නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන්ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.
ඉකුත් දිනෙක, සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කරන වසර 185 ක් පැරණි නීතියක් ව්‍යවස්ථා විරෝධී බව මොරිෂස් හි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය. මෙම තීන්දුව මඟින්, නිශ්චිත නීතියක් බලාත්මක කිරීම හෝ අධිකරණ තීන්දු මත, ඉහළ යන සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කළ රටවල් ගොන්න අතරට මොරිෂස් දූපත ද ඇතුළත් වේ. ඉදිරි මාස කිහිපය තුළ මෙකී වෙනසේ ගෝලීය ධාරාවට ශ්‍රී ලංකාව ද එකතු වනු ඇතැයි පූර්වාපේක්ෂාවක් ඇති අතර දැඩි බලාපොරොත්තු පවතී.
ශ්‍රී ලංකාව මෙන්ම, මෙම බොහෝ රාජ්‍යයන්වල සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කරන නීති මුල්වරට ස්ථාපිත වී තිබෙන්නේ යටත්විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ය. බ්‍රිතාන්‍යය විසින් 1883 වර්ෂයේ දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දෙන විට ශ්‍රී ලංකාව (සිලෝන්) බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් ව පැවතිණි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය, ඉන්දියාවේ 1860 දණ්ඩ නීති සංග්‍රහය ඇසුරින් නිමවන ලද්දකි. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන යටත්විජිත බලවතුන් තිදෙනා විසින් ශ්‍රී ලංකාව පාලනයකළ අතර, “ස්වභාවධර්මයට පටහැනි කාමුක සංසර්ගය” (carnal intercourse against the order of nature) (365 වගන්තිය) සහ “තදබල අශෝභන” (gross indecency) ක්‍රියා (365අ වගන්තිය) යනුවෙන් “අස්වාභාවික වරද” (unnatural offences) ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දෙමින් සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය සංග්‍රහයක් ලෙස සම්පාදනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයන් විසිනි. මෙකී එකඳු පදයක් හෝ නීතිය තුළ අර්ත නිරූපණය නොවන නමුත්, භාවිතයේ දී සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා පැවැත්වූ හෝ පැවැත්වූයේ යැයි අනුමාන කරන ලද පුද්ගලයන් ට එරෙහිව යොදා ගැනීම සඳහා අර්ත නිරූපණය කර ගැනීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1948 වර්ෂයේ ය. එහෙත්, මෙම දණ්ඩ නීති, බලාත්මක වී වසර 140 ක් පසු වී තිබෙන මේ මොහොතේ යම් යම් සංශෝධන ද සහිතව තවමත් වලංගුවන අතර, ඉතා විරල අවස්ථාවන්හී දී ක්‍රියාත්මකකර ඇති අතර, සමරිසි කාන්තා, සමරිසි පිරිමි, ද්වීරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් (LGBT) සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතාවයන් (non-binary) ඇති පුද්ගලයන් හට කෙණහිලිකම් කිරීමට, ඔවුන් අවමාන තර්ජනයට ලක්කිරීමට සහ පීඩාවට පත්කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ විසින් මෙවලම් ලෙස යොදාගෙ තිබේ. සම්මුතිගත වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම තුළින් සිදුවන්නේ, පුද්ගලයකු සතු සත්‍ය හෝ අනුමාන කරන ලද ලිංගික දිශානතියක් සම්බන්ධයෙන් පවතින නොදැනුවත්භාවය, අවිචාරක හැඟීම සහ වෛරය මත සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පදනම් වූ වෙනස්කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය සහ අගතිය චිරස්ථායී වීම පමණි.
ඉකුත් වසර ගණනාව පුරාවට, ශ්‍රී ලංකාවේ LGBT සහ ද්විත්ව-නොවන අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ අපයෝජනයන් මෙරට බොහෝ සිවිල් සමාජ සංවිධාන විසින් ලේඛනගත කර තිබේ. උදාහරණයක් ලෙස, සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම රජය සහ පෞද්ගලික යන අංශ දෙක තුළම සිදුවන කප්පම් ගැනීම් සඳහා මඟපාදා ඇති බවට හඳුනාගෙන තිබේ. සාපරාධීකරණයේ තවත් ලේඛනගත බරපතල ප්‍රතිවිපාකයක් වන්නේ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම සඳහා එවන් පුද්ගලයන් සතු අයිතිය ඇහිරී යාම වන අතර, මෙය අවධානය යොමුකළ යුතු මහජන සෞඛ්‍ය තත්ත්ව කෙරේ දැඩි බලපෑමක් එල්ලකර තිබේ. නීතිය ඉදිරියේ “අපරාධකරුවන්” ලෙස හංවඩු ගැසීම හමුවේ, තම අනන්‍යතාව පිටතට දමනු ඇතැයි, හා තමා වෙනස්කොට සැලකීමට, අගතියට සහ බරපතල අපකීර්තියට ලක්වනු ඇතැයි බිය වීම නිසා LGBT සහ ද්විත්ව-නොවන අනන්‍යතා ඇති පුද්ගලයන් හට සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට ඇති ඉඩ අවකාශ සීමාවන අතර, මේ මත ඔවුන් හට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා හමුවේ ආරක්ෂිත ලිංගික ක්‍රියා සහ එච්අයිවී/ඒඩ්ස් නිවාරණය සඳහා වන වැදගත් පණිවිඩ වැනි කරුණු මඟහැරී යා හැකි ය.
