිල්ලට හැකි වී ඇත.පොඩි අක්කා ද විශ්ව විද්‍යාලයේ දීත් ක්‍රීඩාව අත හැර නැත.පොතත්,ක්‍රීඩා පිටියත් මැදින් දිවෙන මේ පවුලේ කතාවට දුරට පනින්නට හැකිකම පමණක් ඇති ගැටිස්සියක් හැටියට මධුෂානිගේ නියෝජනයද හඳුන්වන්නට නොහැකිය.ඇය සාමාන්‍ය පෙළ විභාග පිම්මේ ජයග්‍රහණය ඒ සමාර්ථ අටකින් සහ බී සමාර්ථ එකකින් සටහන් කළ ඇත්තියකි.

මව සහ පියා සමඟ


“පොඩි අක්කා ජපුර ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් කරන්නෙ.ලොකු අක්ා ජොබ් එකට ගියෙ සබරලමුවෙ වැනේජුමන්ට් ඩිග්‍රිය කරලා.මටත් විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වෙයි.ක්‍රීඩාව සමඟ අධ්‍යාපනයත් හොඳින් කරනවා.මම ඒ ලෙවල් කරන්නෙ කොමර්ස්වලින්.”
දැනට රිටිස්බරි ශිෂ්‍යත්වයෙන් මෙන්ම ජනාධිපති ශිෂ්‍යත්වයෙන් ද ඇයට යම් පිටුවහලක් ලැබෙන බව මධුශානි පවසන්නීය.
“ඉතිං ඇද්ද?”…..


පිළිතුරක් වෙනුවට ඇයට ඇත්තේ සිනහවක්ය.ඒ සිනහව විශාල ප්‍රශ්නාර්තයක් සහිතය.ඇය නැහැ කියන්නට අකමැතිය.එහෙත් තියෙනවා කියන්නට තරම් දෙයක් නැති බව ඇත්තය.
ස්පයික්ස් නෙමෙයි දැන් ඩෙක් සූස්වත් ගන්න අමාරුයි.හරි ගණන්නෙ.
ඇය වෙන පැත්තකින් පිළිතුරුක් නොවන පිළිතුරක් දෙන්නේය.පනින්නට වැය කරන සපත්තු මෙන්ම සපයික්ස් ද පරිස්සම් සහගතව ගෙයි මුල්ලේ නැත.ඒවා ක්‍රියාත්මකය.මීටර් 6.22 ක පිම්මක් දුරට විහිදෙන්නේ ඒවා කාර්යබහුල නිසාය.
“ගමේම වගෙ තමයි ඉතිං ස්කෝලෙ.පයින් යන්නත් පුළුවන්.මම බිබිලට ජිම්වලට යනකොටනම් බස්එකේම යන්න ඕනි.නැත්නම් තාත්තා බස් එකේ එක්ක යනවා.”
ඇය එතෙකින් නොනැවතී එම කායවර්ධනාගාරය හිමි සමන්ත විජේසිංහ මහතාත්,පාසලේ විදුහල්පති වරයා වන ඩීි.එම්.නන්දසේන මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ සියල්ලත් බැතිබරව සිහි කළාය.
“පුළුවන් පමණින් උදව් කරන අය ගොඩක් ඉන්නවා.කියලත් බැහැ.නොකියත් බැහැ.ඒ හැමෝටම ඉතිං ස්තූතියි.නම් කියන්න ගිහිං මිස් වුණොත් ඒක හොඳ නැහැ”
ඇය තුන් පිම්මට ද සැරසෙමින් මුමුණන්නීය.හදිසියේ වැඩ වරද්දා ගන්නවාට වැඩිය ඇය එය හොඳම විදිහට කළමණාකරණය කර ගන්න දන්නීය.


“අම්මයි තාත්තයි දෙන්නත් මං වගෙ කාලෙ උසයි දුරයි පැනලා තියෙනවා.”
ඇය ජානමය සම්බන්ධයේ හෝඩුවාවන් කහවුරු කරන්නේ මේ අපූරු පිමිවල ආකර්ශණය දැනී අසන පැනවලට පිළිතුරු ලෙසය.නමුත් එකල ඒ මවට හෝ පියාට කුමාර කෙනෙක් මුණ ගස්වන්නට තරම් ක්‍රීඩාව ව්‍යාප්තව තිබී නැත.ඒ නිසා බිබිලටම සීමා වූ සුවදක්ව ඔවුන්ට නවතින්නට සිඳු වී ඇත.මේ හමු වූ පරම්පරාව පරවෙන වෙන්නට නොදී රැක ගන්නට ඇති වගකීම,යුතුකම සහ කාර්යභාරය ජාතිකමය.
ක්‍රීඩා ඇමති පඬිය නොගැනීම ගැන,වාහන භාවිතා නොකිරීම ගැන.තෙල් වියදම් නොගැනීම ගැන ලියැවෙන ප්‍රශස්ති අපිට රහ විඳින්න හැක්කේ ඔහු මුදල් නොගැනීම ගැන සිතා නොවේය.මධුෂානිලා වැනි අනාගත පරම්පරාවට ජයග්‍රහණ පල හැටියට ගෙන වැඩෙන්නට කුමක් කරන්නේ ද යන්න අනුවය.අඩුම තරමේ මේ රටේ ක්‍රීඩා භාණ්ඩ සඳහා ගසා ඇති බඳු මුදල් ඉවත් කිරීමට සහ දැරිය හැකි මට්ටමට අඩු කරන්නට හැකිනම්…
පෞද්ගලික කැපකීරීම් ගැන වැනිය හැකි නමුත් දරන වගකීමට එකතු කරන පළල් සැළසුම් සහිත පුළුල් දැක්මක් පොළවේ තිබිය යුතුය.එසේ නොවන තැන් හී දි, දස්කම් රැඳුණ මධුශානි වැන්නියන්ගේ අපූරු ජවයෙන් මේ පොළවට හිමිවිය යුතු කීර්තිය දිනා ගන්නට අපහසුය.බොහෝ තැන්වල හැඳෙන විවිධ දේ සඳහා සාමූහිකව රොක්වන පුරවැසි කණ්ඩායම් අතර මධුශානිගේ වගකීම ගන්නා මිනිසුන්ට ඇය මේ කොදෙව්වෙන් එපිට රත්තරන් පිමි සඳහා මෙහෙයවීය හැකි ශක්තිය වන්නට හැකිය.ඒ සඳහා තෙතැති හදවත් වෙත අප අත්වැලක්ව මඟ කියන්නට සූදානමින් සිටිමු.
අපි අවධාරණය කර, ඇය සතුව රන්වලට බර ජයග්‍රාහී අනාගතයක් ඇති බව කියන්නෙමු!

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.