*
Friday, October 25, 2024
spot_img

Latest Posts

අයිසිසී ය පමා වී හැඩය දුටු සදාකාලික සුපිපි අරවින්දය

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): 
අර්ජුන රණතුංග ඒක මොහොතක සිය පිත්තට පන්දුව ලබා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටියේය.පන්දු යවන්නන් ඒතරම් හොදින් පන්දු යවමින් තමන්ය පීඩනයට ලක් කර ඇති මොහොතක අනෙක් අන්තයේ සිටින පිතිකරුවා සැක උපදවන ආකාරයට පිත්තට පන්දුව ගෙන දැඩි ප්‍රහාරයකය.පන්දුව පිත්තේ දැවටී ඇසිල්ලකින්, උඩින් හෝ බිමින් හතරේ සීමාව පසු කරන්නේ පිතිකරුවාට බයෙන් මෙන්ය.

මේ වෙනස ගැන අර්ජුනට තිබුණු සැකය කෙතරම් ද යත් ලැබුණ විවේකයකදී ඔහු කරන්නේ සිය පිත්ත සහ අනෙක් අන්තයේ පිතිකරුගේ පිත්ත එක මත තබා එය පළල්දැයි පරික්ෂා කිරීමය.එසේ නැත.ඒ පිතිකරුගේ හැකියාවය.සුවිශේෂීත්වය ය.නමින් පින්නදූවගේ අරවින්ද ද සිල්වා වූ ඔහු පන්දුවට පහර දෙන අයුරු නරඹා ඇති අයෙකුගේ මතකයේ තමන් දුටු විශිෂ්ඨතම පිතිකරුවෙක් ලෙස ඔහු නිරන්තරයෙන් මතකයේ රැදී තිබෙන බව සහතිකය.

අවුරුදු 19 දී ටෙස්ට් පිටිය ආක්‍රමණය කළ අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස ලෝකය එතරම් සැළකිල්ලෙන් නොබලන කලෙක,ඒ සැළකිල්ල ලබා දීමේ නියමු කාර්යයක් සිඳු කළ විශිෂ්ඨයෙකි.ලෝකයේ ඕනෑම විශීෂ්ඨ පිතිකරුවෙක් හා සමාන කළ හැකි ක්‍රිඩකයෙක් කණ්ඩායමක සිටීම ඒ කණ්ඩායමට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන සහතිකයකි.දියුණු ක්‍රිකට් ලෝකය ක්‍රිකට්මය කුසලතා අගයද්දී රටකට එන කණ්ඩායමක අරවින්ද වැනි පිතිකරුවෙක් සිටීම,ඒ ක්‍රීඩාංගණ හිස් නොවන්නට හේතුවකි.එහෙත් සාපේක්ෂව 96 වන විට ලෝක සූරතාවය දක්වා එසැවෙන ශ්‍රී ලංකාවට තරග කරන්නට ලැබුණ තරග සහ තරගාවලි අන් රටවලට සාපේක්ෂව ප්‍රමාණවත් නොවිණි.

අරවින්ද සිය ටෙස්ට් චාරිකාව ආරම්භ කරන්නේ 1984 දී එංගලන්තයට එරෙහිවය.එය ලෝකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දෙස බැලූ ආකාරය වෙනස් කළ තරගයක් විය.සිදත් වෙත්තමුණි ලකුණු 190 ක් රැස් කිරීම මෙන්ම දුලිප් මෙණ්ඩිස්,අමල් සිල්වා වැන්නන් ශතක අතරට පැමිණි මෙම තරගයේදී වැඩි වාසි අත් වූයේ ශ්‍රී ලංකාවටය.එංගලන්තය එකල ලබා දෙන එකම ටෙස්ට් තරගයේ දී ඓතිහාසික ලෝඩ්ස් පිටියේ දි සිය ටෙස්ට් ප්‍රවේශය ලබන අරවින්ද සිය සමුගැනීම සිඳු කරන්නේ ශ්‍රී ලංකාවට ඉණිමක ජයග්‍රහණයකට මාවත සකස් කරමින් ද්විත්ව ශතකයක් ලබමින්ය.සිය අවසාන ටෙස්ට් ඉණිම ද්විත්ව ශතකයක් ලබා නිමා කරන්නට තරම් වසර 18 ක් ගෙවුණ ටෙස්ට් ජීවිතයේ දස්කම් නොනසා පවත්වා ගත් අරවින්ද බංගලාදේශයට එරෙහිව ලබා ගත් එම සමුගැනීමේ ලකුණු 206 සඳහා මුහුණ දෙන්නේ පන්දු 234 ට පමණි.යන්න කියන තෙක් නොසිට යා යුතුය යන කාරණය තමන්ම තීරණය කර ඉහළ ගෞරවයක් සහිතව සිය සමුගැන්ම සටහන් කරන්නට හැකි මට්ටමක අරවින්ද සිටීම කුමන හෝ ජයග්‍රහණයක් හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අයිතිය භුක්තියට ලියා ගන්නට උත්සාහ කරන පජාත චරිතවලින් විශිෂ්ඨත්වය වෙන් කර හඳුනා ගැනීමට හොඳ සාධකයක්ය.

අරවින්ද කතා කළේ පිත්තෙන්ය.ඒවා ශ්‍රී ලාංකේය නොවුණ ද ක්‍රිකට්වලට ප්‍රිය කරන ඕනෑම රසවතෙක්ට රහය.තිත්ත රස විඳින්නට වූයේ ඔහුට එරෙහිව පන්දු යැවූ කණ්ඩායම්වලට සහ පන්දු යවන්නන්ටය.1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනූ තරගයේදී ඔහු ග්ලේන් මැක්ග්‍රාත්,ෂේන් වෝන්,ජේසන් ගිලෙස්පි වැනි ඔස්ට්‍රේලියාව සතුව සිටි විවිධාකාර විශිෂ්ඨ පන්දු යවන්නන් ඉදිරියේ ජයග්‍රහණයට අවශ්‍යය වූ ශක්තිය බවට පත් වූයේ නැරඹු කිසිවෙක්ට කිසිදාක අමතක නොවන ශතකයකින්ය.එසේම ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු තුනක් සහ උඩ පන්දු තුනක් රැක ගනිමින් කළ අපූරු දක්ෂතාවයද සුළු නැත.

එම තරගාවලියේ ලෝකයේම අවධානය දිනූ ඉන්දියාව සමඟ වූ අවසාන පූර්ව තරගයේදී අතිශයින් පීඩාකාරී තත්ත්වයක අරවින්දගේ පිත්ත පීඩනය කනපිට ගසා ඉන්දියාව පැත්තට හැර වූ හැටි අමතක කළ නොහැකිය.අරවින්ද වඩාත්ම කැපී පෙණුනේ පීඩනය කළමණාකරනය ආකාරයෙන්ය.ඔහු එය තඹයකට මායිම් නොකර තමන්ගේ ශෛලිය පවත්වාගෙන යාමේ පුදුම හැකියාවක් තිබුණ ක්‍රීඩකයෙක්ය.ඒ නිසාම අරවින්ද පිටියේ සිටින තෙක් ශ්‍රී ලංකාව වෙත කෙතරම් පීඩනයක් මුදා හැර තිබුණ ද,ප්‍රතිවාදීන් නො’ඉවසිල්ලෙන් සිටින්නේ ඒ පීඩනය කොයි මොහොතක තමන් වෙත කඩා වැටේද යන්න භීතීයෙන්ය.

අරවින්ද සිටි කණ්ඩායම ඇතැම් අයට පෙන්නුම් කරන්නට අවශ්‍යය වන්නේ දේව විනයකට යටත්ව සිටිය කණ්ඩායමක් බවය.අඩුවෙන් කතා කළ ද ජීවිතය හොදින් විඳ ඇති අරවින්ද සිය ජිවිතයේ ස්මරණ ඇතුළේ එහි ද සිටියේ මිනිස්සු බව සනාත කරන්නෙක්ය.ඔහුගේ සුපිරිම ඉණිම වූ ලකුණු 267 රැස් කරන අවස්ථාවට ඔහු එන්නේ රැයක් පුරා වාහනය පදවමින්ය.රෑ 10 ට වැහුණ කාමරයක සිර වී සිට නොවේය.අරවින්ද ට දාව උපන් දරුවෙක් ඕස්ට්‍රේලියාවේ කාන්තාවකට ඉන්නේය.අරවින්ද ඇය සහ දරුවා වෙනුවෙන් වන්දි ද ගෙව්වාය.එසේම අරවින්ද,අර්ජ්නගේ නමත් සමඟ තරග පාවාදීම්වලට සම්බන්ධ බවට පැතිර ගිය රාවයක් ද විය.

කෙසේ වුව අරවින්ද විඳින ක්‍රිකට් පිටියෙන් පිටත ජිවිතය කුමනාකාරයේ හැලහැප්පීම්වලට බඳුන් වුව ද, ඔහු අතිශයින් ක්‍රිකට්මය මනසකින් සහ සිරුරකින් පිටිය මැද හැසිරුණ ආකරයේ බර පැහැදිළි කර ගන්නට ඔහුගේ දත්ත ප්‍රමාණවත්ය.අරවින්දගෙන් වර්ථමානය ගන්නේ ඔහුගේ පිටිය මැද හැසිරීම නොවන එක ලංකාවේ ක්‍රිකට්මය ගැටළුවය.ඒ නිසා පිටිය මැද අරවින්ද මෙන් ක්‍රීඩකයෝ නැති වීම ලාංකේය ක්‍රිකට්මය ඛේදයවාචකයක්ය.ඊට හේතුව අද අරවින්ද නොවිදි තාක්ෂණික ලෝකයක ජංගම දුරකතන ආදියෙන් ද හැම මොහොතකම ක්‍රිඩකයාගේ මනස ආක්‍රමණය කරන්නට හේතු සැදෙන බැවින් වර්ථමානයේ ක්‍රීඩකයාට තමන් දමනය කර ගැනීමට අවශ්‍යය මානසික හැකියාව තමන් තුළින්ම නිර්මාණය කර ගන්නට මාවතක් අවශ්‍යය වන්නේය.

එසේම අරවින්ද ක්‍රිකට් කණ්ඩායම එන්නේ වත්මන් ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එන පසුබිමෙන් නොවේය.අරවින්ද පමණක් නොව ලෝකයේ ශ්‍රේෂ්ඨයන් අතරට එකතුවන සිව්වැන්නා වන අරවින්ද මෙන්ම ඊට පෙර එකතු වූ මුරලි,සංගක්කාර සහ මහේල ද සමාජයේ ප්‍රභු යැයි සම්මත සමාජ තත්ත්වය නියෝජනය කළ පවුල් පසුබිමකින් පැවත එන්නන්ය.ඒ තත්ත්වය ක්‍රිකට් සාර්ථක වීමට අත්‍යවශ්‍යය සාධකයක් නොවුණ ද,ඒවා මැජික් ලෙස නොපවතින්නට ඒවා සමඟ ගැටෙන හැටි ගැන පුළුල් අධ්‍යනයක් නවකයන්ට ලැබීමනම් අත්‍යවශ්‍යය වනු ඇත.

ශ්‍රී ලංකාවට හොඳින් තරග ලැබෙන කාලය උදා කරන්නට අරවින්දලා දක්ෂතාවයන්ගෙන් කැපවිණි.නමුත් අරවින්දලාට තරග ලැබුණේ අවාරෙට පොල් හැදෙන ආකාරයෙන්ය.තරග බහුලව තිබිණිනම් අරවින්ද ගේ තරග කළ තරග ප්‍රමාණය මෙන්ම ඔහු රැස් කළ ලකුණු සහ වාර්තා ප්‍රමාණය ද බෙහෙවින් ඉහළ යන්නට තිබිණ.

අරවින්ද අරවින්දයක්මය.ඔහු විවිධ හැලහැප්පීම් මැද විකසිත වූ ආකාරය අරවින්දය කළල් මඩ නොරඳවා පිපුණු හැටි ගැන සිහියට නඟන්නේය.ඒ අරවින්දයේ සුවඳ සහ හැඩය අයිසීසි ය වින්දේ පමා වී ය.පමා වුව දමලේ හැඩයවත් සුවඳවත් අමතක කළ නොහැකි සදාකාලික අරවින්දය එසේ ඇගයෙන මොහොතේ ලංකාවේ ක්‍රිකට් හැටියට තිබෙන්නේ අරවින්ද පසු කර ගමන් නොගත් ක්‍රීඩාවක්ය.පාලකයෝ බලය වෙනුවෙන් දෙපිළ බෙදී ඇන කොටා ගන්නා තමන්ගේ රාත්තල කපා ගැනීම ක්‍රීඩාවේ අභිවෘද්ධියට වඩා වැදගත් බව සිතන මොහොතක්ය.