ශ්‍රී ලංකාව යනු සියලු ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල සහ ඒවාහි ඇතැම් පෙරාතු ලේඛන සඳහා රාජ්‍ය පාර්ශවකරුවකු වන බැවින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් එරට බැඳී පවතී. මෙහි සඳහන් කළ දෙවැන්න තුළින් වෙනස්කොට සැලකීම් සිදු නොකිරීමේ මූලධර්මය බලගන්වන අතර නීතිය හමුවේ වෙනස්කොට සැලකීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම හමුවේ වෙනස්කොට සැලකීම්වලින් තොරව සෑම පුද්ගලයකුටම නීතිය හමුවේ සමානාත්මතාවයට ඇති අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව සහතික කරනු ලබයි. “වර්ගය, වර්ණය, ස්ත්‍රී-පුරුෂභාවය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපන් ස්ථානය හෝ වෙනත් තත්ත්ව” ආදී වෙනස්කොට සැලකීම තහනමට ලක්කළ කරුණු මත පදනම්ව පුද්ගලයකුට වෙනස්කොට සැලකීම් සිදුනොකරන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව ද ඇතුළුවන පරිදි, සිය දේශීය නීති වෙනස්කොට සැලකීම තහනම් කිරීම හා අනුගත වන බව සහතික කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් තම සාමාජික රටවලට දැනුම් දී තිබේ. වෙනස්කොට සැලකීම තහනම් කිරීමට අදාළ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (International Covenant on Civil and Political Rights: ICCPR) 26 වන වගන්තියට ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කොට සැලකීම ද අයත් වන බව එම කමිටුව යංග් වී. ඕස්ට්‍රේලියා (Young v. Australia) (2003) නඩුව හමුවේ ප්‍රකාශයට පත් කළේය.
ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් සිදු නොකිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට ඇතුළත්වන බව ශ්‍රී ලංකා රජය 2022 වර්ෂයේ දී මානව හිමිකම් කමිටුව අමතමින් ප්‍රකාශ කළේය. මෙවන් ප්‍රකාශයක් සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා තහනම් කරන අපරාධ ප්‍රතිපාදන සහ ගතවූ වසර ගණනාවක් පුරාවට ලේඛනගතව ඇති LGBT සහ ද්විත්ව-නොවන අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ අපයෝජනයන් හා පරස්පර විරෝධී වේ. 2023 අප්‍රේල් මස තම අවසන් නිරීක්ෂණ ප්‍රකාශයට පත් කරමින් එම කමිටුව මෙසේ පැවසුවේය: “සමරිසි කාන්තාවන්, සමරිසි පිරිමින්, ද්වීරිසි පුද්ගලයන් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365අ සහ 399 වගන්ති යටතේ සාපරාධීකරණයට මුහුණදෙන අතර, සෞඛ්‍ය සේවාවන්, රැකියා සහ නිවාස ආදිය සඳහා ප්‍රවේශ වීමේ දී දෛනිකව වෙනස්කොට සැලකීම්වලට ලක්වන” අතර, ඔවුන් “අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්වල වින්දියන් බවට පත්වන අතර සමරිසි ක්‍රියාවලට එරෙහිව නඩු පැවරීම්වලට අදාළව සාක්ෂි එක්රැස් කර ගැනීම සඳහා බලහත්කාරයෙන් ගුදමර්ග පරීක්ෂාවලට ලක්වේ.” ඉහත කී නීතිමය විධිවිධාන අවලංගු කොට LGBT පුද්ගලයන් ඕනෑම ආකාරයක වෙනස්කොට සැලකීමකට ලක්වීමෙන් ආරක්ෂා කරන ලෙසත්, ඒ පිළිබඳ පුහුණුවීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මඟින් ඔවුනට එරෙහි සෘණාත්මක ඒකාකෘති සහ අගතියට එරෙහිව සටන් කරන ලෙසත් එම කමිටුව රජයෙන් ඉල්ලා සිටියේය.
