දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය

සටහන: සශිකලා මධුෂාණී

සිංහල සංගීතය සහ ටෙලිනාට්‍ය කලාව තුළ සිය අනන්‍යතාව සනිටුහන් කළ ප්‍රවීණ කලාකරුවෙකු වූ ලක්ෂ්මන් විජේසේකරයන් මෙලොවින් සමුගෙන අදට (නොවැම්බර් 12) වසර පහක් සපිරේ. ඔහුගේ මියුරු හඬින් ගැයුණු ගීත අදටත් රසික හදවත් තුළ ජීවමානව පවතී.

1948 මාර්තු 14 වැනිදා උපත ලැබූ රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර, හෙවත් ලක්ෂ්මන් විජේසේකර අනුරාධපුර මධ්‍ය විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ සංගීත විද්‍යාලයට ඇතුලත් වෙමින් පාසල් රැසක සංගීත ගුරුවරයෙකු වශයෙන කටයුතු කර තිබේ.

ගායකයෙකු ලෙස පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙකු සහ සංගීත ගුරුවරයෙකු ලෙසද ඔහු විවිධ ක්ෂේත්‍රයන්හි සිය දක්ෂතා ප්‍රකට කළේය.

1970 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසි ලක්ෂ්මන් විජේසේකරයන් ශ්‍රී ලංකා සංගීත විද්‍යාලය හරහා සිය සංගීත දැනුම වර්ධනය කරගත්තේය. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ ඇතුළු සමකාලීන කලාකරුවන් සමඟ ඔහු ගොඩනඟාගත් සම්බන්ධතාවද ඔහුගේ කලා දිවියට වැදගත් විය.

ඔහුගේ ගායනයේ විශේෂත්වය වූයේ හඬෙහි තිබූ සෞම්‍ය බවත්, ගීතයක හැඟීම් ඉතා සංවේදීව රසිකයා වෙත ගෙන යා හැකි හැකියාවත්ය.

‘සඳ කිනිති නැමී’, ‘ඔබ මට තරුවකි’, ‘දැල්වූ පහන්’, ‘සිනා පිපෙනා මේ වසන්තේ’, ‘ඇති දේ ඇති සැටියෙන්’ වැනි ගීත ඔහුගේ කලා දිවියේ සුවිශේෂී නිර්මාණ අතරට එක්ව තිබේ. විශේෂයෙන්ම ‘සඳ කිනිති නැමී’ ගීතය අදටත් පැරණි සහ නව පරපුරේ රසිකයන් අතර එකසේ ජනප්‍රිය ගීතයකි.

ලක්ෂ්මන් විජේසේකරයන්ගේ කලා දායකත්වය ගායනයට පමණක් සීමා වූයේ නැත.

1980 දශකයේ මුල් භාගයේ විකාශය වූ ‘රේඛා’ ටෙලිනාට්‍යය ඔහුගේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. එහි චන්ද්‍රලේඛා පෙරේරා සමඟ රංගනයෙන් දායක වූ ඔහු ගැයූ ‘දැල්වූ පහන් දැල්වී තිබේවා’ ගීතයද අතිශය ජනප්‍රියත්වයට පත්විය. එසේම ‘ගංගා සහ නිශ්ශංක’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙමින් ගැයූ ‘සිනා පිපෙනා මේ වසන්තේ’ ගීතයද රසික මතකයේ නොමැකෙන නිර්මාණයකි.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද යොමු වූ ඔහු ‘විලම්භීත’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් සිය නිර්මාණශීලී හැකියාව තවදුරටත් ප්‍රදර්ශනය කළේය.

කලාකරුවෙකුගේ සැබෑ වටිනාකම ඔහු නිර්මාණය කළ කලා කෘතිවලින් පමණක් නොව අනාගත පරපුර වෙනුවෙන් සිදුකළ දායකත්වයෙන්ද මැනිය හැකිය.

එම අර්ථයෙන් ලක්ෂ්මන් විජේසේකරයන් සුවිශේෂී කලාකරුවෙකි. වසර ගණනාවක් සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු පාසල් දරුවන්ට සහ නවක පරපුරට සංගීත දැනුම ලබාදීමට කැපවිය.

රූපවාහිනී ගායනා වැඩසටහන් ඉදිරිපත් කරමින්ද ළමා පරපුර තුළ සංගීතය පිළිබඳ උනන්දුව වර්ධනය කිරීමට උත්සහ කළ ඔහු කලක් රෝගාතුරව සිටි ලක්ෂ්මන් විජේසේකරයන් 2021 නොවැම්බර් 12 වැනිදා වයස අවුරුදු 73දී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ වියෝව ලාංකේය කලා ක්ෂේත්‍රයට මෙන්ම ඔහුගේ ගීතවලට ආදරය කළ රසිකයන්ටද සංවේදී අහිමිවීමක් විය.

කාලය ගෙවී ගියද ඔහුගේ හඬින් ගැයුණු ගීතවල වටිනාකම අඩු වී නැත. එක් පරපුරකින් තවත් පරපුරකට ගලා යන ඒ මියුරු ගීත ඔහුගේ කලා උරුමය තවදුරටත් ජීවමාන කරයි.

‘දැල්වූ පහන් දැල්වී තිබේවා’ යන ඔහුගේ ගීතයේ පද පෙළ මෙන්ම, ඔහු කලා ලොව තුළ දැල්වූ නිර්මාණාත්මක ආලෝකයද කිසිදා නිවී නොයනු ඇත.

මියුරු හඬකින් රසික හදවත් සැනසූ ඒ අසහාය කලාකරුවාගේ මතකයට අපගේ ගෞරවය!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...