කොළඹ LNW:ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය නමින් ජලයේ නිදහස් අයිතිය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම වෙනුවෙන් මේ වන විට අග්‍රාමාත්‍යවරයා විසින් 2023/06/28 වන දින පාර්ලිමේන්තුවට සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
2023 ජුලි මස 10 වන දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, එම සංදේශය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සාකච්ඡාවකට මේ වන විට එළඹී ඇති අතර, රජය තවදුරටත් මෙය රහස්‍ය ප්‍රතිපත්තියක් ලෙස සඟවාගෙන සිටීමට උත්සාහ කරයි. ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමයි. ඒ වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පරිපාලන අමාත්‍යංශය, වන ජීවී හා වන සත්ව සංරක්ෂණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශ, කෘෂිකර්ම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය,පරිසර අමාත්‍යාංශය යන මෙම ආයතන එක් වී අදාළ ප්‍රතිපත්තිය මේ වන විට සාකච්ඡා කරමින් පවතී.
ජල සම්පත් ප්‍රතිපත්තිය ගෙන ඒම උදෙසා සාධාරණීකරණය කිරීම ලෙස, රජය ඉදිරිපත් කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ ජලය අස්ථාවර බවට පත් වී ඇති අතර වී වගාව සඳහා ජනතාවට ජලය සැපයීම වෙනුවෙන් එය ස්ථාවර කිරීම සඳහාත්, ගංවතුර සහ නියං පාලනය කිරීම සඳහාත්, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මඟින් ජලය කළමනාකරණය කිරීම උදෙසා එළඹීමක් සිදුකරන බවයි.
මෙම ප්‍රතිපත්තියේ 5.5 වගන්තියට අනුව, ජලය පොදු අයිතියක් වූවත්, ඒ සම්බන්ධයෙන් වන සියලුම කළමණාකරණ කටයුතු සලකා බැලීම මෙම ප්‍රතිපත්තිය මඟින් සිදු කිරීමට නියමිත වේ. එමෙන්ම මෙහි 6 වගන්තිය ප්‍රතිපත්තියේ අරමුණ නොකීවත් එය මනාව පැහැදිලි වන්නේ මෙසේය.
මෙම ප්‍රතිපත්තියේ 6.4 කොටසේ සිට 6-14 කොටස දක්වා, ජලය කළමනාකරණය සම්බන්ධව දක්වා ඇති අතර මෙහිදී ජලය කළමනාකරණය උදෙසා වූ සභාවක් පිහිටුවීම – මෙම ප්‍රතිපත්තිය සාකච්ඡා කරන අතර එම සභාවේ රෙගුලාසි, නීති සහ තීරණ අනුව ජලය කළමනාකරණය උදෙසා ආණ්ඩුව ඉදිරියේදී තීරණ ගැනීමට නියමිතයි.
මෙහි 6.6 වගන්තිය පවසන ආකාරයට ජලය වාණිජ වශයෙන් භාවිතා කරන සියලුම දෙනා වෙනුවෙන් මිලක් අය කර ගැනීම උදෙසා වගන්තියක් ඇතුළත් කර ඇත, ජලය වාණිජකරණය කිරීම යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කර නැත. ඒ නිසා කෘෂිකර්මාන්තය උදෙසා භාවිතයට ගන්නා ජලය සම්බන්ධ වුවද ඉදිරියේදී මෙම ප්‍රතිපත්තිය මඟින්, යම්කිසි ආකාරයේ මුදල් අයකිරීමක් සිදුකිරීමට හැකියාවක් ඇත.
කෙසේ වෙතත් ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මඟින්, ජලය කළමනාකරණය කිරීම මුවාවෙන්, කළමනාකරණය උදෙසා ජලයට බද්දක් පැමිණවීම සහ නිදහස් ජල අයිතිය මිනිස්සුන්ගෙන් මෙන්ම සතා සිවුපාවාගෙන්ද උදුරා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව පෙනෙන්නට ඇත. එහිදී වනජීවී සම්පත් කලාප, වන සංරක්ෂණ කලාප වල තිබෙන මෙතෙක් ගණනය නොවූ සියළු ජල ධාරිතාවන්, ඇළවේලි, ගංඟා කළමනාකරණය උදෙසා ආයතනයක් පිහිටුවීම සහ එම ආයතනය නඩත්තුව මඟින් සහ කළමනාකරණය වෙනුවෙන් මුදල් අය කර ගැනීම මෙම ප්‍රතිපත්තිය මඟින් සිදුකිරීමට නියමිත අතර, එතෙක් නිදහස් ජල අයිතිය භුක්ති විඳි ජනතාවට ජලයේ අයිතිය නැති කිරීම ප්‍රතිපත්ති මඟින් ගැනීමට නියමිතයි.
