ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම ඒකාධිපතියාගේ පෙළපත සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අනපේක්ෂිත ඉඟි අනාවරණය වී තිබේ.
වෙහෙසකර විද්‍යාත්මක පරීක්ෂණ මගින්, ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් විසින් හිට්ලර්ට යුදෙව් සම්භවයක් ඇති බවට (ඔහුට යුදෙව් සම්භවයක් නොතිබිණි) දිගු කලක් තිස්සේ පැවති ප්‍රකාශ නිෂ්ප්‍රභ කරනු ලැබ ඇති අතර, ලිංගික අවයව වර්ධනයට බලපාන ජානමය ආබාධයක් තිබූ බවට හඳුනාගෙන තිබේ. ඒ සියල්ල ලේ තැවරුණු පැරණි රෙදි කැබැල්ලකින් පරීක්ෂා කිරීමන් සිදු කරන ලදී.
මිනිසුන් පොළඹවා ගැනීමට යෙදූ සිරස්තලවල හිට්ලර්ට ඉතා කුඩා ලිංගයක් හෝ එක් වෘෂණ කෝෂයක් පමණක් ඇති බවට ප්‍රකාශ ඉස්මතු කර තිබේ. නමුත් වඩාත් බරපතළ සොයා ගැනීම නම් ඔහුගේ DNA පරීක්ෂණයේදී ඔටිසම්, භින්නෝන්මාදය සහ බයිපෝලා අක්‍රමිකතාව ඇති වීමේ ජානමය ප්‍රවණතාවක් සඳහා 1%ක් වැනි ඉතා ඉහළ ලකුණු පෙන්නුම් කිරීම ය.
මෙයින් අදහස් කරන්නේ, ඔහු ස්නායු අබාධ තත්ත්වයකින් පෙළඹුණු බවට ද? කිසිසේත් ම නැතැයි විශේෂඥයෝ පවසති. එය රෝග විනිශ්චයකින් තහවුරු කර නැත.
කෙසේ වෙතත්, අපකීර්තියට පත් කිරීම සහ පර්යේෂණය කෙතරම් සදාචාරාත්මක ද? යන්න පිළිබඳව කණස්සල්ල මතු වී ඇති අතර, එම පරීක්ෂණ කළ යුතුව තිබුණා ද? යන ප්‍රශ්නය මතු කරයි.
“මට ඒ ගැන බලවත් හැඟීමක් දැනුණා,” මහාචාර්ය ටුරි කිං සෙනසුරාදා චැනල් 4 නාලිකාවේ පර්යේෂණය පිළිබඳ වාර්තා චිත්‍රපටයේ පළමු මිනිත්තු කිහිපය තුළ පවසයි. එහි නම “හිට්ලර්ගේ DNA: ඒකාධිපතියෙකුගේ සැලැස්මක පිටපත” ය.
ජාන විද්‍යා විශේෂඥවරිය බීබීසීයට පැවසුවේ, වසර ගණනාවකට පෙර මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ඇයට ප්‍රථම වරට ආරාධනා කළ විට, ඇඩොල්ෆ් හිට්ලර් වැනි පුද්ගලයෙකුගේ DNA අධ්‍යයනය කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක ඇය තේරුම් ගත් බව ය. “මට ආන්දෝලනාත්මක දේවල් කිරීමට උනන්දුවක් නැහැ”.
ඇය පවසන්නේ, මෙම පර්යේෂණය, ඇතැම් අවස්ථාවල වෙනත් අයෙකු විසින් සිදු කරනු ලැබූ අතර, අවම වශයෙන් ඇයගේ අධීක්ෂණය යටතේ, සියලු “කොන්දේසි සහ ආරක්ෂක සීමා” සහිතව පර්යේෂණය “සැබවින් ම ශාස්ත්‍රීය වශයෙන් දැඩි ලෙස” සිදු කළ බව සහතික කළ හැකි බව ය.
මහාචාර්ය කිං ඉහළ පෙළේ සහ සංවේදී ව්‍යාපෘතිවලට නවකයෙකු නොවේ. 2012දී ලයිසෙස්ටර්හිදී රථගාලක් යට තිබී III වන රිචඩ් රජුගේ ඇටසැකිල්ලේ අනන්‍යතාව තහවුරු කරන ජාන අධ්‍යයනයට ඇය නායකත්වය දුන්නා ය.
