2027 හජ් වාරය සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500 ක නිල කෝටාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW:

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා 2027 හජ් වන්දනා ගමනට අදාළ කටයුතු නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ, ලබන වසරේ හජ් වන්දනා කටයුතු මෙහෙයවීම සහ ශ්‍රී ලංකාවට හිමිවන නිල වන්දනාකරුවන්ගේ කෝටාව (සංඛ්‍යාව) තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟය.

ලෝකයේ විශාලතම ආගමික එක්රැස්වීම්වලින් එකක් වන හජ් වන්දනාව සඳහා වන සූදානම් වීමේ කටයුතුවල වැදගත් පියවරක් සනිටුහන් කරමින්, ජෙඩා නුවර පැවති වාර්ෂික හජ් සමුළුවට සමගාමීව නොවැම්බර් 9 වන දින මෙම ගිවිසුම අත්සන් තබන ලදී.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, සෞදි අරාබිය වෙනුවෙන් හජ් සහ උම්රා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆත්තාහ් බින් සුලෙයිමාන් මෂාත් මහතා ඊට අත්සන් තැබීය.

මෙම ගිවිසුම යටතේ, 2027 හජ් වාරය සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500 ක නිල කෝටාවක් වෙන් කර දී ඇත.

මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සෞදි අරාබියේ හජ් සහ උම්රා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තව්ෆික් ෆව්සාන් අල්-රබියා මහතා සහ එම අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී 2027 හජ් වන්දනාව සඳහා වන සැලසුම් සහ සූදානම් වීමේ කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ලබන වසරේ සෞදි අරාබිය වෙත පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා අවශ්‍ය සැපයුම්, මෙහෙයුම් අවශ්‍යතා සහ සේවාවන් සැලසුම් කිරීමේදී දෙරට අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ විය.

හජ් කළමනාකරණයේ මෙහෙයුම් ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සෞදි අරාබියේ හජ් සහ උම්රා අමාත්‍යාංශය විසින් විශේෂ පුහුණු වැඩසටහනක් ද පවත්වන ලදී. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පෞද්ගලික හජ් සංවිධායකයින්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට සහභාගී වූහ.

මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට සහ සංවිධායකයින්ට කල්තියා පැහැදිලි අවබෝධයක් ලබා දෙන අතරම, 2027 හජ් කටයුතු කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමටත්, නිල වශයෙන් අනුමත ක්‍රමවේදයන් යටතේ දහස් ගණනක් වන්දනාකරුවන්ට මෙම පූජනීය ගමනට එක්වීමට අවස්ථාව සැලසීමටත් මග පාදයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන පැතිරෙන කතා අසත්‍යයයි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී...

Breaking: මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 12:කොළඹ LNW : විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය...

චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඇමරිකා...

ඉදිරි වර්ෂය සඳහා රජයේ මුළු වියදම රු. බිලියන 4,992.77ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: නිදහස් ශ්‍රී ලංකාවේ 81...