අප මෙය පවසන්නේ හුදෙක් අනුමානයක් ලෙස නොව ඓතිහාසික සාක්ෂිද සහිතවය. පසුගිය කාලය පුරාවට පැවති ආණ්ඩු මෙම ප්‍රතිපත්තියට අමතරව, ලංකාවේ ජලය විකිණීම වෙනුවෙන් ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇති අතර, ඒ සියල්ලම විවිධ මට්ටමින් ජල කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, එම ජල කළමනාකරණ ආයතනය මඟින් ලංකාවේ සියලු ජලය, ගංඟා ද්‍රෝණි, සියලු ජල මූලාශ්ර කළමනාකරණය කිරීම හා එම කළමනාකරණය කිරීම වෙනුවෙන් මුදලක් අය කිරීම යන මෙම පියවරවල් තුන අනුගමනය කිරීම අරමුණු කරගෙන තිබිණි.
ජලය විකිණීමේ ඉතිහාසය
ලංකාව ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක මහා තෙතැන්නකි. ලොව එල්ලංගා පද්ධති ලෝක උරැමය බවට පත්වන්නේ එය එතරම්ම සුවිශේෂි ශිෂ්ටාචාරයක ලක්ෂණයක් නිසාය.
2011-2048 ජාතික භෞතික සැළැස්ම හදුනා දෙමින් රජය පසුගිය කාලයේ උත්සහ කල ජලය අයිතිය පෞද්ගලිකරණය කිරීමට මේ වන විට උත්සහ දරමින් ඇත. ජල බිල සියයට 60 වැඩි කිරීම,ස්භාවික ජල උල්පත් භාවිතාකරන ජනතාව ක්‍රමානූකූලව ප්‍රජා ජල ව්‍යාපෘතිවලට හුරැ කිරීම හා ජල නිදහස භුක්ති විදි ජනතාව ජලයට මුදලක් ගෙවන තැනට හුරැ කිරීම. ඇතුළු ජලය විකිණීම ජල කළමනාකරණ නමින් දැන් නැවත එමින් පවති.
ජාතික භෞතික සැළසුමේ තිස් හත්වන පිටුවේ හා තිස් අටවන පිටුවවේ දක්වා ඇති පරිදි water and water cycle management වෙනුවෙන් රජය මුලික අඩිතාලම ගෙන ඇත. එහිදි ජල මුලාශ ආරක්ෂා කිරිම, වැසි ජලය රඳවා තබා ගැනීම, පුරාණ වාරිමාර්ග ජාලය නැතහෙතේ එල්ලංගා පද්ධති ආරක්ෂා කිරීම, ගංගා දාර සංරක්ෂණ , යන කිසිදු දෙයක් ගැන අවධානයක් යොමු නෙකෙරන අතර ජලයට මුදලක් අය කිරීම කළමණාකරන ලෙස හදුන්වා දී ඇත.
2006 – 2010(a ten year Horizon development plane framework) නව ශ‍්‍රී ලංකාවක දැක්ම න්‍යාය පත‍්‍රයට අනුව ජලය හා ජල මූලාශ්ර කළමනාකරණය නොහොත් විකිණීම මෙහි ප‍්‍රධාන පරමාර්ථය වේ. මෙහි කළමනාකරණය ලෙස අර්ථ දක්වන්නේ ස්වභාවදහමේ තිරසාර පැවැත්ම උදෙසා ජලය ආරක්ෂා කිරීම හෝ භාවිතා කිරීම නොවේ. ජලය හා ජල මුලාශ‍්‍ර මුදලට විකිණීමය.
ජල මූලාශ‍්‍ර පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියේ 6. වගන්තියේ ප‍්‍රතිපත්ති යටතේ,ජලයට විශාල ආර්ථික වටිනාකමක් ඇති නිසා කළමනාකරණය කළ යුතු බව පෙනවා දී තිබිණි. සැබවින්ම ජලය හා ජල මූලාශ්ර කළමනාකරණය කළ යුතුය . නමුත් කළමණාකරණය යන්න මුවාවෙන් මෙම සම්පත් බහු ජාතික සමාගම්වලට විකිණිය යුතු නැත.
