රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW :
පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කරනවා – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන ප්‍රථම සංඥා භාෂා පුහුණු පාඨමාලාව අද (10) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම පාඨමාලාව ආරම්භ විය.
“නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සම ප්‍රවේශයක්” යන ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම පාඨමාලාව සංවිධානය කර තිබේ.
කථන හා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීමේදී මෙන්ම එම ප්‍රජාවට අදාළ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ සමාජගත කිරීමේදී ද බාධාවකින් තොරව නිවැරදි හා ඵලදායී සන්නිවේදනයක් පවත්වාගෙන යාමට මාධ්‍යවේදීන් සවිබලගැන්වීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ශ්‍රවණාබාධ සහ කථනාබාධ සහිත ප්‍රජාව වෙත නිවැරදිව තොරතුරු සම්ප්‍රේෂණය කිරීම මෙන්ම මාධ්‍යකරණයේදී එම ප්‍රජාව තොරතුරුවලින් බැහැර නොවන බව තහවුරු කිරීම ද මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණක් බවයි.
මෙම පාඨමාලාව සඳහා සහභාගි වන එක් මාධ්‍යවේදියෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෑම පුරවැසියෙකුටම සාධාරණව සැලකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ සංඥා භාෂාව නීතිගත කිරීම සඳහා සංඥා භාෂා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ප්‍රාදේශීය හා භාෂාමය වෙනස්කම් අවම කරමින් පොදු ශ්‍රී ලාංකේය සංඥා භාෂාවක් සංවර්ධනය කිරීමට ද පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සමාරම්භක අවස්ථාව අමතමින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, බහුතරයක් මාධ්‍යවේදීන්ට සංඥා භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු නිසි පරිදි තමන් වෙත සන්නිවේදනය නොවන බවටත්, සෘජුව සන්නිවේදන කටයුතු සිදු කිරීමට අවස්ථාව නොලැබෙන බවටත් ශ්‍රවණාබාධ සහිත ප්‍රජාවගෙන් පැමිණිලි ලැබෙන බවයි.
මෙම පාඨමාලාව හරහා ශ්‍රවණාබාධ සහිත ප්‍රජාව සමඟ සෘජුව සන්නිවේදනය කරමින් ඔවුන් මුහුණ දෙන ගැටලු, අභියෝග සහ අවශ්‍යතා සමාජගත කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ එහි සංඥා භාෂා පරිවර්තක කණ්ඩායම මගින් සංඥා භාෂාව විධිමත් කිරීම සඳහා මේ වන විටත් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම්වරුන් වන රාධා නානායක්කාර මහත්මිය සහ නාලිකා පියසේන මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ දන්තිකා වෙඩික්කාර මහත්මිය, අමාත්‍යාංශ නිලධාරීන්, සංඥා භාෂා පරිවර්තකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

