අටුවා ටීකා ටිප්පණි නැතුව කෙළින්ම කතාවට බහිමු.
මෙරට පාලනය කළ දක්ෂිණාංෂික පක්ෂ හා කල්ලි කණ්ඩායම් සංවිධාන ශක්තියෙන් , මතවාදී ශක්තියෙන් හා ජනතා සහයෝගීතාවෙන් පහතම අඩියට වැටී කුල්ල කුජීත වී තිබෙන වෙලාවල් මේක. ඒ වෙනුවට ඔවුන් සතුව ඇත්තේ තවදුරටත් අවස්ථාවාදී කුමන්ත්‍රණවල නියැලීමේ අවසන් පිදුරු ගහ විතරයි.
ජනාධිපති ජේ.ආර්ට හයෙන් පහක බලයක් තිබුණා. ජනාධිපති ප්‍රේමදාසට පොදුජන කැමැත්තක් තිබුණා. ජනාධිපති චන්ද්‍රිකාට සිවිල් සමාජයේ සහයෝගීතාවක් තිබුණා. ජනාධිපති මහින්දට බහුතර ජනතා ආකර්ෂණයක් තිබුණා. ජනාධිපති මෛත්‍රී ගැන, භීෂකයෙක් නොවේය යන පැහැදීම තිබුණා. ජනාධිපති ගෝඨාභය සම්බන්ධයෙන් මුල් කාලයේදී ජනතාව බලාපොරොත්තු සහගතව හිටියා. නමුත් වත්මන් පාලනය සතුව මේ කිසිවක් නැහැ. ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුබලයන් දුබලයන් එක්වී අටවා ගත්ත ‘අටවන ‘පාලනයක්.
කිසිදු ජනප්‍රසාදයක් සහයෝගීතාවක් පැහැදීමක් අපේක්ෂාවක් හෝ සැලකිය යුතු ව්‍යවස්ථා බලයක් නැති ව්‍යවස්ථාවට මුවා වූ රංචු ගැසීමක්.
ඒ නිසාම සහ කලක් තිස්සේ රැගෙන ආ ප්‍රතිපත්ති විසින් නිම වූ අර්බුදය හේතු කොට ගෙන, මෙතෙක් කල් ඔවුන් සතුව තිබූ පුන්කලස දැන් හිස් වෙලා. ඒ පුන්කලස බොරුවට හෝ ජනතාවට යමක් දිය නොහැකි හුණ්ඩුවක් බවට පත් වෙලා.
ජනතාවගේම මුදල් රැපින් පේපර්වල ඔතා විවිධාකාර මැතිවරණ අල්ලස් ලෙස මායාකාරී ලෙස හෝ දිය නොහැකි තරමට ඒ හුණ්ඩුව බ0කොලොත් වෙලා.
දකුණේ හුණ්ඩුවේ අඩිය හිල් වී – ඇතුළ චොර වී – පතුල ගැලවී ඇති මොහොතක වමේ ලොකුම ව්‍යාපෘතිය වී ඇත්තේ ඒ හුණ්ඩුව පරදවා සැබෑ සාමූහික ජනතා පුන්කලස නිර්මාණය කිරීම නෙමෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ උනුන් මරාගන්න රණ්ඩුවක පැටලෙන එකයි. වාම ප්‍රගතිශීලී කණ්ඩායම් තේරුම් ගෙන නැති කරුණ මෙන්න මේකයි. ඔවුන් ඉන්නේ එක සරල රේඛාවක විවිධ ලක්ෂ්‍යයන්වලයි. ඒ විවිධ ආස්ථානයන් විසින් පොදු අරමුණ – පොදු සිහිනය පෝෂණය කරනු ලබන බව ඔවුන් තාමත් තේරුම් ගෙන නැහැ.
ගඟක් කඳු මුදුනේ සිට මුහුදට ගලන විට ඒ ගඟේ හැම තැනක්ම ඒ මහා චාරිකාවේ වැදගත් තැන්. ඒ ඒක තැනක්වත් අවැදගත් තැන් නෙමෙයි. එහෙත් ඒ ඒ තැන්වල සිටින උදවිය මේ මහා චාරිකාව තේරුම්ගෙන නොමැති වීම යුගයේ අවාසනාවයි. වමේ අවාසනාවයි. දකුණේ වාසනාවයි.
දක්ෂිණාංෂික හුණ්ඩුවට තවමත් වහ වැටෙන ජනී ජනයා ඉන් ගලවා ගැනීමට නම් වාමාංශික රණ්ඩුව වහා නතර කළ යුතුයි. සුනාමියක් එනවා පෙනි පෙනි බීච් වොලිබෝල් ගහන මෝඩ ගැටවරයන් රැලක් සේ හැසිරීමට වමට අයිතියක් නැහැ.
වාම ප්‍රගතිශීලී කණ්ඩායම් සිනමා පෙම්වතුන් යුවලක් සේ මල් ගස් වටේ නැටිය යුතු බවක් තාරක යෝජනා කරන්නේ නැහැ ඒ වෙනුවට තාරක යෝජනා කරන්නේ, තම තමන් ගමන් ගන්නා දේශපාලන මාවත්වල ඒ ඒ අනන්‍යතාවන් හා ඓතිහාසික අවශ්‍යතාවන් අවබෝධ කරගනිමින් එකී මාවත්වලට ගරු කිරීමයි.
අඩුම ගානේ අනෙකාගේ අනන්‍යතාවට උසුළු-විසුළු නොකර සිටීමේ විනයක් වාමාංශික ව්‍යාපාරය ඉක්මනින් අත්පත් කර නොගත්තොත්, මුළුමහත් ජනතාවම සමස්ත වාමාංශික ව්‍යාපාරයටම උසුළු-විසුළු කරන දිනය හෙට වෙන්න පුළුවන්. සමහරවිට… අද වෙන්නත් පුළුවන් !
– තාරක