ජලය ස්වාභාවික සම්පතකි. එය කාගේවත් නිපැයුමක් නොව සොබාදහමේ කිරයාකාරිත්වය නිසාම අපට ලැබෙන්නකි. මහ පොළොව මත ජීවයේ පැවැත්ම ජලය මත රැඳී තිබෙන නිසා,තම මූලික අවශ්‍යතාවන් වෙනුවෙන් ජලය ලබා ගැනීමට ස්වාභාවික අයිතියක් මේ පොළොවේ සිටින හැම ජීවියෙකුටම ඇත. ඒ අනුව මිනිසාටද එය උරුම ය. රතු ඉන්දියානු නායක සියැටෙල් තම ඓතිහාසික ලිපියෙන් අමෙරිකානු ජනාධිපතිගෙන් විමසූ ලෙස, සොබාදහමේ කිසිවක් කිසිවෙකුට හෝ අයිති නැති නිසා ඒවා විකිණීම හෝ මිලයට ගැනිම සිදු කරන්නේ කෙසේද? යන ප‍්‍රශ්නය මෙම ප‍්‍රතිපත්තිය දකින විට අප හට ඇති වේ.
මෙම පනතේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස ගංගා, ඇළ දොළ, ගංගා ආරම්භ වන උල්පත්,ජල ගැලීම් නිම්න,වාරි මාර්ග, විල්ලූ,දිය බුබුළු,ළිං, භූ ගත සියලූ ජල මුලාශ‍්‍ර හඳුන්වා දී ඇති අතර 11.4 වගන්ති ප‍්‍රකාරව “ජල මූලාශ‍්‍ර ආශ‍්‍රිත ප‍්‍රදේශ ආරක්ෂා කිරීම හා සංරක්ෂණය උදේසා පුද්ගලික අංශයේ සහභාගීත්වය දිරිගැන්වීම” යන්න මෙහි නිදහස් ජල අයිතිය උදෙසා පෞද්ගලික පාර්ශවකරුවන් දායක කරගැනීමට අදහස් කෙරේ. ඒ අනුව ලොව පුරාම ජල වෙළඳාමෙහි නිරත වන ඉමි අයතනය, ලංකා ජලනී කාන්තා සංවිධානය ඇතුළු තවත් ආයතන ගණනාවක් සඳහා ලංකාවේ ජල වෙළඳාම උදෙසා නිත්‍යානුකූල අවසරයක් ලබාදීමේ අරමුණින් මෙම ප‍්‍රතිපත්තිය සම්මත කිරීමට රජය එවකට උත්සහගත් අතර ජනතා විරෝධය නිසා එය යට යන ලදි.
ජලය විකිණීම වෙනුවෙන් කළමනාකරණය කිරීම හා සංරක්ෂණය වෙනුවෙන් කළමනාකරණය කිරීම යනු එකක් නොව දෙකක්ය. 2008 වර්ෂයේ ගෙන එන ලද පානීය ජලය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියෙහි හතේ එක වගන්තියේ පළවන උප වගන්තියට අනුව සියලූම දෙනාටම මුලික අවශ්‍යතා ලබා ගැනීමට හැකි වන පරිදි ජලය ආර්ථික භාණ්ඩයක් කොට සලකා කටයුතු කරනු ලැබේ යන්න පැහැදිලිව සඳහන් කර ඇත. එමෙන්ම 2011 වර්ෂයේ ගම නැඟුම ව්‍යාපෘතිය යටතේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව ජල සම්පාදන සේවා සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නංවනු ඇත යන්න සඳහන් කර ඇත. මේ සියල්ල මගින් රටේ ජල සම්පත විකිණීම හා පෞද්ගලිකරණය වෙනුවෙන් වැඩ කටයුතු සිදු වන බව පැහැදිලිව හඳුනාගත හැකිය.
එහෙයින් 2014 වර්ෂයේ ගෙන එන ලද ජල පනත මගින්ද ජල මූලාශ‍්‍ර හා ජලයේ අයිතිය සමාගම් සතු කිරීම උදෙසා අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කොට ඇති අතර දැනටමත් ලංකාවේ බොහෝ වැව් වල මැනුම් කටයුතු සිදුකරමින් ජල වෙළඳාම සඳහා අවශ්‍ය සාධක සපුරාගමින් සිටිති.
අන්තර්ජාතික වශයෙන් මෙම කුමන්ත‍්‍රණය සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීම සඳහා IIMI (ඉමි) ලෙස හඳුන්වන ජාත්‍යන්තර වාරිමාර්ග කළමනාකරණ ආයතනය (International Irrigation Management Institute) 1985 දී පිහිටු වන ලද්දේද ශී‍්‍ර ලංකාව තුළය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජල සම්පත පෞද්ගලීකකරණය කිරීමේ සැලසුම් ආසියානු සංවර්ධන බැංකුවේ හා අමෙරිකානු ආධාර ආයතනයේ (USAID) සහාය මත සකස් කිරීම ඇරඹී ඇත්තේ 1993 වසරේදීය.
එහෙත් ඇති විය හැකි ජනතා විරෝධයට මුහුණ දීමට තිබූ බිය නිසා,එය ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම ප‍්‍රමාද විය. ඒ වෙනුවෙන් 1996 දී බිහි කළ ජල සම්පත් ලේකම් කාර්යාලයද මෙම ඉමි ආයතනය තුළම පිහිටුවීය. පසුව මෙහි නම වෙනස් කළ අතර අද එය හැඳින්වෙන්නේ ජාත්‍යාන්තර ජල කළමනාකරණ ආයතනය (Internationl Water Managment Institute – IWMI) නමින්ය.
පොදු සම්පතක් වන ජල සම්පත පෞද්ගලිකකරණය කිරීම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ අනුව සැකසුන් ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වා දුන්නේ ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය හා ආයතනික සකස් කිරීම (National Water Resources Policy and Institutional Arrangements) ලෙසයි.
ජල මූලාශ‍්‍ර පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අමතරව වයඹ පළාත් සභාව මගින් තවද පළාත තුළ වාරි ජලය කළමනාකරණය කරන මුවාවෙන් ජලය මුදලට විකිණීමට ප‍්‍රඥප්ති කෙටුම්පත් කොට සාකච්ඡාවන්ට ගන්නා ලදි . නිදහස් ජල අයිතිය විකිණීම වෙනුවෙන් වාරි පද්ධති භාවිතා කරමින් වගා කටයුතු කරන ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් සෑම ප‍්‍රදේශයකින්ම වාරි කළමනාකරණ කමිටුව බැගින් පිහිටුවා ගැනීම මෙම වයඔ පළාත් වාරි කළමණාකරණ ප‍්‍රඥප්තියේ 12 වන වගන්තිය මගින් මුලිකව සිදු කරන ලදී.
නමුත් මෙම කමිටුවට,ගොවි ජනතාවට අමතරව ගොවි ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන හා කෘෂි සේවා සපයන ආයතන වල ව්‍යාපාරිකයන්ටත් සාමාජිකත්වය ගත හැකිය. එමගින් ජල අයිතිය බහු ජාතික සමාගමකට,ව්‍යාපාති වලට,බෝතල් ජලය සපයන සමාගම් වැනි සමාගම් අතට පත්වීම ආරම්භ වී ඇත.
කෙසේ වෙතත් මෙලෙස පිහිටුවා ගන්නා වාරී කළමනාකරණ කමිටුව පළාත් සභාවේ ලියාපදිංචි විය යුතු අතර විෂය භාර අමාත්‍යවරයාගේ ජලයට අදාළව දෙනු ලබන ඕනෑම නියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට වාරි කළමනාකරණ කමිටුව හා ඒ සාමාජිකත්වය දරණ ගොවි ජනතාවට සිදු වේ. මෙම කමිටුව පිහිටුවීමෙන් අනතුරුව සියලූම ගොවි ජනතාව වෙත වැවක,ඇළක,ජල මූලාශ‍්‍රයක,සෑම කන්නයකම වල් කොටා පවිත‍්‍ර කිරීම වෙනුවෙන් කොටස් කර බෙදා දීමට ප‍්‍රඥප්තිය යෝජනා කරන අතර එලෙස සිය වගකීම ඉටු නොකරන ගොවි ජනතාවගෙන් පිරිසිදු කිරීම වෙනුවෙන් යන වියදම් රජය විසින් දඩ මුදලක් ලෙස පියවාගනු ලබයි. එමෙන්ම ජල කළමනාකරණය කිරීම සඳහා බාධාවී කටයුතු සලසා ඇති අතර එමගින් මෙතෙක් ජල මුලාශ‍්‍ර ආශ‍්‍රිතව ආරක්ෂා වී තිබූ කැලෑ කපා ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සලසාගෙන ඇත.
