ලිපියේ අරමුණ සහ පසුබිම
මෙම ලිපියේ අරමුණ, මෑත දී පත් වූ බොහෝ කැබිනට් මණ්ඩලවලට මෙන්, ඊයේ දින පත් වූ නව කැබිනට් මණ්ඩලයට ද, රටේ ආර්ථිකය වත්මන් අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස කළමනාකරණයට ප්‍රමාණවත් දත් නොමැති බවට, සාර්ව ආර්ථික විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කිරීම යි. එනම්, ඊට මුදල් බලය සහ ස්වෛරිත්ව ආර්ථික බලය නොමැතිකම යි.
- මෙතෙක් පත් වූ බොහෝ කැබිනට් මණ්ඩල පිළිබඳ ව අදාළ නායකයන් විසින් පවසන ලද්දේ, ඒවා විද්‍යාත්මක පදනමක් මත පත් කළ බව යි. එමගින්, මහජනයා මුහුණ දෙන ජීවන ගැටළු විසඳා සමෘධිමත්, සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙන බව ප්‍රකාශ කෙරෙන.
- කැබිනට් මණ්ඩල වගකීම් සහ කාර්යයන් පිළිබඳ ව මම දන්නා විද්‍යාව නම්, පොදුජන ජීවන තත්ත්වය ඉහළ යන පරිදි ආර්ථිකය කළමනාකරණය කිරීමට හැකි ලෙස විෂයන් වෙන් කොට, මුදල් බලතල පවරා ඇත් ද යන්න යි. එහෙත්, එය මෙතෙක් ඇස් ඉදිරිපිට අසාර්ථක වී ඇති බව, මහජනයා ගිරයට හසු වූ පුවක් ගෙඩියක් මෙන්, 2022 ආර්ථික අර්බුදයට මැදි වී සිටින ආකාරයෙන් පෙනේ.
- එබැවින්, මෙම ලිපියේ අඩංගු කරුනු හුදෙක් කිසිම දේශපාලනික මතවාදයකින් තොර, සාර්ව ආර්ථික කළමනාකරණයට පමණක් අදාළ කරුනු කිහිපයකි.
ආර්ථික කළමනාකරණය යනු කුමක් ද?
අප සැමගේ එදිනෙදා ආර්ථික ජීවිතය දෙස බලන විට, රජයේ මැදිහත් වීමට හසු නොවන කිසිම දෙයක් නොමැති තරම් ය. කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, ආදායම්, වත්කම් වැනි කිසිම ජීවන අවශ්‍යතාවක් රජයෙන් ස්වාධීනව අත් කර ගත නොහැකිය.
ඊට හේතුව, ඒවා රාජ්‍ය නීති රීතී සහ සෘජු මැදිහත්වීම් රැසකට යටත් වීම යි. එනම්, රජය විසින් සමස්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් කෙරෙහි මැදිහත් වීම යි.
එහි අරමුණ ලෙස ආර්ථිකයෙහි පවතින සම්පත්වලින් පොදුජන අභිවෘද්ධිය උපරිම කිරීම දැක්වෙයි. ආර්ථික කළමනාකරණය ලෙස දැක්වෙන්නේ, මෙසේ මහජන ආර්ථික ජීවිතයට රජය මැදිහත්වීමේ ක්‍රියාවලිය යි.
එබැවින්, මහජනයා විසින් තම ඡන්ද පරමාධිපත්‍යය භාවිතා කරන්නේ, රජයෙන් හොඳ ජීවන තත්ත්වයක් ලබා ගැනීමේ එකම අරමුණිනි. ඒ බව දන්නා දේශපාලන නායකයන් ද, මහජනයා සුඛිත මුදිත කරන බවට බිය නැතිව ඡන්ද පොරොන්දු දීම පොදු සිද්ධියකි.
ආර්ථික කළමනාකරු යනු කැබිනට් මණ්ඩලය යි
කැබිනට් මණ්ඩලය යනු රටක විධායකය යි. මහජනයා කෙරෙහි කෙරෙන සියළු මැදිහත් වීමේ අධිකාරිය පවතිනේ කැබිනට් මණ්ඩලය වෙත ය. එබැවින්, රටේ සියළු මහජන විෂයන් සහ රාජ්‍ය ආයතන පද්ධතිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතර බෙදී ඇත. මෙසේ බෙදීම විද්‍යාත්මකව කෙරෙන බව දැක්වෙයි.
පාර්ලිමේන්තුව යනු හුදෙක් මහජනයා කෙරෙහි බලපාන නීති පනවන ආයතනය යි. අදාළ විෂයන් සහ බලතල අනුව එම නීති යෝජනා ඉදිරිපත් කරන්නේ ද කැබිනට් මණ්ඩලය යි. එබැවින්, පාර්ලිමේන්තුව යනු හුදෙක් කණ්ඩායම් ගැසී ඇති කථා පෙට්ටියක් පමණි. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්නම්, නීති පැනවීම යනු කජු කෑමටත් වඩා පහසු කාර්යයකි.
ආර්ථික කළමනාකරණය සහ වෙළෙඳපොළ පද්ධතිය
නූතන මිනිස් ආර්ථික හැසිරීම හුදෙක් වෙළෙඳපොළ විකාශයකි. වෙළෙඳපොළ යනු ඉල්ලුම, සැපයුම සහ මිල තුළින් මිනිසා විසින් තම ජීවන වුවමනාවන් සපුරා ගැනීමේ ක්‍රමවේදය යි. එබැවින්, වුවමනාවන් සැපිරීමට අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාකාරකම් සියල්ල වෙළෙඳපොළ රාශියක් හරහා සිදු වෙයි.
නිෂ්පාදන ක්‍රියාකාරකම් යනු භාණ්ඩ හා සේවා සහ සම්පත් නිෂ්පාදනය සහ උපයෝජනය යි. එය නූතන වෙළෙඳපොළ පද්ධතිය තුළ සිදු වෙයි. මිනිස් උවමනාවන් ඉටු කිරීමට අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාකාරකම් එම වෙළෙඳපොළ පද්ධතිය තුළ පවතින මිල යාන්ත්‍රණය මගින් මෙහෙයවනු ඇත. අප සියළු දෙන එහි ක්‍රියාකරුවන් ය.
රටක වෙළෙඳපොළ පද්ධතිය ක්‍රියාත්මක වන ආකරය වෙළෙඳපොළ කාණ්ඩ කිරීම සහ එහි මිල ගණන් දෙස බැලීමෙන් හඳුනා ගත හැකිය. ඊට ප්‍රයෝජනවත් වෙළෙඳපොළ කාණ්ඩ කිරීමක් පහත දැක්වෙයි.
- භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ – පොදු මිල. මෙය භාණ්ඩ හා සේවාවල ස්වරූපය අනුව උප වෙළෙඳපොළවල රාශියකට බෙදිය හැකිය. වී වෙළෙඳපොළ, සහල් වෙළෙඳපොළ, අල වෙළෙඳපොළ, ලූනු වෙළෙඳපොළ වැනි උප වෙළෙඳපොළවල් අනෙක් සංඛ්‍යාවක් පවතී.
- ශ්‍රම වෙළෙඳපොළ – වැටුප්
- මූර්ත වත්කම් වෙළෙඳපොළ (ඉඩම්, ස්වාභාවික සම්පත්, යටිතල පහසුකම් වැනි) – වත්කම් මිල
- මූල්‍ය වත්කම් (ප්‍රාග්ධන) වෙළෙඳපොළ – දිගු කාලීන පොලී අනුපාතය
- මුදල් වෙළෙඳපොළ – පොලී අනුපාතය
- විදේශ විනිමය වෙළෙඳපොළ – විනිමය අනුපාතය
මෙම සියළු වෙළෙඳපොළවල් අතර අන්තර් සබඳතාවයක් පවතින අතර එය මිල ගණන් හරහා සිදු වනු ඇත. එමගින්, ආර්ථිකයෙහි පරිමාව සහ මහජනයාගේ ජීවන තත්ත්වය සහ මට්ටම තීරණය වනු ඇත.
එබැවින්, රජය විසින් මහජන අභිවෘද්ධිය සඳහා ආර්ථිකය කළමනාකරණය කරනු ලබන්නේ, මෙම වෙළෙඳපොළවලට විවිධාකාර ලෙස මැදිහත් වීමෙනි. එනම්, ඒ ඒ වෙළෙඳපොළ ඉල්ලුම, සැපයුම සහ මිල කෙරෙහි විවිධ ප්‍රතිපත්ති මෙවලම් හරහා මැදිහත් වීම තුළින් වෙළෙඳපොළ නිදහස සීමා කිරීම සහ පාලනය කිරීම යි. ඊට අදාළ නීති පද්ධතිය පාර්ලිමේන්තුවෙන් සපයා ගැනීමත්, එය කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය ආයතන පද්ධතිය විසින් ක්‍රියාත්මක කිරීමත් සිදු වෙයි. එබැවින්, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජීවන තත්ත්වය යනු බහුතර රාජ්‍ය අධිකාරියකි.
එසේ ආර්ථිකයන් කළමනාකරණය කිරීමේ විවිධ දර්ශනයන් සහ එළඹුම් පවතී.
- නිදහස් මතධාරීන් අතර ප්‍රචලිත ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ දර්ශනය සාර්ව ආර්ථික දර්ශනයකි.
- සමාජවාදී දේශපාලන මතධාරීන් අතර ප්‍රචලිත කාල් මාක්ස්ගේ ශ්‍රමය සූරාකෑම සහ ප්‍රාග්ධන රාශිකරණය ආශ්‍රිත ශ්‍රම වෙළෙඳපොළ පදනම් වූ ආර්ථික දර්ශනයකි.
- කෙන්ස්ගේ ආර්ථික දර්ශනය රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණය හරහා ආර්ථිකයන් අවපාතයෙන් ගොඩ ගැනීමේ දර්ශනයකි.
- IMF ආර්ථික දර්ශනය රාජ්‍ය මූල්‍ය සහ ව්‍යවසාය සීමා කොට, විදේශ මුදල් හරහා වෙළෙඳපොළ ආර්ථික ප්‍රසාරණ දර්ශනයකි.
- ඒ හැර, රටවල රජයන් විසින් දේශීය අවශ්‍යතාවන් අනුව කලින් කලට නිර්මාණය කර ගන්නා ආර්ථික දර්ශනයන් ද අනුගමනය කෙරේ. මේ සියළු ආර්ථික දර්ශනයන් හුදෙක් රජය විසින් වෙළෙඳපොළට මැදිහත් වීමේ අරමුණු සහ ස්වරූපය අනුව වෙනස් වෙයි.
එබැවින්, නව ශ්‍රී ලංකා රජයට ද වත්මන් ආර්ථික සහ ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන තම ආර්ථික කළමනාකරණ දර්ශනය සහ ක්‍රමවේදය නිශ්චිත ලෙස හඳුනා ගත යුතුය. ඊට හේතුව, සෑම රටකටම පොදු මොඩලයක් නිර්දේශ කිරීම කිසිම ආර්ථික විද්‍යාඥයෙකුට හෝ ශක්‍ර දෙවියන්ට හෝ නොහැකි බැවිනි.
ආර්ථික කළමනාකරණ බලය සහ කැබිනට් මණ්ඩලය
කැබිනට් මණ්ඩලයට කොතරම් ආර්ථික කළමනාකරණ බලයක් පවතී ද? යන්න තීරණය වන්නේ, කොතරම් දුරට ඉහත දැක්වූ වෙළෙඳපොළවල් පාලන බලතල කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතර බෙදී තිබේ ද? යන්න මත ය. බොහෝ කැබිනට් සාමාජිකයන් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට මැදිහත්වීම ආශ්‍රිතව පත් කොට ඇත. එසේම, ශ්‍රම වෙළෙඳපොළ සඳහා කම්කරු ඇමති ද, මුදල්, මූල්‍ය වත්කම් සහ විදේශ විනිමය වෙළෙඳපොළ සඳහා මුදල් ඇමති ද දැකිය හැකිය. ආරක්ෂක, අධිකරණ සහ රාජ්‍ය පරිපාලන, සමාජ ආරක්ෂණ සහ සංස්කෘතික වැනි ඇමතිවරුන් රටේ මහජන පොදු විනය පාලනය හරහා වක්‍ර ලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වලට මැදිහත් වනු ඇත.
එබැවින්, කැබිනට් මණ්ඩලයේ ආර්ථික කළමනාකරණ කාර්යක්ෂමතාවය ඇගයීමේ දී නිරාකරණය කර ගත යුතු ගැටළු කිහිපයක් පවතී.
- ආර්ථිකයෙහි පද්ධති වැදගත්කමක් ඇති වෙළෙඳපොළවලට නව අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස මැදිහත් වීමට ප්‍රමාණවත් කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ආයතන තිබේ ද?
- යම් වෙළෙඳපොළකට අදාළ ඇමතිවරු කිහිප දෙනෙකු සිටින විට, ඔවුන් අතර වගකීම් බෙදීම නිශ්චිත ද? උදාහරණ ලෙස කෘෂිකර්ම ඇමති, කර්මාන්ත ඇමති, පරිසර ඇමති සහ වෙළෙඳ ඇමති අතර ප්‍රතිපත්ති ගැටුම් නිරාකරණය කෙරෙන්නේ කෙසේ ද?
- වෙළෙඳපොළ අන්තර් සබඳතාවයන් තුළින් හට ගන්නා ගැටුම් කළමනාකරණයට ඇති වගකීම් හඳුනා ගෙන තිබේ ද? උදාහරණ ලෙස කම්කරු ඇමති විසින් පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීමෙන්, නිෂ්පාදන පිරිවැය සහ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ මිල ඉහළ යාමේ වගකීම කුමන ඇමති සතු වෙයි ද? විනිමය අනුපාතය ඉහළ හෝ පහළ යාමෙන් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ කෙරෙහි හට ගන්නා බලපෑම පිළිබඳ වගකීම කුමන ඇමති වෙත පවතී ද?
- සමහර රාජ්‍ය ආයතන වෙත ප්‍රතිපත්ති ස්වාධීනත්වය පවතින විට, විෂය අදාළ ඇමතිගේ වගකීම කුමක් ද? උදාහරණ ලෙස පසුගිය රජය විසින් මුදල් වෙළෙඳපොළ පිළිබඳ ව මුදල් ඇමති වෙත තිබු සියළු බලතල සහ වගකීමක් ඉවත් කොට, ඒ සඳහා පූර්ණ ස්වාධීනත්වය මහ බැංකුවට ලබා දී ඇත. එබැවින්, පොලී අනුපාතය ඇතුළු කිසිම මුදල් වෙළෙඳපොළ ක්‍රියාකාරකමක් පිළිබඳ ව මැදිහත් වීමට මුදල් ඇමතිට බලතල නොමැත.
- සමස්තයක් ලෙස, ඒ ඒ වෙළෙඳපොළ සහ ජීවන තත්ත්වය පිළිබඳ මහජන ඉලක්ක මොනවා ද? ඒ සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් මත ඒ ඒ වෙළෙඳපොළ තත්ත්වයන් තුලනය කළ හැකි ද? එහි වගකීම භාර ගන්නේ කවු ද? සමස්ත කැබිනට් මණ්ඩලය ද, කැබිනට් මණ්ඩලය පත් කරන ජනාධිපති ද?
නව කැබිනට් මණ්ඩලයට දත් නොමැති වීමේ ව්‍යුහාත්මක ගැටළුව
ඕනෑම රටක රජයක් විසින් ආර්ථික කළමනාකරණය කිරීමේ දී භාවිතා කෙරෙන ප්‍රධාන ස්වෛරිත්ව ප්‍රතිපත්ති දෙක වන්නේ, රාජ්‍ය මූල්‍ය හෝ අයවැය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය යි. ඒවා තුළ ඕනෑ තරම් මෙවලම් නිර්මාණය කළ හැකිය.
නූතන ආර්ථිකයන් මුදල් හරහා ක්‍රියාත්මක වන ආර්ථිකයන් වන බැවින් සාර්ව ආර්ථික ඉලක්කයන් අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ වෙළෙඳපොළ පද්ධතියට අවශ්‍ය පරිදි මුදල් සැපයීමක් කිරීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැති නම්, තම ආර්ථික කළමනාකරණ ඉලක්කයන් ඉටු කළ නොහැක.
පසුගිය ආර්ථික අර්බුද නිරාකරණ කැබිනට් මණ්ඩලයට මෙන්ම නව කැබිනට් මණ්ඩලයට ද මෙම මුදල් බලය නොමැත. ඊට ප්‍රධාන හේතු හතරක් දැක්විය හැකිය.
- පළමුව, මුදල් සහ වෙළෙඳපොළ ක්‍රමයේ පදනම වනනේ මුදල් වෙළෙඳපොළ යි. එහෙත්, ආර්ථික කළමනාකරණ ඉලක්කවලට ගැලපෙන ලෙස මුදල් ඉල්ලුම, සැපයුම සහ මිල ගණන් කෙරෙහි මැදිහත් වීමට මුදල් ඇමතිට හෝ වෙනත් ඇමතිවරයෙකුට නොහැක. ඊට හේතුව, පසුගිය රජය විසින් මහ බැංකුව පූර්ණ ස්වාධීන කිරීම යි. රාජ්‍ය වාණිජ බැංකු දෙක හරහා මුදල් වෙළෙඳපොලට මැදිහත් වීමට මුදල් ඇමතිට හැකියාවක් පැවතිය ද, මහ බැංකුවේ අධිබලතල මගින් එය වැලැක්විය හැකිය.
- දෙවනුව, ආර්ථිකයෙහි වෙළෙඳපොළවල් පුරා මුදල් බෙදා හැරෙන ප්‍රධාන වාහකය රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය යි. එහෙත්, පසුගිය රජය විසින් නීතිගත කළ ආර්ථික පරිවර්තන පනත සහ IMF ගිවිසුම මගින් අයවැයේ සියළු ප්‍රධාන නාලිකා වසා ඇත. එබැවින්, නව කැබිනට් මණ්ඩලයට රාජ්‍ය මුදල් ස්වාධීනත්වය නොමැත.
- තෙවනුව, රටේ සංවර්ධන අවශ්‍යතාවන් අනුව ආර්ථිකය කළමනාකරණය කිරීමේ දර්ශනය, ව්‍යුහය සහ ක්‍රමවේදය රජය සහ කැබිනට් මණ්ඩලය සතු ස්වෛරිත්ව බලයකි. එහෙත්, පසුගිය රජය විසින් නීතිගත කළ IMF ගිවිසුම අනුව එම ස්වාධීනත්වය ඩොලර් බිලියන 3 කට IMF වෙත පාවා දී ඇත.
- මහජනයා විසින් අන්ත ලෙස පරාජය කරන ලද, පසුගිය රජයේ මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් තනතුරු වෙනස් කිරීමට නව රජයට නොහැකි වීම ඊට හොඳම නිදසුන යි.
- IMF යනු වොෂින්ටන් සම්මුතිය අනුව ඩොලරය සහ ඇමෙරිකාව කේන්ද්‍රීය බටහිර ගෝලීය ආර්ථික බලය සෙසු ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීමේ කේන්ද්‍රීය මූල්‍ය ආයතනය යි. එබැවින්, ශ්‍රී ලංකා මහජන අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීමේ ස්වෛරීත්වයට යමක් IMF එකෙන් බලපොරොත්තු විය නොහැකිය. පසුගිය මැතිවරණ දෙකම අවසන් වූ සැණින් IMF කණ්ඩායම් දෙකක් පැමිණීමෙන් ඒ බව පැහැදිළි ය.
- සිවුවනුව, ඇමතිවරුන් යටතේ ලැයිස්තගත කෙරෙන රාජ්‍ය ආයතන විසින් කැබිනට් මණ්ඩලය හෝ අදාළ ඇමතිගේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවට කිසිම බැඳීමක් නොමැත.
- මෑත කාලීන ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය වන්නේ, හුදෙක් පවතින රජයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන රාජ්‍ය නිලධාරීන් දේශපාලන බැඳීම්වලින් තොර එඩිතර ස්වාධීන නිලධාරීන් ලෙස පිළි ගැනීම යි.
- විරුද්ධ පක්ෂයන් නිතරම එම නිලධාරීන්ගේ ආරක්ෂාවට සැදී පැහැදී සිටී. විරුද්ධ පක්ෂවල ආරක්ෂකයන් වන්නේ එම නිලධාරීන් ය. එබැවින්, නව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන් එක්කෝ දුෂණ චෝදනා මත බන්ධනාගාර ගත කිරීම හෝ සේවයෙන් පහ කිරීම හෝ පාරට බැස්සවීම සාමාන්‍ය සිද්ධියක් බව නොරහසකි. එහෙත්, අදාළ ඇමතිවරු හෝ කැබිනට් මණ්ඩලය විසින් නව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට කිසිම පියවරක් නොගැනේ.
- එබැවින්, බහුතර රාජ්‍ය නිලධාරීන්ගේ සම්ප්‍රදාය වන්නේ, පැරණි ලිපි ගොනු මැද ජීවත් වීම යි. ඔවුන්ට අනුව කැබිනට් මණ්ඩලය යනු වැඩ සහ ආර්ථික කළමනාකරණ විෂය නොදන්නා දේශපාලකයින් පිරිසකි. වත්මන් මහ බැංකු අධිපති විසින් ආර්ථික අර්බුදය විමර්ශණය කෙරෙන කාරක සභාවට ප්‍රකාශ කරනු ලැබුවේ, සාර්ව ආර්ථිකයෙහි වෙළෙඳපොළවල් හැසිරෙන ආකාරය දේශපාලන නායකයන් නොදන්නා බව යි.
මුදල් බලතල නොමැති කැබිනට් මණ්ඩලයකට හෝ රජයකට නූතන මුදල් ආර්ථිකයන් තුළ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන ආර්ථිකය සහ ජීවන තත්ත්වය ගොඩ ගැනීම සඳහා කළ හැකි දෙයක් නොමැත. එබැවින්, නව කැබිනට් මණ්ඩලය ද ආර්ථික කළමනාකරණ දත් කිසිවක් නොමැති මණ්ඩලයකි. “දත් නැතිදා උක්දඬු ගිනි තපින්න ද” යන්න කියමනක් ද පවතී. රජයක් විසින් මොන තරම් මහජන පරමාධිපත්‍ය බල වාර්තාවන් තැබුව ද, අවසානයේ දී ඒවා ක්‍රිකට් වාර්තාවන් මෙන් ලේඛන වාර්තාවන් පමණක් විය හැකිය.
- 2021 ඔක්තෝබර් මස බ්‍රිතාන්‍යයේ පත් වූ ලිස් ට්‍රස් රජයට දින 45 කින් ගෙදර යාමට යවන ලද්දේ, බදු සහන සහ බලශක්ති සහන මත පදනම් වූ ආර්ථික වර්ධන මොඩලයක් කෙරෙහි යොමු වූ නව ආර්ථික කළමනාකරණ දර්ශනයක් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට තිබෙන රාජ්‍ය මුදල් බලතල භාවිතා කිරීමට පවා විරුද්ධ වූ, මුදල් අමාත්‍යංශය, ස්වාධීන අයවැය පුරෝකතන කාර්යාලය, මහ බැංකුව සහ IMF ප්‍රමුඛ මුදල් වෙළෙඳපොළ දාමය විසිනි.
- ශ්‍රී ලංකාවේ පසුගිය 69 ලක්ෂයේ පරමාධිපත්‍ය රජයට ගෙදර යාමට සිදු වූයේ ද, මුදල් බලතල ගැටළුව හේතුවෙනි. 2020 කොවිඩ් සමයෙහි ලෝකයේ සියළුම මහ බැංකු මුදල් අච්චු ගසද්දී, ශ්‍රී ලංකා මහ බැංකුව එළිපිටම ඊට විරුද්ධ වීමේ කථා පුවත තවමත් මතකය. එබැවින්, එම රජයට කළ හැකි වූ එකම දෙය වූයේ, නීති පිට නීති පනවා මහජනතාව තව තවත් පීඩනයට පත් කිරීම මිස, නව මහජන අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස දේශීය නිෂ්පාදන සහ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට හැකි ආර්ථික කළමනාකරණ දර්ශනයක් ක්‍රියාත්මක කිරීම නොවේ. එම රජය විසින් තම මහජන කාර්යසාදනය ලෙස හුවා දක්වන ලද්දේ, දිනෙන් දින පනවන ලද නව නීති සංඛ්‍යාව යි.
සමාප්ත සටහන
- ඉහත දැක්වූ ව්‍යුහාත්මක ආර්ථික කළමනාකරණ දුර්වලතාවයන් නිරාකරණයට නව වාර්තාගත කැබිනට් මණ්ඩලයට නොහැකි නම්, එය ද නුදුරේ දී තවත් දේශපාලන මාධ්‍ය දර්ශනයකින් පමණක් නිමා වීමේ අවදානම් බොහෝ ය.
- දැනට පවතින ආර්ථික නීති සහ ආයතනික ව්‍යුහය දෙස බලන විට, වත්මන් ආර්ථික අර්බුදයෙන් තනිව ගොඩ ඒමට වෙළෙඳපොළවලට ක්‍රියාත්මක වීමේ හැකියාවක් සහ නිදහසක් ද නොමැත.
- මුදල් වෙළෙඳපොළ බලය සහ ආර්ථික ස්වාධිපත්‍යය නොමැති රජයකට රටේ ආර්ථික කළමනාකරණය සඳහා කළ හැකි කාර්ය භාරය හුදෙක් කෙසේ හෝ රජය පවත්වා ගැනීමට පමණක් සීමා වනු ඇත.
- ස්වෛරිත්ව නීති පැනවීම සහ මුදල් නිෂ්පාදනය හරහා ආර්ථිකය කළමනාකරණයට බලය ඇති රජයන් එවැනි තත්ත්වයට පත් වීම ජාතික ශෝකයකි.
- එහෙත්, පසුගිය රජයන් මෙන් උද්ධමනය, ආර්ථික වර්ධනය, විනිමය අනුපාතය, පොලී අනුපාතය සහ විදේශ සංචිතය වැනි ආර්ථික ඉලක්කම් සකසා, ආර්ථිකය දැන් හොඳින් ගොඩ යන බවට ප්‍රකාශ කිරීමේ අපහසුවක් නම් නැත.
- එහෙත්, මහ බැංකු පොලී අනුපාතය 3% කින් පමණ පහළ දමා, ඉදිරි වසර 5 තුළ ප්‍රමුඛ ආර්ථික අංශ සංවර්ධනය තුළින් විදේශ මුදල් අතිරික්තයක් ඉලක්ක කළ, මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රසාරණ ණය ව්‍යාප්තියකට දායක වන පරිදි, අඩුම වශයෙන් රුපියල් ට්‍රිලියන 3 ක සංචිත මුදල් නිෂ්පාදනයක් නොමැතිව, වත්මන් ආර්ථිකය මෙතනින් සෙලවිය නොහැකිය. නව කැබිනට් මණ්ඩලයට එය කළ නොහැකිය. භූතාත්මක උද්ධමනය සහ මහ බැංකු මුදල් මුද්‍රණ ස්වාධීනත්වය හුවා දක්වා කැබිනට් මණ්ඩලයට තම ඇග බේරා ගත හැකිය. පසුගිය රජය කළා මෙන්, IMF හරහා තව විදේශ ණය ටිකක් ගෙන, ඒ ඒ වෙලාවට මහජනයා සතුටු කිරීමට අවශ්‍ය තෙල් සහ ගෑස් වැනි ආනයන ටික සැපයිය හැකිය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)
මූලාශ්‍රය-: Economy Discovery