රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW:
වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන බවට පැතිර යන කතා අසත්‍යයයි. වෛද්‍යවරුන් 7,000ක් සහ හෙද හෙදියන් 13,000ක් පමණ සෞඛ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු සුදානම් – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රජයේ රෝහල වන කුලියාපිටිය ශික්ෂණ රෝහලේ (Kuliyapitiya Teaching Hospital)
වත්මන් මෙහෙයුම් කටයුතු සහ රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගියදා එම රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

වයඹ පළාතේ ප්‍රධානතම වෛද්‍ය සායනික පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම දිනකට දහස් සංඛ්‍යාත ජනතාවක් ප්‍රතිකාර ලබන මෙම රෝහලේ සේවා තවත් විධිමත් කරමින් කඩිනමින් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන්හි
කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
රෝහලේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා රෝහල් පරිපාලනය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමග විශේෂඥ සාකච්ඡාවක් ද පවත්වන ලද අතර, සෞඛ්‍ය සේවාවේ මානව සම්පත සංවර්ධනය කිරීමෙි වැඩපිළිවෙළ තුළ ඉදිරි වසර දෙක තුන ඇතුළත වෛද්‍යවරුන් 7,000ක් සහ හෙද නිලධාරීන් 13,000ක් පමණ සෞඛ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන බවට පැතිර යන කතා අසත්‍ය බවත්, වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) වැනි නව ක්ෂේත්‍ර හරහා සෞඛ්‍ය සේවය තවදුරටත් පුළුල් වන බවත් ප්‍රකාශ කළේය.
කුලියාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනයේ දී
සාමාන්‍ය රෝහල් සංවර්ධන සැලසුමකින් ඔබ්බට ගොස්, රෝහලේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා විශේෂ පුළුල් ප්‍රධාන සැලැස්මක් (Comprehensive Master Plan) කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම සැලැස්ම ගොඩනැගිලි ඉදිකිරීමට පමණක් සීමා නොවී, මානව සම්පත් පුළුල් කිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ අදියරෙන් අදියර සපයා ගැනීම යන සියලු අංශ ආවරණය වන පරිදි, රටේ ජාතික ආර්ථික සැලැස්මට අනුකූලව සකස් කළ යුතූ බව ද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය (OPD), නේවාසික වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව සහ මෑතකදී ආරම්භ කරන ලද විශේෂිත සුෂුම්නාව ආශ්‍රිත කොඳු ඇට පෙළේ සැත්කම් ඒකකය ඇතුළු අංශ රැසක වත්මන් තත්ත්වය පරීක්ෂාවට ලක් කළේය.
මූලික රෝහලක් (Base Hospital) ලෙස රෝහල ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණු කටයුතු (Clinical Training) සඳහා 2018 වසරේ සිට ශික්ෂණ රෝහලක් දක්වා වැඩි දියුණු කරන ලදී.


