අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්ම ගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි අයවැය කතාවක් කරලා තිබ්බ. මම දැන් කොහොමත් එතුමාගේ කතා අහන්නේ නැහැ. ඔය තැනින් තැනින් නිව්ස් හයිලයිට්වල තියන දෙයක් දැක්කොත් හැර. මොකද කරුණුමය වශයෙන් ලංකාව අනික් පැත්ත හැරවිය හැකි ලොකු රැඩිකල් දෙයක් කොහොමත් ඔහු කියන දේ තුළ දැන් නැහැ කියන්න මම තේරුම් අරන් ඉන්නේ. හැබැයි කරුණු නෙවෙයි අදටත් ඔහුගේ කතාවල ජයග්‍රහණය, හඬ. සහ ඒත්තු යන විදියට හඬ හැසිරවීම. ආක්‍රමණික බව.
අයවැය කෙසේ වෙතත් එතුමා කිව්ව එක දෙයක් ගැන මම මගේ සත බාගේ මෙතන ලියන්න හිතුව. ඒ තමයි රොකට් කතාව.
ලංකාවේ ඔය නාසා වගේ එකක හිටපු කෙනෙක් ඇරෙන්න රොකට් එකකට (ඇත්තටම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමකට) නමක් ඈඳිලා තියෙන්නේ චිචීගේ. ඒ කියන්නේ රෝහිත රාජපක්ෂගේ. ඒ නිසා තමයි ඒ කාලේ එයාට ‘රොකට් රෝහිත’ කියල කිව්වේ.
රෝහිත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුතෙක් වීම සහ දේශපාලන බලය නිසාම ඔහුට රොකට් එකකට සම්බන්ද වෙන්න ලැබීම ගැන සමාජ කතිකාවක් වරෙක ගොඩනැගුන. ඒකෙන් අපි ඔහුට දේශපාලනිකව දමල ගැහුවා. අනික් තරුණයෙක්ට නොලැබෙන අවස්තාවක් ඔහුට ලැබුණේ කොහොමද කියන එක දේශපාලන කතාවක් බවට පත්වුණා. ඒක යහපාලනයේ අවියක් උනා. පසුව අරගලය දක්වා ආව. ‘කෝ උ*ටෝ රොකට් එක ?’ කියල සටන්පාඨයක් අරගලයේ දිගහැරුණ. සියල්ල රාජපක්ෂ විරෝධී සටනේ සටන්පාඨ උණා. ඒ මොහොතේ ඒ සියල්ල සාධාරණ උණා.
අරගලය වෙලාවේ රෝහිත මූණට මුලිච්චි උනානම් ආයේ රෝහිත කෙනෙක් ජීවත් නොවෙන්න ඉඩ තිබ්බ. තිබ්බේ එහෙම තත්වයක්. ඒ නිසා රොකට් කතාව සෙල්ලම් කතාවක් නෙවෙයි. මනුෂ්‍යයෙක්ගේ ජිවිතය සහ මරණය තීරණය වෙන කතාවක්.
කොහොම උනත් අද දවසේ ඉඳන් බලනකොට රෝහිත සම්බන්ද වෙච්ච ඒ වැඩේ ඇතුලේ ලංකාවට මුල්‍යමය පාඩුවක් වෙලත් නැහැ. යම් අදායමක් ලැබෙනවත් කියල කියනවා. හරි කිසිම අදායමක් ලැබෙන්නේ නැතත් ඔහු ලංකාවට කිසිදු පාඩුවක් කරලා නැහැ. මොනවා හරි විමර්ෂණය කලයුතු දෙයක් තියනවා නම් යහපාලනය වගේම මේ පාලනයත් තියනවා නේ. ඒවාට දඬුවම් තියනවා නම් එසේ තිබ්බාවේ.
රෝහිත කියන්නේ අපේ පරම්පරාවට පස්සේ පරම්පරාවේ තරුණයෙක්. නාමල් පවා. ඔවුන් අතින් දේශපාලන සහ වෙනත් වැරදි වෙලා තියනවා නම් විවේචනය කලාට කමක් නැහැ. වැරදි තියනවා නම් දඬුවම් කලත් කිසිම අවුලක් නැහැ. හැබැයි ඒවා යම් තැනකින් පස්සේ ඉස්සරහට අරන් ඇවිල්ල වැඩක් නැහැ. විශේෂයෙන් මේ වගේ වෙලාවක අයවැයක් අතරතුර ආයේ ආයේ හෝද හෝද මඩේ දාන්න ඕනි නැහැ.
මොකද මම හිතනවා ඔවුන්ට පවා වෙනස් වෙන්න – පරිණත වෙන්න අවස්ථාවක් අනුරගේ පරම්පරාව විසින් දියයුතුයි කියල.
රෝහිත අගනුවර එක්තරා රග්බි ක්‍රීඩා සමාජයක ප්‍රධාන පුහුණුකරු වෙලා තියනවා නිව්ස් එකක් දැක්ක. ඒක ඉතාම හොඳ දෙයක්. ඒක වෙන්නේ රාජපක්ෂලා බලයේ නොසිටි අවස්ථාවක වීම තවත් ලොකු දෙයක්.
ඒ විදියට ඔවුන්ට වෙනස් වෙන්න, වෙනස් විදියට මේ සමාජයට එන්න. මේ සමාජයට යමක් කළ හැකිනම් ඒ අවස්ථාව දෙන්න අපි අපේ පරම්පරාව හැටියට හරහට සිටිය යුතු නැහැ. වැළකිය යුතු නැහැ.
රාජපක්ෂ කියන නම අගට තියන නිසාම ඔවුන්ට පහර ගැසිය යුතු නැහැ. අනික ඔහු දැන් තනි පුද්ගලයෙක්. හුදකලා තරුණයෙක්. අනුර කියන්නේ දේශපාලන ව්‍යාපාරයක නායකයෙක්. රටේ ජනාධිපති. නිකම් ජනාධිපති නෙවෙයි තුනෙන් දෙකක් තියන ජනාධිපති. ඔහුගේ අවිඥාණයේ රොකට් රෝහිත සිටිය යුතු නැහැ.
තමන් වී ඇටයක් කියල හිතපු ලෙඩක් මානසික රෝහලක හිටිය. පස්සේ එයා සුවපත් වෙලා රෝහලෙන් යන්න හදන කොටම එළියේ කුකුලෙක් ඉන්නව දැක්ක. යන්න ගිය මිනිහ කලබලෙන් ආයෙත් ඩොක්ටර් ලඟට දුවගෙන ආව. ඇවිත් කිව්වා අන්න ඩොක්ටර් එළියේ කුකුලෙක් ඉන්නවා මාව ගිලදමාවි කියල. ඩොක්ටර් කිව්වා පිස්සුද මනුස්සයෝ තමුසේ දැන් වී ඇටයක් නෙවෙයි මනුස්සයෙක් බය නැතුව යනවා කියල. එතකොට අර රෝගියා කියපි ඔව් ඩොක්ටර් මම මනුස්සයෙක් කියල මම දන්නවා හැබයි කුකුළා දන්නවද කියල.
ඒ නිසා ජිජැක් කියනවා රෝගියා සුවපත් වෙලා වැඩක් නැහැ රෝගියාගේ අවිඥාණයේ තියෙන වී ඇටෙත් සුවපත් වෙන්න ඕනි කියල….
අනුර ඔයා දැන් ජනාධිපති…!
~ මහේෂ් හපුගොඩ