මෙම ප‍්‍රඥප්තියට අනුව වගා ළිඳක් කපා ගැනීමත් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර දඩ නොගෙවන, ප‍්‍රඥප්තියේ විධි විධාන කඩ කරන ගොවි ජනතාව කිසිම නඩු විභාගයකින් තොරව දිස්ත‍්‍රීක් උසාවියකින් රුපියල් 50,000/-ක දඩයකට යටත් කිරීමටත් මාස 06ක සිර දඬුවමකට පත් කරමින් දැයට බත දුන් ගොවියා සිපිරිගෙට යැවීමටත් අවශ්‍ය ඉඩකඩ සලසා ඇත.
එමෙන්ම ජල සේවා සැපයීම වෙනුවෙන් කුඹුරු වගාවල යෙදෙන ගොවියන් වී අස්වැන්නෙන් කොටසක් පළාත් සභාවට ලබා දිය යුතු අතර ජල සේවාව සැපයීම වෙනුවෙන් යන වියදමෙන් 70% ක් ගොවි ජනතාව දැරිය යුතය. ඒ අනුව මෙම ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක වීමෙන් අනතුරුව පළාත් සභාවේ නඩත්තුව වෙනුවෙන් ගොවි ජනතාවට මුදල් ගෙවීමට ද සිදුවේ.
ලෝක බැංකුව පවසන ආකාරයට කුඹුරු වගාව උදෙසා ජලය සැපයීම පාඩු ලබන ක‍්‍රියාවලියක් වන බැවින් සපයන සේවාව වෙනුවෙන් ගොවි ජනතාවගෙන් මුදල් අය කළ යුතුය යන ස්ථාවරයේ සිටිමින් ජල අයිතිය විකිණීමට මේ වනවිට රජයට බල කරමින් සිටී.
ඒ අනුව ජල මූලාශ‍්‍ර පිළිබද ජාතික ප‍්‍රතිපත්තිය ජාතිත භෞතික සැළැස්ම හා වයඔ පළාත් වාරි කළමනාකරණ ප‍්‍රඥප්තිය තුලින් නිදහස් ජල අයිතිය ආර්ථික භාණ්ඩයක් කොට ගැනීම තුළ කෘෂිකර්මයට, පරිසරයට, වන සතුන්ට, ජන ජීවිත වලට මෙය අයහපත් ලෙස බලපානු ලබනවාක් මෙන්ම වයඹ පළාතට සේම අනෙක් පළාත් වලටද නරක පූර්වාදර්ශයක් සපයනවා ඇත.
අද වනවිට ආහාර නොමැතිව නොයෙක් රටවල දුගී මිනිසුන් මිය යමින් සිටියි. එලෙස නිදහස් ජල අයිතිය ආර්ථික භාණ්ඩයක් සේ සලකා කටයුතු කළ හොත් බීමට දිය බිඳක් නොමැතිව දුප්පතුන් මියයන්ට පටන් ගන්නා අතර එය මිහිමත කොතැනක හෝ සිදු නොවිය යුතුය. ජලය කළමනාකරණය කිරීමේ මුවාවෙන් ජල අයිතිය සමාගම් සතු කිරීම කල යුත නොවේ.
ජල කළමනාකරණයට අවශ්‍යතාවක් තිබේ නම් පළමුව කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වඩා ඇති ගම් වැව්, කුළු වැව්, දන වැව්,මහ වැව්,ඔලගම් වැව්, ඇළ,වේලි,විල්,ඇතුළු ඉපැරණිම ජල කළමනාකරණ සැලැස්ම නැවත සක‍්‍රිය කිරීමයි.
නිදහස් ජල අයිතිය උපරිමයෙන් භූක්ති විඳි පැරැන්නන් කීවේ,
“දෝතපුරා පැන් අරගෙන බීපන්නේ
තිසා වැවට පින් දීලා පල යන්නේ ”
කියාය. නුවර කලාවියේ ගැමියන් අතර පරසිදු මෙම කවියේ සඳහන් වන නිදහස් ජල අයිතිය පිටරට සමාගම් සතු කිරීමට හෝ මුදල් බවට පරිවර්තනය කිරීමට යන්නේ කාගේ උවමනාවටද යන්න පැහැදිලිව හඳුනාගත නොහැකි වුවත් නිදහස් ජල අයිතිය පිළිබඳ මානවයාට ඇති හිමිකම අහෝසි වී ගියහොත් එදිනට බීමට දිය පොදක් නොමැතිව ජනතාව පීඩාවට පත්වන බවත්, ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා ඒවා ක‍්‍රියාත්මක කරන අයත්,පොදු ජනතාවත් අවබෝධ කරගත යුතුය.
ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය