Tuesday, November 29, 2022
spot_img

Latest Posts

මහ බැංකුව විසින් දේශපාලනික වින්දිතයකු කළ මුදල් මුද්‍රණය – සාක්ෂි විමසමු.

මේ දිනවල මහ බැංකුව විසින් උදේ සවස දේශනා පවත්වන මාතෘකා කිහිපයකි. එනම්, මුදල් මුද්‍රණය, උද්ධමනය, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය සහතිකය, IMF ගැලවුම් පැකේජය, රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායීකරන ලක්ෂණයන් පහළ වී ඇති බව යනාදිය යි. ඒ අතරට ඊයේ සිට 2023 අයවැය ද එක් වී ඇත. එනම්, එය ආර්ථික අර්බුදයෙන් පොදුජනතාව එගොඩ කිරීමේ ඒකායන මග ලෙස ය. මෙම මාතෘකාවලින් සමාජ මාධ්‍යය පිරී ඉතිරී ඇති අතර දිනෙන් දින නව ප්‍රවෘත්ති මැවීම් ද දැකිය හැකිය.

මෙම සියළුම දේශනාවන් සහ ප්‍රවෘත්තිවලින් පෙනෙන ප්‍රධාන කරුණක් පවතී. එනම්, තම තමන්ට වරප්‍රසාද ලැබීම පිණිස මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු බවට පත් කොට ඇති බව යි. මුදල් මුද්‍රණය යන්නට වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ද අඩංගු වෙයි. ඊට හේතුව, වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය යොදවා ඇත්තේ පොලී අනුපාතය ඉහළ යාම පාලනය කරමින් රජය වෙත මුදල් මුද්‍රණය කිරීම සඳහා වන බැවිනි.

මෙම ලිපියේ අරමුණ වනුයේ මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයකු වී ඇති බවට ඍජු සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීම යි.

  1. මහ බැංකු අධිපති විසින් අයවැයට පසු දිනම තම හිතවත් වෘත්තියකයන් කිහිප දෙනෙකු සහභාගී කර ගෙන මහ බැංකුව තුළ අයවැය වර්ණනා සම්මන්ත්‍රණයක් පැවැත්වීම

    මෙය ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට වැර දරන මහ බැංකුවේ පළමු අයවැය සම්මන්ත්‍රණය යි. ලෝකයේ කිසිම මහ බැංකුවක් විසින් මෙසේ අයවැය සම්මන්ත්‍රණයන් පවත් වන්නේ නැත. මෙහි දී, ස්වාධීන අයවැය විචාරයකට වඩා මහ බැංකු අධිපති විසින් ආර්ථික අර්බුදය පිළිබඳ ව හිටපු මහ බැංකු අධිපති සහ වෙනත් පාර්ශවයන්ට චෝදනා කිරීමේ රංගනයක් සිදු කොට ඇත. එය දේශපාලන නායකයන් නිරන්තරයෙන් අනුගමනය කෙරෙන දේශන විලාශය යි. ක්‍රිකට් තරගයක් පරාජය වීම පිළිබඳ ව ද මෙවැනි විචාරයන් දැකිය හැකිය.

    ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ ඉදිරිපත් වූ අයවැයන් සියල්ලම පාහේ, ප්‍රකාශ කෙරෙන ජාතික ආර්ථික ඉලක්කයන් ඉටු නොවන ආර්ථික අංක වාර්තාවන් බවට විවාදයක් නැත. ඒවා හුදෙක් අයවැය සකසන පිරිසගේ රාජකාරිය ඉටු කිරීම සඳහා සිදු කෙරේ. එබැවින්, මෙම අයවැයෙන් වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණයට කාලවකවානු සහ ඉලක්ක සහිත සාර්ව ආර්ථික සහතිකයක් නොදී, මෙවර අයවැය නම් හොඳ යයි ප්‍රකාශ කිරීමේ සාර්ව ආර්ථික වෘත්තීය පදනමක් නොමැත.

    මෙම සම්මන්ත්‍රණයේ දී, භාණ්ඩාගාර ලේකම් විසින් පැවසූවේ පසුගිය දශක දෙක හෝ තුන තුළ නිවැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම වත්මන් ආර්ථික අර්බුදයේ මූල සාධකය බව යි. වත්මන් මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් පසුගිය දශකයකටත් වැඩි කාලයක් තුළ ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය මුදල් ඇමති වරු සහ මහ බැංකු අධිපති වරු සමඟ ඍජුව ව්‍යවස්ථාපිත බලතල සහිතව ක්‍රියා කොට ඇත.

    එබැවින්, ඔවුන් අර්බුදයෙන් නිදහස් කොට, අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ඔවුන් යෙදවීම දෛවෝපගත සිද්ධියක් විය යුතුය. එහෙත්, ඔවුන් විසින් ද ක්‍රිකට් ක්‍රීඩා විචාරයෙන් මිදී, අර්බුදයෙන් රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ව මහජනයාට සහතියකයක් සැපයීම දැකිය නොහැකිය. IMF විසින් ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා ඉල්ලනේ එවැනි ණය සහතිකයකි. එය ලබා දීමට රජය මහන්සි වුව ද, පොදුජනයාට අර්බුද විමුක්ති සහතියකයක් දීමට කිසිම උනන්දුවක් නැත.

    වෙනදා මෙන් නොව, ආර්ථික අර්බුදය සහ රජය ගන්නා ප්‍රතිපත්ති පිළිබඳ ව දැන් මහජනයා දැනුවත් බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ ද, එම සොයා ගැනීම සඳහා මහ බැංකුව විසින් පැවැත් වූ නියැදි සමීක්ෂණ මොනවා ද? යන්න හෙළි කොට නැත.

    තවද, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැනට රජය විසින් ක්‍රියාත්මක කෙරෙන පියවරයන් යෝග්‍ය නොවේ නම්, විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස මහ බැංකු අධිපති විසින් මෙම සම්මන්ත්‍රණයේ දී ඉල්ලා සිටීමෙන් පෙනෙන්නේ, ඔහුට හෝ රජයට තම නෛතික වගකීම් පිළිබඳ ව අවබෝධයක් නොමැති බව යි. ඊට හේතුව, රජයන් සහ රාජ්‍ය නිලධාරීන් එම තනතුරුවලට පත් වන්නේ මහජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ව්‍යවස්ථාපිත බලතල සහිතව වන අතර විකල්ප ප්‍රතිපත්ති ඉල්ලා සිටීම තුළින් තම වගකීම්වලින් බේරීමට නොහැකි බැවිනි.
  2. ආර්ථිකය නැවත ස්ථායීකරණය වීමේ ලක්ෂණයන් දැනට පෙන්වන බව පුන පුනා ප්‍රකාශ කිරීම

    මෙය මහ බැංකුව විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ රජය විසින් ගත් ප්‍රතිපත්තිවල සාධනීය ප්‍රතිඵලයක් බවට ඉදිරිපත් කෙරේ. මහ බැංකු අධිපති විසින් නිරන්තරයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ද කවලම් කොට තම කාර්යසාධනය හුවා දැක්වීමට මහන්සි ගනී. එහෙත්, මහ බැංකුවල ආර්ථික විශ්ලේෂණ ක්‍රමය වනුයේ රජයෙන් ස්වාධීනව තම ප්‍රතිපත්තිවල කාර්යසාධනය පිළිබඳ දත්ත සැපයීම යි.

    අර්බුදයෙන් කඩා වැටෙන ආර්ථිකයක් ස්ථායීකරණය  කළ හැක්කේ, අර්බුදයට පෙර තත්ත්වයට ආර්ථිකය ගොඩ නැගීමෙන් පසුව ය. එහෙත්, ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතු වූ විදේශ සංචිතය, විනිමය අනුපාතය සහ රාජ්‍ය ණය කළමනාකරණය තවමත් එතැනම ය. කතාව පමණි. ඒවා මහ බැංකුවේ වගකීම් පැහැර හැරීමකි.

    ඊට අමතරව, මහ බැංකු අධිපති විසින් පොලී අනුපාතයන් ඉහළ දමා වෙළෙඳපොළ ණය පොලී අනුපාතයන් 30% ක ඉහළ මට්ටමකට පත් කිරීමෙන් රජය ඇතුළු සෑම අංශයකම ආර්ථික සහ ව්‍යාපාරික බංකොලොත්භාවය ඉහළ දමා ඇත. එබැවින්, මෙම වර්ෂයේ ආර්ථික සංකෝචනය 10% ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙවැනි මූල්‍ය ප්‍රතිපත්තියක් තුළ ආර්ථික සංකෝචනය ඉදිරි වර්ෂ කිහිපය තුළ ද පවතිනු ඇත.
  3. උද්ධමනය උපරිමයට පැමිණ දැන් පහළ යන බව ප්‍රකාශ කිරීම

    මෙය ලෝකය පුරා මහ බැංකු විසින් තම සංතුෂ්ටිය පතා අත් විඳවන මානසික ලෙඩකි. ඔවුන් දක්වන්නේ උද්ධමන අනුපාතය උපරිමයට පැමිණ පහළ වැටීම ආරම්භ වූ විට, මහජනයාගේ උද්ධමන අපේක්ෂාවන් පහළ ගොස්, සැබෑ උද්ධමනය වේගයෙන් පහළ යන බව යි. එසේ නම්, උද්ධමනය යනු මානසික සංසිද්ධියක් වන අතර එය ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් සහ සැපයුම් අසමතුලිතතාවය හෝ මහ බැංකුව විසින් ප්‍රකාශ කරන පරිදි මුදල් මුද්‍රණය හේතු කොට හට ගන්නා සංසිද්ධියක් නොවිය යුතුය. එබැවින්, එසේ උද්ධමනය පහළ යාම විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව මහ බැංකුව විසින් ප්‍රකාශ කිරීම පදනම් විරහිත ය. ඊට හේතුව, පොලී අනුපාතයන් වෙනස් කිරීමෙන් මහජනයාගේ චෛතසික තත්ත්වයන් වෙනස් කෙරෙන බවට සනාථ කළ නොහැකි බැවිනි. ඊට හේතුව, මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් යනු මහජන මානසික වෛද්‍ය ප්‍රතිකාර මෙවලම් නොවන බැවිනි.

    ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති විසින් උද්ධමනය පහළ යාම ආරම්භ වී ඇති බව දක්වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වර්ධනය සැප්තැම්බර් මස 69.8% සිට ඔක්තෝබර් මස 66% දක්වා පහළ යාම යි. එය සිදු වී ඇත්තේ දර්ශකයේ ඉහළ බරක් ඇති ආහාර වර්ග සුළු ගණනක මිල අහම්බයෙන් පහළ යාම නිසාය. එය, අප්‍රේල් මස සිට මහ බැංකු පොලී අනුපාතයන් 8% කින් ඉහළ දැමීම හේතු කොට සිදු වූ දෙයක් නොවේ. එසේම, මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වර්ධනය 33.4% සිට 38.3 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව වාර්ෂික මිල ඉහළ යාම තවමත් 73.7% මට්ටමක පවතී.

    ආර්ථිකයේ සැපයුම් අංශය කඩා වැටීම සහ ගෝලීය උද්ධමනය ඉහළ යාම මත හට ගෙන ඇති ශ්‍රී ලංකාවේ අධි උද්ධමනය, මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම (විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්තිය) හරහා නැවත 4%-6% මට්ටමකට පහළ පහළ දැමිය හැකි බව, මහ බැංකු අධිපති හැර වෙනත් කෙනෙකු විශ්වාස කරන්නේ නැත. මහජනයාට වැදගත් වන්නේ උද්ධමනය උපරිම වීම නොව, තම ආදායම් මට්ටමට ගැලපෙන පරිදි උද්ධමනය කොතරම් වේගයකින් පහළ යන්නේ ද? යන්න යි. එය, කිසිවෙකු නොදන්නා මැදි හා දිගු කාලයේ දී සිදු වන බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කිරීම හාස්‍ය ජනක ය.

    සැපයුම් අංශය ගොඩ ඒම සහ ගෝලීය උද්ධමනය පහළ යාම පෙනෙන තෙක් මානයක නොමැත. අප කථා කරන්නේ ආර්ථික වර්ධනය ශක්තිමත්, වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත සංවර්ධිත රටවල පවතින උද්ධමනය පිළිබඳ ව නොව, ආර්ථික අර්බුදයකින් කඩා වැටී, මාස 13 ක පමණ කෙටි කාලයක් තුළ අඛණ්ඩව 70% ක මට්ටමකට ඉහළ ගොස් ඇති අධි උද්ධමනයකට මුහුණ දෙන රටක උද්ධමනය පාලනය කිරීම පිළිබඳ ව යි. එය 18.7% සිට 70% ට ඉහළ ගියේ වත්මන් අධිපති යටතේ ය. සංවර්ධිත රටක වුව ද උද්ධමනය පහළ යාම සඳහා අඩුම වශයෙන් වර්ෂ 5 කට වඩා කාලයක් ගත වනු ඇත. එයට, මූල්‍ය ප්‍රතිපත්තියම නොව සැපයුම් සාධක රැසක් දායක වනු ඇත.

    එසේම, මහ බැංකු අධිපති දක්වන පරිදි උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ හිටපු අධිපති වරු දෙදෙනා විසින් අධික ලෙස මුදල් මුද්‍රණය හේතු කොට නම්, ඔහු විසින් තව තවත් වේගයෙන් මුදල් මුද්‍රණය කරන විට උද්ධමනය පහළ යා නොහැකිය.
  4. උද්ධමනය පහළ දැමීම සඳහා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹ පහළ දමා ස්වාධීනව මුදල් මුද්‍රණය පහළ දමන බව ප්‍රකාශ කළ ද, එය සීග්‍රයෙන් ඉහළ දැමීම

    එය පැහැර හැර ඇති බව මහ බැංකු සංඛා සහ ප්‍රකාශනයන්ගෙන් ම සනාථ වෙයි. මෑතක දී පළ වූ මහ බැංකු පුවත්පත් ලිපියකින් දැක්වෙන්නේ, විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රාජ්‍ය බිඳ වැටීම් වැලැක්වීම සඳහා මුදල් මුද්‍රණය කරන බව යි. එහෙත්, එය රාජ්‍ය මුල්‍ය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් අනුව සිදු කරන බවට වාර්තා නොවේ.

    මූල්‍ය ප්‍රතිපත්තිය ද පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වන අතර වර්තමානයේ මුදල් මුද්‍රණය කරනු ලබන්නේ අඩු මූල්‍ය පිරිවැයක් යටතේ එදිනෙදා අයවැය පියවීම සඳහා ය. එබැවින්, 2023 අයවැයෙන් මුදල් මුද්‍රණ ඉලක්කයක් ඉදිරිපත් කොට, එය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ විධිමත් කළ හැකිව තිබිණ. එසේ නොමැතිව, එය මෙතෙක් පැවති ලෙස, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත රඳවා ඇත.

    එහි ප්‍රතිඵලයක් ලෙස දැනට මුදල් මුද්‍රණය කිරීමේ සීමාවක් නොමැත. ඒ බව, මහ බැංකුව විසින් වෙන්දේසිවලින් පිටත ඍජුව මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් පරිමාවේ සීග්‍ර ඉහළ යාමෙන් පෙනේ. වත්මන් මහ බැංකු අධිපති විසින් තම පත්වීම ලද අප්‍රේල් මස 8 දින සිට අද දක්වා මාස 7 ක කාලය තුළ එසේ මුද්‍රණය කොට ඇති ශුද්ධ මුදල් ප්‍රමාණය, එනම්, මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් කළඹේ ඉහළ යාම, රුපියල් බිලියන 721 කි. එය, හිටපු මහ බැංකු අධිපති විසින් මාස 6 1/2 ක පමණ කාලය තුළ ඒ සඳහා මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය වූ රුපියල් බිලියන 446 හා සැසඳීමේ දී 162% කින් ඉහළ යාමකි. 

    එසේම, මුදල් මුද්‍රණය කොට උද්ධමනය ඉහළ දැමු බවට වත්මන් මහ බැංකු අධිපති විසින් නිර්දය ලෙස චෝදනා කෙරෙන හිටපු මහ බැංකු අධිපති වරුන් දෙදෙනාම විසින් 2020 මාර්තු මස මැද (කොරෝනා වසංගතය ආරම්භයේ) සිට මාස 24 ක පමණ කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා මුද්‍රණය කල රුපියල් බිලියන 1,602 මෙන් 45.1% කි. එබැවින්, ඉදිරි කාලයේ දී තවත් මුදල් මුද්‍රණය කිරීමට ඔහුට හොඳ අවකාශයක් පවතී.

    මෙහි විශේෂත්වය වන්නේ, වත්මන් මහ බැංකු අධිපති විසින් මහා භාණ්ඩාගාරයට අවශ්‍ය ඕනෑම දිනක මුදල් මුද්‍රණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම යි. ඒ යටතේ, මේ දක්වා දින 28 ක දී රුපියල් බිලියන 688 ක මුහුණත වටිනාකමක් ඇති භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා 9.10% ක පහළ සමස්ත ඵලදාවක් මත රුපියල් බිලියන 631 ක් මුද්‍රණය කොට ඇත. 2023 අයවැයට පසු දිනම රුපියල් බිලියන 130 ක් පමණ එසේ මුද්‍රණය කොට ඇත. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක සමඟ පැවති සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් දැක්වූයේ, මුදල් මුද්‍රණය පහළ දැමීම කළ හැකි වන්නේ බදු අදායම ඉහළ දැමීම මගින් බව යි.

    ආර්ථික අර්බුදකාරී අවස්ථාවල මුදල් මුද්‍රණය කිරීමේ දෝෂයක් නොමැත. එහෙත්, මෙහි දී නැගෙන මහජන මැසිවිල්ල වනුයේ වත්මන් මහ බැංකු අධිපති විසින් වත්මන් ආර්ථික අර්බුදයට හේතුව හිටපු මහ බැංකු අධිපති වරුන් විසින් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම බවත්, එබැවින්, තමා විසින් මුදල් මුද්‍රණය ස්වාධීනව පහළ දමන බවත් පවසමින්, මූල්‍ය නීතීන් ද බිඳමින් සීග්‍රයෙන් මුදල් මුද්‍රණය කිරීම යි. එය මහජනතාව නොමඟ යැවීමකි.
  5. රජය විසින් බදු ඉහළ දැමීමේ සාධාරණත්වය ප්‍රකාශ කරමින් වක්‍ර බදු සහ ඍජු බදු අතර ව්‍යාප්තිය 60% සහ 40% විය යුතු බවට අදහස් දැක්වීම

    මහ බැංකු අධිපති විසින් මෑතක දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක සමඟ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, රාජ්‍ය ආදායම ඉහළ නංවා, රාජ්‍ය ණය තිරසාර භාවය ඇති කිරීම හරහා වත්මන් ආර්ථික අර්බුදය විසඳීමේ එකම මග ලෙස රජය විසින් බදු ඉහළ දැමීම ප්‍රසංශා කොට ඇත. රටක බදු සාධාරණත්වය පිළිබඳ ව අදහස් දැක් වූ ඔහු, ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය 60% සහ 40% ක වක්‍ර බදු සහ ඍජු බදු ව්‍යාප්තියක් පැවතිය යුතු බව දක්වා ඇත. ඒ සඳහා, නීති සහ වෛද්‍ය වෘත්තිකයන් නිසි ලෙස බදු ගෙවිය යුතු බවට ද විවිධ මාධ්‍ය සාකච්ඡාවල දී අදහස් දක්වා ඇත.

බදු සාධාරණත්වය සහ බදු ව්‍යුහය යනු මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ අංගයක් නොවේ. එබැවින්, ලෝකයේ මහ බැංකු විසින් එවැනි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ව අදහස් දැක්වීමෙන් වැළකීම සම්ප්‍රදායකි. මහ බැංකුවල වගකීම වන්නේ ආර්ථික අරමුණුවලට යෝග්‍ය පරිදි මූල්‍ය ප්‍රතිපත්තියේ ව්‍යුහය සහ සාධාරණත්වය පවත්වා ගෙන යාම යි. වත්මන් ශ්‍රී ලංකාවේ 30% පොලී මට්ටමේ ණය වෙළෙඳපොළ සාධාරණත්වයක් මහ බැංකු අධිපති හැර වෙන කිසිවකු දකින්නේ නැත.

ආර්ථික අර්බුදයට ලක් වී බංකොලොත් වන ව්‍යාපාරයන්ගෙන් සහ ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමේ සාධාරණත්වය හෝ බදු රැස් කිරීමේ ඉලක්කවල යෝග්‍යතාවය පිළිබඳ ව ඔහුට හැඟීමක් නොමැත. උදාහරණ ලෙස මහ බැංකුවේ වගකීම වන උද්ධමනය පාලනය නොකිරීම හේතු කොට, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව වර්තමානයේ පවුලක මාසික වියදම රුපියල් 147,00 කි. එබැවින්, මාසික ආදායම රුපියල් ලක්ෂයක් වන ගෘහ මූලිකයාට ඉන් බදු ගෙවන ලෙස නියම කිරීමේ සාධාරණත්වයක් නොමැති බව මහ බැංකු අධිපතිට අවබෝධ නොවීම පුදුමයකි. එසේ නම්, මෙම අර්බුදයෙන් ණය තිරසර භාවය ඇති කොට රජය ගොඩ ගැනීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පවුලක මාසික ජීවන වියදමට වඩා වැඩි සියළු ආදායම්, බදු ලෙස රජයට ගෙවන ලෙස නියම කිරීමට යෝජනා කළ හැකිය.

වත්මන් බදු ප්‍රතිපත්තියට අවනත වීම මහ බැංකුව විසින් ද කළ යුතුය.  එබැවින්, මහ බැංකු අධිපති විසින් වහාම කළ යුත්තේ බදු සාධාරණත්වයට අනුව මහ බැංකුවේ බදු ගෙවීම සැකසීම යි.  එහෙත්, මහ බැංකුව විසින් 2017 දී මහ බැංකු ලාභ මත බදු ගෙවීම නිදහස් කර ගෙන ඇති අතර, මහ බැංකු සේවක උපයන විට බදු ගෙවීම මුදල් මුද්‍රණය හරහා සේවකයන්ට ලබා දෙන දීමනාවක් මගින් සිදු කෙරේ. ඊට අමතරව, මහ බැංකු ලාභය ද මුදල් නීති පනතේ ප්‍රතිපාදන අනුව භාණ්ඩාගාරයට ප්‍රේෂණය කිරීමෙන් වැලකී මහ බැංකුවේම රඳවා ගැනීම සිදු කෙරේ. 2021 වර්ෂයේ ලාභයෙන් එසේ රඳවා ගෙන ඇති මුදල රුපියල් බිලියන 27 ක් පමණ වෙයි. 2021 වර්ෂයේ ගිණුම් අනුව මහ බැංකුවේ ලාභය රුපියල් බිලියන 158 ක් වූ අතර එය 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 63 ක් විය.

එබැවින්, මහ බැංකු අධිපති විසින් මහ බැංකුවේ බදු වංචාව වහාම නිවැරදි කළ යුතුය. ඊට හේතුව, මහ බැංකුව යනු ඔහුගේ පෞද්ගලික බුදලයක් නොවන බැවිනි. රජයට ලාභ ලැබීම පිණිස අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට මහ බැංකු අධිපති විසින් නිරන්තරයෙන් මැතිරුව ද, මහ බැංකුව වැනි කිසිම ව්‍යාපාරික තරගයක් නොමැතිව නිරායාසයෙන් ඒකාධිකාරී ලාභ ලබන රාජ්‍ය ආයතන විසින් රජයෙන් ලාභ වසන් කර ගෙන සිටීම පිළිබඳ ව ගොළුවත රකී.

සමාප්ත සටහන

ඉහත සාක්ෂි දෙස බැලීමේ දී ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය පිළිබඳ ව මහ බැංකු අධිපති විසින් දේශපාලනික කථා විලාශයෙන් පාර්ශවයන් කිහිපකට චෝදනා කරමින් ආර්ථිකය දැනට ස්ථායීකරණය වීමේ ලකුණු පෙන්වන බවත්, විදේශ ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකය ලබා ගෙන IMF ණය ලබා ගැනීම තුළින් ආර්ථිකය එන වසරේ ගොඩ ගත හැකි බවත්, බදු ඉහළ දැමීම ඇතුළු IMF මගින් යෝජිත මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත්, ඊට පසු මුදල් මුද්‍රණය පහළ දැමිය හැකි බවත් පැවසීමේ ප්‍රයෝගික සාර්ව ආර්ථික විද්‍යා පදනමක් නැත. 

ආර්ථික අර්බුදයක් යනු අක්‍රිය වූ එන්ජිමක් අළුත් වැඩියා කොට නැවත පන ගැන්වීම වැනි යාන්ත්‍රික ක්‍රියාවක් නොවේ. ඊට හේතුව, ආර්ථික අර්බුදයට හසු වී පිඩා විඳින මහජනතාවගේ විවිධත්වය යි. එහෙත්, මහ බැංකු අධිපති විසින් දේශනා පවත් වන්නේ, එන්ජිමක් අළුත් වැඩියා කිරීමට සමානව ආර්ථිකය නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි බව යි. 

ඒ සඳහා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, IMF ණය මුදල සහ කොන්දේසි, බදු ඉහළ දැමීම සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය යනාදිය හුවා දක්වන්නේ ඒවා යාන්ත්‍රික පියවරයන් ලෙස ය. එහෙත්, ආර්ථික අර්බුදයට හේතු වූ විදේශ සංචිතය, විනිමය අනුපාතය, විදේශ ණය ගෙවීම සහ පොලී අනුපාතයන් නැවත යථා තත්ත්වයට නොපැමිණ ආර්ථිකය ගොඩ එන්නේ කෙසේ ද? යන්න අවබෝධ කර ගැනීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නොවේ. ගෝලීය ආර්ථික අර්බුද ඉතිහාසය දෙස බලන විට, ඒ සඳහා, අවම වශයෙන් දශකක පමණ කාලයක් ගනී.

එබැවින්, මහ බැංකු අධිපති විසින් මුදල් මුද්‍රණය කරන ගමන් ආර්ථිකය හොඳ අතට හැරී ඇති බව‍ට දේශනා පැවැත්වීමේ අරමුණ ඉතා පැහැදිලි ය. මුදල් මුද්‍රණය දේශපාලනික වින්දිතයෙකු බවට පත් වී ඇත්තේ එබැවිනි.

ඒ හේතු කොට, වත්මන් මහ බැංකු අධිපතිගේ සහ මහ බැංකුවේ කාර්යය වී ඇත්තේ, රජයේ මුදල් ප්‍රවාහය පවත්වා ගැනීමට දායක වන ගිණුම් ලිපිකරුවෙකු ලෙස කටයුතු කිරීම පමණි. ගිණුම් ලිපිකරුට මූල්‍ය ප්‍රතිපත්ති ස්වාධීනත්වයක් නොමැති බව සරල කරුණකි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි 
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

(https://economydiscovery.blogspot.com/2022/11/blog-post.html)

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.