2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:

වර්තමානය වන විට අපගේ දෛනික ජීවිතයට නැතිවම බැරි තාක්ෂණික උපාංගයන් වී ඇත්තේ ස්මාට්ෆෝන්ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සෑම කෙනෙකුගේම අතේ රැඳෙන මෙම උපකරණ පිළිබඳව සමාජය තුළ නිතරම දැඩි කතාබහට ලක්වේ. එයට බලපා ඇත්තේ "දිගුකාලීනව ජංගම දුරකථන භාවිත කිරීම හේතුවෙන් මාරාන්තික පිළිකා වැළඳෙයිද?" යන සැකයයි. ස්මාර්ට්ෆෝන් විකිරණවලින් පිළිකා හැදෙයිද යන මෙම සැකය සමාජයේ බහුලව පැවතුණත්, වෛද්‍ය විද්‍යාව ඊට වෙනස් පිළිතුරක් දෙයි.

ඊට හේතු වී ඇත්තේ, භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකථන, බැටරි සහ චාජර් සාමාන්‍ය කුණු කූඩයට විසි කිරීමෙන් මතුවන විෂ බැරලෝහ අද අපේ දරුවන්ගේත්, මුළු මහත් සමාජයේත් අනාගතයට නිහඬවම ඍණාත්මක ප්‍රතිඵල සඳහා අත වනමින් සිටීමයි. එබැවින්, ජංගම දුරකථන භාවිතය නිසා පිළිකා ඇති වේ යැයි බොහෝ දෙනා බිය වුවද, සැබෑ අවදානම ඇත්තේ ඒවා අක්‍රීය වූ පසු බැහැර කරන ආකාරය තුළ යැයි ක්ෂේත්‍රයේ විද්වතුන් පවසයි.

නොපෙනෙන සැබෑ උවදුර : ඔබේ පැරණි ස්මාර්ට්ෆෝනයේ නොකියූ කතාව

ග්‍රාමීය නිවෙස්වල සිට නාගරික කසළ බඳුන් දක්වා විසිරෙන ඉවතලන බැටරි සහ ඩිජිටල් උපාංග, පසත්, ජලයත් දූෂණය කරමින් මිනිසුන් හට එල්ල කරන බලපෑම අතිමහත් බව විද්වතුන් පවසයි. යුරෝපා සංගමයේ හරිත සංක්‍රාන්ති (Green Transition) ඉලක්ක සහ පාරිසරික යුක්තිය පිළිබඳව සොයා බැලීමේ ගමනේදී අප මුහුණ දෙන සැබෑ අර්බුදය ඇත්තේ ජංගම දුරකථන කනට තබා ගැනීමෙන් මතුවන විකිරණවල නොව, ඒවා අක්‍රීය වූ පසු අප කරන දේ තුළ බව යන්න අවබෝධ උවද, මිනිස් සමාජයේ හෙට දවසේ යහපත සහ දැනුවත්කම උදෙසා එම තොරතුරු මෙලෙස එළිදැක්වීමට මා පොළඹවන්නේ මා හට ඇති සමාජ වගකීම යලි පසක් කරමිනි. මිනිස් සෞඛ්‍යයේ සිට අපේ රටේ ඩිජිටල් කුණු කූඩය දක්වා විහිදුණු සැඟවුණු යථාර්ථය පිළිබඳ එම ගවේෂණාත්මක කතාව මෙලෙස දිගහැරිමු.

පිළිකා බිය මිථ්‍යාවක්ද?

මාගේ මෙම ගමනේ පළමු නැවතුම වූයේ ජංගම දුරකථන විකිරණ සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව වෛද්‍ය විශේෂඥයෙකු ( Dr. Bimantha Gunasekara , General Manager, Innovative Health Solutions (Pvt) Ltd ) සමඟ කළ සාකච්ඡාවයි. සමාජයේ පවතින බිය සහ විද්‍යාත්මක යථාර්ථය අතර ඇත්තේ පුළුල් පරතරයකි.

“ජංගම දුරකථන සන්නිවේදනය සඳහා භාවිත කරන්නේ රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක විකිරණ (RF-EMF). රෝහල්වල X-කිරණ හෝ ගැමා කිරණ වැනි ශරීරයේ DNA වලට සෘජුවම හානි කර පිළිකා ඇති කළ හැකි අයනීකරණය වන (Ionising) විකිරණ මෙන් නොව, ජංගම දුරකථන වලින් නිකුත් වන්නේ අයනීකරණය නොවන (Non-ionising) විකිරණයි. එනම්, ඒවාට සෛලවල රසායනික බැඳීම් බිඳ දැමීමට තරම් ශක්තියක් නැහැ.” Innovative Health Solutions (Pvt) Ltd හි සාමාන්‍යාධිකාරී, වෛද්‍ය බිමන්ත ගුණසේකර

ප්‍රශ්නය: “වෛද්‍යතුමනි, අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන ලොකුම බියක් තමයි දිගුකාලීනව ජංගම දුරකථන භාවිත කිරීම නිසා මොළයේ පිළිකා ඇති වෙනවා කියන කතාව. ඇත්තටම මොකක්ද මේ ජංගම දුරකථන විකිරණ කියන්නේ?”

වෛද්‍යවරයා: “ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ජංගම දුරකථන සන්නිවේදනය සඳහා භාවිත කරන්නේ රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක විකිරණ (RF-EMF). රෝහල්වල X-කිරණ හෝ ගැමා කිරණ වැනි ශරීරයේ DNA වලට සෘජුවම හානි කර පිළිකා ඇති කළ හැකි අයනීකරණය වන (Ionising) විකිරණ මෙන් නොව, ජංගම දුරකථන වලින් නිකුත් වන්නේ අයනීකරණය නොවන (Non-ionising) විකිරණයි. එනම්, ඒවාට සෛලවල රසායනික බැඳීම් බිඳ දැමීමට තරම් ශක්තියක් නැහැ.”

පර්යේෂකයන් විසින් හිස ආශ්‍රිත පිළිකා (Glioma, Meningioma, ශ්‍රවණ ස්නායු ගෙඩි සහ ඛේට ග්‍රන්ථි පිළිකා) සම්බන්ධයෙන් කළ පුළුල් අධ්‍යයන රැසක් මෙහිදී සාකච්ඡා විය. 2011 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ IARC ආයතනය මෙම විකිරණ “පිළිකා කාරක විය හැකි” (Group 2B) කාණ්ඩයට ඇතුළත් කළද, එයින් අදහස් වූයේ පිළිකා තහවුරු වූ බවක් නොව වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2024 නවතම ක්‍රමානුකූල සමාලෝචනය සහ පුද්ගලයන් 264,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් සිදු කළ COSMOS ජාත්‍යන්තර අධ්‍යයනය මගින් තහවුරු වී ඇත්තේ වසර 15කට වඩා වැඩි කාලයක් දුරකථන භාවිත කළ අයගේ පවා මොළයේ පිළිකා අවදානමක් වැඩි වී නොමැති බවයි. දරුවන්ගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙමින් පැවතුණද, ළමා මොළයේ පිළිකා වැඩි වන බවට හෝ 5G තාක්ෂණය මගින් පිළිකා ඇති වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත්, Hands-free භාවිතය සහ සංඥා දුර්වල ප්‍රදේශවල ඇමතුම් සීමා කිරීම වැනි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීම නුවණට හුරුය.

බිම් මට්ටමේ යථාර්ථය – ග්‍රාමීය කාන්තාවන් සහ නොදැනුවත්කමේ අඳුර

වෛද්‍ය විද්‍යාත්මකව පිළිකා අවදානමක් තහවුරු වී නැතත්, මා ග්‍රාමීය ප්‍රදේශවල අහඹු ලෙස සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණවලදී පෙනී ගියේ වෙනත් බරපතල අර්බුදයකි.

“ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් සහ සාමාන්‍ය පුරවැසියන් ස්මාර්ට් ජංගම දුරකථන බහුලව භාවිත කළද, ඒවා අක්‍රීය වූ පසු හෝ කැඩී ගිය පසු කළ යුතු නිවැරදි දේ පිළිබඳව ඔවුන්ට කිසිදු දැනුවත්භාවයක් නොමැත. ඇතමුන් පැවසුවේ තමන් දැනටමත් අක්‍රීය වූ දුරකථන, බැටරි සහ චාජර් වැනි දෑ සාමාන්‍ය කුණු කූඩයට දමා බැහැර කළ බවයි”.

ජංගම දුරකථන නිෂ්පාදනයට ඊයම්, රසදිය සහ කැඩ්මියම් වැනි විෂ සහිත බැරලෝහ භාවිත වන අතර, ඒවා සාමාන්‍ය කසළ සමඟ පසට හා භූගත ජලයට කාන්දු වීමෙන් දරුණු සෞඛ්‍ය හා පාරිසරික හානි සිදුවිය හැක. ගෝලීය දත්තවලට අනුව (ITU වාර්තා), 2021 දී ටොන් මිලියන 57.4ක විද්‍යුත් අපද්‍රව්‍ය (WEEE) ජනනය වී ඇති අතර, ඉන් ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ ඉන් 17.4%ක් පමණි.

රහසිගත ජාලය – ප්‍රතිචක්‍රීකරණ ආයතනයක දොරටු අභියස

මෙම ගැටලුවේ ව්‍යාපාරික පැතිකඩ සහ ජාත්‍යන්තර ගමන පිළිබඳව සොයා බැලීමට මම ලියාපදිංචි විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු හමුවී සාකච්ඡා කළෙමි. එහිදී මට අසන්නට ලැබුණේ අතිශයින්ම විමතියට පත් කරවන තොරතුරු ය. අප අතර සිදුවූ එම සංවාදය මෙන්න:

ප්‍රශ්නය -: " ඉවතලන ෆෝන් සහ බැටරි සාමාන්‍ය වෙළඳපොළෙන් හෝ අලුත්වැඩියා කරන ව්‍යාපාරික ස්‍ථාන වලින් එකතු කරන්නේ කොහොමද? ඒවාට ගෙවන මිල කොහොමද?"

ආයතන ප්‍රධානියා: "අපි සහ අපේ එකතු කරන්නන් මඟින් ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියා කරන ව්‍යාපාරික ස්‍ථාන් වලින් මේ ඉවතලන ජංගම දුරකථන, බැටරි සහ විදුලි උපාංග කැබලි කිලෝග්‍රෑම් එකක් රුපියල් 15,000/-ත් 35,000/-ත් අතර අධික මිලකට මිලදී ගන්නවා. මේකෙ වටිනාකම තියෙන්නේ ඒක ඇතුළේ තියෙන ලෝහවල.”

ප්‍රශ්නය-: “ඒ විදිහට එකතු කරගන්න ද්‍රව්‍යවලට පසුව මොකද වෙන්නේ? ඒවා ලංකාවේදීම ප්‍රොසෙස් කරන්නේ කොහොමද?”

ආයතන ප්‍රධානියා: "නැහැ, අපි මේවා වර්ග කරලා කැබලි කරනවා. ඊටපස්සේ මේ උපාංගවලින් ලබා ගන්නා වටිනා තඹ (Copper) කොටස් ඉන්දියාවට අපනයනය කරනවා. ඒ වගේම, පරිගණක සහ දුරකථනවල ප්‍රධාන මදර්බෝඩ් සහ බෝඩ් කොටස් චීනයට සහ පාකිස්තානයට යවනවා."

මෙයින් පැහැදිලි වන්නේ නිසි ලෙස කළමනාකරණය කළහොත් ඩිජිටල් අපද්‍රව්‍ය යනු හුදෙක් ඉවත දැමිය යුතු කසළ ද්‍රව්‍යක් නොව, චක්‍රීය ආර්ථිකයක (Circular Economy) දැවැන්ත ආර්ථික වටිනාකමක් උත්පාදනය කළ හැකි සම්පතක් බවයි.

හරිත අනාගතය සහ සාධාරණ හරිත සංක්‍රාන්තියක් කරා...

මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ තෝරා ගත් ප්‍රමුඛපෙළේ පෞද්ගලික ආයතන එක්ව දිවයින පුරා සන්නිවේදන සේවා මධ්‍යස්ථාන හරහා විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලයන් ක්‍රියාත්මක කරමින් පවතී. “පුළුල් කරන ලද නිෂ්පාදක වගකීම්” (Extended Producer Responsibility – EPR) වැනි ප්‍රතිපත්තිමය රාමු හරහා ආයතනික මට්ටමින් මැදිහත්වීම් සිදුවෙමින් පවතී.

එහෙත්, 2050 ශුන්‍ය කාබන් (Net Zero) හරිත ඉලක්කය සැබෑවක් වීමට නම්, මෙම ක්‍රියාවලිය නාගරික සීමාවලින් ඔබ්බට ගොස් ග්‍රාමීය ප්‍රජාවන් සහ කාන්තාවන් ද සවිබල ගන්වන ‘සාධාරණ හරිත සංක්‍රාන්තියක්’ (Just Transition) බවට පත් විය යුතුය.

ඒ ඔස්සේ යමින් , මොනරාගල දිස්ත්‍රික්කයේ විද්‍යුත් අපද්‍රව්‍ය (e-waste) කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ ඩයලොග් ආසියාටා සමාගම එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ යටතේ, ඉකුත් 12 වැනිදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

දිවයින පුරා ආරක්ෂිත සහ පරිසර හිතකාමී අයුරින් විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් පුළුල් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. විශේෂයෙන්ම, භාවිතයෙන් ඉවත් කරන ජංගම දුරකථන ඇතුළු අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග බලයලත් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙතම භාර දීමට පුරවැසියන්ට වැඩි අවස්ථාවක් සලසා දීමත්, ඒ හරහා මහජනතාවට සහ පරිසරයට හානියක් නොවන පරිදි වගකීම් සහගතව අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ඔවුන්ව යොමු කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ සී.පී. පලිහපිටිය මහත්මියගේ සහ මොනරාගල සහකාර අධ්‍යක්ෂ එම්.කේ.ජේ. සදාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ සහකාර නීති නිලධාරිනී දීපානිකා සෙනෙවිරත්න මහත්මිය සහ දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ටී.එම්. සමන් තෙන්නකෝන් මහතා සම්පත් දායකයින් ලෙස එක්ව දේශන පවත්වා ඇත. එමෙන්ම මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) එම්.ඒ.එන්. ලක්ෂාණි මහත්මිය, ඩයලොග් ආසියාටා සමාගමේ තිරසර නවෝත්පාදන විශේෂඥ චතුරංග රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

මීට සමගාමීව, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සිය ශ්‍රවණාගාරයේදී පුහුණුකරුවන් පුහුණු කිරීමේ (Training of Trainers - ToT) විශේෂ වැඩසටහනක් පවත්වමින් මෙම ව්‍යාපෘතිය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි දිස්ත්‍රික් නිලධාරීන් 75 දෙනෙකු සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් 25 දෙනෙකු ඇතුළුව 100 දෙනෙකු ඊට සහභාගී වී තිබේ. එහිදී චක්‍රීය ආර්ථික සංකල්ප, විද්‍යුත් අපද්‍රව්‍ය රෙගුලාසි මෙන්ම පාසල් සහ ප්‍රජා සංවිධාන දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රායෝගික මඟපෙන්වීම ද ඔවුන් වෙත ලබා දී ඇත.

සාමාන්‍ය ජනතාවට තමන් සතු පැරණි ජංගම දුරකථන, බැටරි ඇතුළු කුඩා ප්‍රමාණයේ විද්‍යුත් අපද්‍රව්‍ය භාර දීම සඳහා දිවයින පුරා පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 24 ක ‘e-Kunu’ එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කර තිබේ. එලෙස එකතු වන සියලුම අපද්‍රව්‍ය බලපත්‍රලාභී අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන හරහා පරිසර හිතකාමීව බැහැර කෙරෙන අතර, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ekunu.lk වෙබ් අඩවිය ද හඳුන්වා දී ඇත.

2025 වසරේදී පමණක් ඩයලොග් ආයතනය මහජනතාවගෙන් එක්රැස් කළ විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3.74 ක් සහ සිය අභ්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 668 ක් වගකීම්සහගතව කළමනාකරණය කර ඇති අතර, භාවිතයෙන් ඉවත් කරන ජංගම දුරකථන ජාල උපකරණ (Network equipment) 100% ක්ම නිල ප්‍රතිචක්‍රීකරණ පාර්ශ්වකරුවන් හරහා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද පියවර ගෙන ඇති බවද පැවසීය.

ඩිජිටල් කුණු කූඩයෙන් හරිත හෙටකට

ජංගම දුරකථන විකිරණ නිසා පිළිකා ඇති වේ යැයි පවතින සැකය පිළිබඳව විද්‍යාත්මකව බිය විය යුතු නැතත්, අක්‍රීය වූ දුරකථන, බැටරි සහ චාජර් නිසි ලෙස බැහැර නොකිරීමෙන් පසට, ජලයට සහ අපේ දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල වන අනතුර නම් සැබෑවක් බව තහවුරු වේ.

ඒ අනුව,
• ග්‍රාමීය දැනුවත්භාවය: අක්‍රීය උපාංග සාමාන්‍ය කුණු කූඩයට දැමීමේ නොදැනුවත්කම නැති කර, ග්‍රාමීය කාන්තාවන් ඇතුළු සියලු දෙනා නිවැරදි ක්‍රමවේද වෙත යොමු කළ යුතුය.

• චක්‍රීය ආර්ථිකය සහ අපනයන වටිනාකම: ඉවතලන උපාංගවල ඇති තඹ වැනි ලෝහ සහ මදර්බෝඩ් වැනි කොටස් නිසි ලෙස වර්ග කර ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් හා අපනයනය කිරීමෙන් ඒවාට විශාල ආර්ථික වටිනාකමක් ලබා ගත හැකිය.

• දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ මැදිහත්වීම්: විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන මෙන්ම, රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඵලදායි මැදිහත්වීම, පුහුණු නිලධාරීන් හා වැඩසටහන් හරහා වගකීම් සහගත කළමනාකරණයට ශක්තිමත් පදනමක් සපයයි.

මේ සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් පරිසර හානිය අවම වී සෞඛ්‍යාරක්ෂිත හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගෙනවා පමණක් නොව, සම්පත් ප්‍රතිචක්‍රීකරණය සහ තිරසාර ක්‍රියාවලීන් හරහා රටේ ආර්ථිකයට මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයටද (GDP) යහපත් බලපෑමක් ඇති කරයි. එබැවින්, අප අතින් ඉවතලන සෑම ඩිජිටල් උපාංගයක්ම නිසි මඟට යොමු කිරීම අපේ අනාගතයටත්, රටේ ආර්ථිකයටත් කරන ආයෝජනයකි. නිසි පරිදි කළමනාකරණය කළහොත් ඩිජිටල් අපද්‍රව්‍ය යනු හුදු කසළක් නොව, චක්‍රීය ආර්ථිකයක වටිනා සම්පතකි. ග්‍රාමීය ප්‍රජාවන්ගේ නොදැනුවත්කම දුරු කරමින්,. 2050 ශුන්‍ය කාබන් ඉලක්කය කරා යන ගමනේදී නගරයට පමණක් සීමා නොවී, ග්‍රාමීය කාන්තාවන් සහ සෑම පුරවැසියෙකුම සම්බන්ධ කරගන්නා ‘සාධාරණ හරිත සංක්‍රාන්තියක්’ ගොඩනැගීම අප සැමගේ සාමූහික වගකීමකි.

“අක්‍රීය ෆෝනයකට දෙන නිවැරදි විසඳුම, අපේ දරුවන්ගේ හෙට දවසට දෙන සුරක්ෂිත පොරොන්දුවකි".

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය නියත වශයෙන්ම ජයගන්නවා – ඇමති විජේපාලගෙන් සහතිකයක්!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ආරම්භ...

FBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඇමෙරිකානු ෆෙඩරල්...

ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඉන්දියාවේ ඊසානදිග...