තව ද, ලිංගික දිශානතිය මත පදනම් ව වෙනස්කොට සැලකීම් සිදුනොකිරීම පාදක කරගෙන අපරාධ නඩු විභාගයන් රැසක් ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ මානව හිමිකම් කවුන්සිලයේ සිය විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review: UPR) හමුවේ ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව, සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් විශ්ව කාලාන්තර සමාලෝචනයේ කාරක සභාව නිර්දේශ කළේය. අවාසනාවකට, මෙම රෙකමදාරු ප්‍රකාශිතව පිළිගැනීමට ශ්‍රී ලංකාව කටයුතු නොකළ අතර, ඒ පිළිබඳ සටහන් තබා ගැනීම පමණක් සිදුවිය. දණ්ඩ නීති සංග්‍රහයේ 365අ වගන්තිය යටතේ කාන්තාවන් අතර සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම වෙනස්කොට සැලකීම් නොලැබීම සඳහා ඔවුන් සතු අයිතිය උල්ලංඝනය කරන අතර, එබැවින් කාන්තාවන් අතර සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුව (Committee on the Elimination of Discrimination against Women; CEDAW කමිටුව) විසින් 2022 වර්ෂයේ ලබා දුන් නිර්දේශය හා මෙම විශ්ව කාලාන්තර සමාලෝචන රෙකමදාරු සැසඳේ. මේ අනුව, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා අඛණ්ඩව සාපරාධීකරණය කිරීම හා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සමඟ පවතින බැඳීම් අතර ගැටීමක් සිදුවන අතර, එමඟින් ශ්‍රී ලංකාව ගෝලීය වේදිකාව හමුවේ සිය විශ්වාසනීයත්වය පළුදු කර ගනිමින් සිටියි.
2023 මැයි මාසයේ දී, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතෙ හි ව්‍යවස්ථාපිතභාවය පිළිබඳ විශේෂ තීරණයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි ප්‍රකාශිත අරමුණ වන්නේ “ලිංගික දිශානතිය දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරන විධිවිධාන” අවලංගු කිරීමයි. සමලිංගිකත්වය සාපරාධීකරණය කිරීම පුද්ගලයකු සතු අනෙකුත් අයිතීන් අතර සමානාත්මතාවය ලැබීමට, වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීමට, සහ ගරුත්වය සහ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතීන්වලට අවඥාවක් බවට ප්‍රථම වරට රටේ ඉහළම අධිකරණය විසින් හඳුනා ගැනීම, මෙම ප්‍රතිඵලය උදා කර ගැනීම සඳහා LGBT පුද්ගලයන් සමඟ කටයුතු කළ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඓතිහාසික මොහොතක් විය. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, සමලිංගිකත්වය සමාජයට තර්ජනයක් බවට වූ පදනම් විරහිත පුහු ප්‍රකාශවලට තිත තැබීමට ද සමත් විය. මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිගමනය හමුවේ, දැන් ඉතිරිව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් තුළින් එකී දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වී නීතියක් බවට පත්වීම පමණි.
මෙම පනත් කෙටුම්පතට ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තුව විසින් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතකි. මෙම පනත් කෙටුම්පත යටතේ, 1883 ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අහෝසි වී ඒ වෙනුවට “සතුන් සමඟ කාමුක සංසර්ගයේ යෙදීම” (bestiality) “අස්වාභාවික වරදක්” (unnatural offence) ලෙස ආදේශවන අතර, 365අ වගන්තිය මුළුමනින්ම අහෝසි වේ.
සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා අපකීර්තියට පත් කරන සහ සාපරාධීකරණය කරන යල් පැන ගිය නීති නැවත සලකා බැලීම සහ නිවැරදි කිරීමට ලොව පුරා රාජ්‍යයන් කටයුතු කරන අයුරු දක්නට ලැබීම සතුටට කරුණකි. එය ම අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව පසුබට නොවිය යුතු අතර, අවසානයේ වඩාත් සාධාරණ සහ ඇතුළත්භාවයෙන් යුතු සමාජයක් බිහි කිරීම සඳහා එම වැදගත් ප්‍රගතිය අයත්කරගත යුතුව පවතී. සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීම මඟින් තම සහකරුවන් තෝරා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත අව්‍යාජ ලෙස ගත කිරීමට පුද්ගලයන් සතු ස්වාධීනත්වය පිළිගන්නා බවට හා ඊට ගරු කරන බවට වූ ප්‍රභල පණිවිඩය ලබා දීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාළ දිශාව වෙත පළමු පියවර තබා ඇති අතර, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සහතික කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට දැන් කාලය පැමිණ තිබේ.