ලෝක සූරතාවය දෙවරක් දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක සූරතාවය නියෝජනයට නුසුදුසු වූහ.රටවල් කිහිපයක කළමණාකාරිත්වය සමඟ ගැටෙමින් පවතින කොදෙව් ක්‍රිකට් හරිනම් මේ මොහොතේ තිබිය යුත්තේ දූපතෙන් දූපතට චෝදනා එල්ල කරගෙන දේශසීමා ගැටුම් ඇතිවන තත්ත්වයේය.ක්‍රීඩාව දේශපාලනයට අවශ්‍ය විදිහට භාවිතයට ගැනීමට යාමේ ප්‍රතිවිපාක මැද එය තහනම්ව ඇත.දේශපාලකයාට සියල්ල හැසිරවීමේ බලය තිබිය යුතුය යන විශ්වාසයේ සිටීමේ උද්ධච්ඡකම දිගින් දිගටම පළ කරමින් සිටින ක්‍රිඩාවේ දේශපාලන බලධරයා ක්‍රිකට්වලින් ක්‍රීඩා අරමුදල ශක්තිමත් කරමින්,තමන්ට ක්‍රිඩා අරමුදල ශක්තිමත් කර ගැනීමට ඇති නොහැකියාව දේශපාලන බලය යොදා ක්‍රිකට්වලින් පියවා ගැනීමට උත්සාහ කරමින් සිටියි.එවැනි මොහොතක අරවින්ද ලා ගොඩ නැඟුණ අතීතය රටේ ක්‍රිකට්ප්‍රේමීන් මුල සිට කියවාගත යුතුව ඇත.

මධ්‍යස්ථ තැනෙක සිට මිස සියල්ල මගේ නියමය යටතේ කියා කරන හැසිරීම් ලංකාවේ දේශපාලනය විසින් සකස් කළ ඔළු ගෙඩිවලට මාර වීරකමක් වුව ද,අන්තර් ජාතික ක්‍රිඩා මව් සංගම්වලට ලෝකයට දශම ගණනක නොදැනෙන බලපෑමක්ය.ලෝකයට වඩා ලංකාව ලොකු කර පෙන් වූ දක්ෂතාවලින් ක්‍රිකට්මය ආශිර්වාදයක් රටට එකතු කළ අරවින්ද ලෝකයක් දන නමා ශ්‍රේෂ්ඨයන්ගේ නාමාවලිය වූ HALL OF FAME වෙත ඇතුල් කරන මොහොතේ සිය දේශපාලන බලයෙන් අයිසීසි දන නම්මවන්නට එකතු වූ මුග්ධ පාර්ලිමේන්තුවක් නිසා අරවින්ද නියෝජනය කළ ජාතිය අයිසිසී ය විසින් ක්‍රිකට් තහනම් ජාතියක් බවට පත් කර තිබීම කණගාටුවට කරුණකි.

අපි අරවින්දට සුබ පතමු.එසේම අද ඔහු සමඟ මේ ශ්‍රේෂ්ඨයන්ගේ නාම ලේඛණයට එකතු වන ඉන්දීය ක්‍රීඩක විරෙන්ද්‍ර ෂෙවාග්ට මෙන්ම හිටපු ඉන්දීය නායිකාවක මෙන්ම පරිපාලනයට සම්බන්ධ නිලධාරිනියකද වන ඉන්දිය ක්‍රීඩිකා ඩයනා එඩුල්ජී ට ද අපි සුබ පතන්නෙමු.

අරවින්දගේ ක්‍රිකට්මය දත්තවලට මෙතැනින් පිවිසෙන්න
https://www.espncricinfo.com/cricketers/aravinda-de-silva-48462

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan