මැතිසබේට නෑගම් ආ නයා ….

Date:

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය ළඟ සිටි දාර නයෙක් දැකලා ය. නයා තමුන්ව දැක්කත් එතරම් දරුණු සීන් එකක් නොදැම්ම නිසා සේවකයා පොඩ්ඩක් ගල් සීන් එකෙන් මිදුනේය. ඇත්තෙන්ම මේ කාමරයේදී ගල් සීන් වෙන්න නම් හොඳ නැති බවත් සේවකතුමාට හදිස්සියේම මතක් වූ අතර ආයෙත් මතක් වුණේ නයින්ට හොඳින් කතා කළොත් ඔවුන්ව පිටත්කර යවාගත හැකි බවට පුංචි කාලේ ආත්තම්මා කියූ කතාවකි. ඒ අනුව නයා එක්ක ෂේප් එකේ චැට් එකක් දාන්නට සේවකතුමා හිත හදාගත්තේය.

“නයිහාමි, අපි අහිංසක මිනිස්සු, අනේ මට නපුරක්, කරදරයක් කරන්න එපා … කරුණාකරලා මෙතනින් යන්න…”

සේවකතුමාගේ ඒ කතාවට නම් නයිහාමිට මළ පැන්නේ ය. “සූස්” ගා පෙනය පොඩ්ඩක් පිම්බූ නයිහාමි සේවකතුමාගෙන් ඇසුවේ “යකෝ අපිද උඹලාට කරදර කරන්නෙ ? උඹලාට ඉන්ටවල් නැතිව කරදර කරන උන් සෙට් එකම ඉන්නෙ ඔය සභාව ඇතුළෙ නෙවෙයිද ?” කියාය.

පොඩ්ඩක් වටපිට බැලූ සේවකතුමා “ඒකත් නම් එහෙම තමා. ඒත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය අනුවනෙ එව්වා සිද්ද වෙන්නෙ. ඇරත් දැන් සිස්ටම් චේන්ජ් කරලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ ජනතා ආණ්ඩුවක් නිසා වැඩි කේස් එකක් නෑ” කිව්වේ කොහෙන්දෝ ඇදගත් දම්පාට කැප් එකකුත් දාගන්න ගමන් ය.

“ඒ කිව්වෙ … දැන් ජනතාව එකින් එකා මාරුවෙන් මාරුවට ඇවිත් මේකෙ පුටුවල වාඩිවෙනවාද ?” නයිහාමි පොඩ්ඩක් කොන්ෆියුස් වෙලා ඇහුවේය.

ඒකට හැරෙන තැපෑලෙන් උත්තර දුන් සේවකතුමා කිව්වේ “නෑ, නෑ. ජනතාව ඡන්දයෙන් තමන්ගෙ නියෝජිතයෝනෙ මේ පත්කරලා එවලා තියෙන්නෙ … ඒ නිසා මේක ජනතා ආණ්ඩුවක්” කියා ය. නයිහාමි ඒ පිටම ඇහුවේ “ඉතින් බං කලිනුත් ඔහොම්ම තමයිනෙ වුණේ ? ජනතාව තමන්ගෙ නියෝජිතයෝ කියලා පත්කරලා එවපු එවුන්නෙ ටිකක් කල් ගියාම උන්ට ඇරියේ ?” කියාය.

සේවකතුමා ඒ පාර දම්පාට කැප් එක හංගාගෙන රතුපාට කැප් එකක් දාගත්තේය. “ඒ වුණාට මෙහෙමනෙ නයා සහෝදරයා, ඒ කලින් හිටපු ප්‍රභූ පන්තියේ ධනපති පාලකයෝ. දැන් ඉන්නෙ නිර්ධන පන්තියේ නිර්ප්‍රභූ පාලකයෝ ටිකක්. බොරුනම් අර මහාචාර්ය නිර්(ප්‍රභූ)මාල් සර්ගෙන් අහලා බලන්න” යැයි කිව්වේය.

“තව පොඩ්ඩක් සීන් කෝන් එක විස්තර කරන්නකෝ සේවක සහෝදරයා” කියමින් නයා දරණුවක් ගහගෙන වාඩිවුණේය.

“මෙහෙමනේ නයා සහෝදරයා … දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ඉන්න අපේ මාලිගා මන්ත්‍රී සහෝදරවරු දිහා. හැමෝම ආසයිනෙ බස් එකේ කෝච්චියේ මෝටර් සයිකලේ වැඩට එන මන්ත්‍රීවරුන්ට” කියද්දීම නයා මැදට පැන්නේ “ඒ කියන්නෙ ඒගොල්ලො දැන් එන්නේ බස් එකේ, කෝච්චියේ, මෝටර් සයිකලේද ? එතකොට අර එළියේ පාක් කරලා තියෙන වාහන කන්දරාව අපේද ?” කියා අසමිනි.

“නෑ නෑ සහෝදරයා. අපි වගේම ඒගොල්ලොත් ආසයි බස් එකේ කෝච්චියේ මෝටර් සයිකලේ වැඩට එන මන්ත්‍රීලා ඉන්නවා නම්. ඒත් කොහෙද මේ 75 වසරක ශාපය නිසා වෙලාවට බස්, කෝච්චි වැඩකරන්නෙ නෑනෙ …. ඒක හින්දා ඔය ඩබල් කැබ් එකක් වගේ පොඩි වාහනයක් ඉතින් පාවිච්චි කරන්න සිද්ද වෙලා තියෙනවා තමයි. ඒත් ඉතින් ඒ සහෝදරතුමන්ලා බස් එකේ යන්න ආසා එකම මදිද ?”

“මුනුත් මාර ජීවී කොට්ටාසයක් තමා” කියා හිතින් හිතාගත් නයා සහෝදරයා ඊළඟට ඇහුවේ “කොයි මේ අපේ රන්වල කතානාදතුමා දැන්ම මේ පැත්තේ එන එකක් නැද්ද ? මං ආවේ එතුමාව පොඩ්ඩක් හම්බුවෙන්නත් එක්කයි. එතුමා දුරින් අපේ නෑයෙකුත් වෙන සයිස්. මයික්‍රො බයලොජි පණ පිහිටුවලා දෙන්නේ, අහන් ඉන්න ඉන්න ආසයි” කියාය.

මූණ අවුල් කරගත් සේවක සහෝදරයා කිව්වේ “දැන් එතුමා මේ කාමරේ නෑ. එතුමාට ඉල්ලා අස්වෙන්න වුණානෙ. දැන් ඉන්නෙ වෙන කෙනෙක්” කියාය. අප්සෙට් ගිය නයා සහෝදරයා “අර මක්කැයි ?” කියා ඇසුවේ ය.

“අර ජපන් සැටිපිකේට් කේස් එකක් පත්තු වුණානෙ. දණිස්සෙන් උඩට ගන්නෑ කියලා නයින්ද සහෝදරයා කිව්වත් වැඩේ ගොඩදාන්න බැරුව ගියා” සේවක සහෝදරයා උත්තර දුන්නේය.

“අම්මට සිරි. ඒ කියන්නෙ රන්වලතුමා ආචාරි සීන් එකක් කියලා ඇරලා තියෙන්නෙ ජපන් නයෙක්ද ? අපි විතරක් නෙවෙයි ටිලිං ටිලිං සහෝදරයා පවා ජපන් නයාට මාට්ටු වෙලාද ඉඳලා තියෙන්නෙ ? වස විලිලැජ්ජාවයි” කියමින් නයා සහෝදරයා කල්පනාවකට වැටුණේය.

සේවක සහෝදරයා හිනාවක් දාගෙන ඊට උත්තර දුන්නේ “පුරුදු වෙන්න ලැජ්ජා වෙන එකක් යෑ … ඒ සහෝලාට ඕවා ගාණක් නෑ” කියාය.

ඊළඟට එකපාර යමක් මතක් වුණු සේවක සහෝදරයා නයාට පොඩි ඔෆර් එකක් දුන්නේ “ඕනෑ නම් දිලිත් මන්ත්‍රීතුමා ඉන්නවා, මං කතා කරන්නද ?” කියාය.

“එයා 2019 කාලෙ නම් අපිත් එක්ක හොඳටම ආශ්‍රය කළා. දැන් නිකම් අපිව දන්නෑ වගේනෙ ඉන්නෙ … මතක් කරන්න එපා ඔය යකාව. ආයෙත් මාව බෝතලේක දාගෙන ගිහින් කැළණි ගඟෙන් ගොඩගන්නත් බැරි නෑ” කියූ නයා “ක්‍රෑක් තුහ්” කියා කෙළපාරකුත් ගැහුවේය.

නයා සහෝදරයාව සනසන්නත් එක්ක හිනාවකින් මූණ පුරෝගත් සේවක සහෝ ඊළඟට කිව්වේ “අප්සෙට් වෙන්න එපා සහෝ … දැන් අපේ අනාධිපති ජනුර සහෝදරයා එනවා. අලවැල විවාදෙට එකතුවෙන්න. එතුමාගෙ කතාවක් අහලාම ගියෑකි. මාර මොරාල් එකක් එන්නෙ එව්වා ඇහුවාම” කියාය.

තිගැස්සී එකවරම “බුදුඅම්මෝ !” කි‍යූ නයා නැට්ටට වාරු දී ජනේලෙන් ආපහු එළියට පනින ගමන් “එතුමා අරින නයිත් එක්ක අපිට හැරෙන්නවත් බෑ … මං යනවා යන්න” කියාගෙන විදුලි වේගයෙන් නොපෙනී ගියේය.

~ නාගසේන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...