දෙවන ලෝක යුද්ධය අවසානයේ මිත්‍ර හමුදා බර්ලිනයට ළඟා වන විට හිට්ලර් සියදිවි නසා ගත් භූගත බංකරයේ සෝෆාවෙන්, මේ වන විට අවුරුදු 80ක් පැරණි ලේ තැවරුණු රෙදි කැබැල්ල කපා ගන්නා ලදී.
බංකරය පරීක්ෂා කරන අතරතුර, එක්සත් ජනපද හමුදාවේ කර්නල් රොස්වෙල් පී. රොසෙන්ග්‍රන් එම රෙදි කැබැල්ල අද්විතීය යුද කුසලානයක් ලෙස රැගෙන ගියේ ය. එය දැන් රාමු කර එක්සත් ජනපදයේ ගෙටිස්බර්ග් ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
වසර දහයකට පෙර සාම්පලයක් ලබා ගත් පිරිමි ඥාතියෙකු සමග Y-වර්ණ දේහය පරිපූර්ණ ලෙස ගැළපීම නිසා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, එය සැබවින් ම හිට්ලර්ගේ රුධිරය බව ය.
විශේෂඥයින් විසින් දැනට සමාලෝචනය කරනු ලබන ප්‍රතිඵල සැබවින් ම සිත් ඇදගන්නාසුලු ය.
හිට්ලර්ගේ DNA හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, වසර හතරක් පුරාවට එය අනුපිළිවෙළට සකස් කර ලෝකයේ බිහිසුණු ම ඒකාධිපතියෙකුගේ ජාන සැකැස්ම දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි විය.
විශේෂඥයින් පවසන්නේ, 1920 ගණන්වල සිට පැවති කටකතාවක ඇති ආකාරයේ යුදෙව් සම්භවයක් හිට්ලර්ට නොතිබූ බව නිසැක බව ය.
විද්‍යාඥයින් විසින් හිට්ලර්ට කැල්මන් සින්ඩ්‍රෝමය නම් ජානමය තත්ත්වයක් තිබී ඇති බව සොයා ගත් අතර, එය ලිංගික අවයව වර්ධනය වන ආකාරය සහ වැඩි විය පැමිණීම සිදුවන ආකාරය කෙරෙහි බලපෑම් කළ හැකි ය. මෙම ආබාධයේ එක් ප්‍රතිවිපාකයක් වන්නේ, ඉතා කුඩා ශිෂ්ණයක් හා වෘෂණ කෝෂ තිබීම වන අතර, එය දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් පිළිබඳ කටකතාවකට ද මාතෘකාව විය. එය යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය ගීතයක පවා සඳහන් විය.
කැල්මන් සින්ඩ්‍රෝමය ලිංගික ආශාවන්ට ද බලපෑ හැකි අතර, එය විශේෂයෙන් සිත්ගන්නාසුලු [සොයා ගැනීමක්] බව වාර්තා චිත්‍රපටයේ පෙනී සිටින ඉතිහාසඥ සහ පොට්ස්ඩෑම් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඇලෙක්ස් කේ පැවසීය.
“එය ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන බොහෝ දේ අපට කියනවා. හරියට ම කියනවා නම් ඔහුට පෞද්ගලික ජීවිතයක් තිබුණේ නෑ කියන එක,” ඔහු පැහැදිලි කරයි.
“සම්පූර්ණයෙන් ම වගේ පෞද්ගලික ජීවිතය නොසලකා හරිමින්” හිට්ලර් දේශපාලනයට මෙතරම් කැපවී සිටියේ මන්දැයි, ඉතිහාසඥයින් බොහෝ කලක සිට කල්පනා කර ඇති අතර, මෙය එය පැහැදිලි කිරීමට උපකාරී විය හැකි ය.
විශේෂඥයින් පවසන්නේ මෙවැනි සොයාගැනීම්, ඒවා ආකර්ෂණීය හා ප්‍රයෝජනවත් කරන බව ය. මහාචාර්ය කිං මෙසේ පවසයි: “ඉතිහාසය සහ ජාන විද්‍යාවේ එකතුව.”

සොයාගැනීම් වඩාත් සංකීර්ණ හා මතභේදාත්මක වන අතර, එයින් ඇඟවෙන්නේ, හිට්ලර්ට ස්නායු ආබාධ හෝ මානසික සෞඛ්‍ය තත්ත්වයන් එකක් හෝ කිහිපයක් තිබෙන්නට ඇති බව ය.
හිට්ලර්ගේ සම්පූර්ණ DNA අධ්‍යයනය කිරීමෙන් සහ, ජානමය අවදානම්, ලකුණු සමග සංසන්දනය කිරීමෙන් පර්යේෂකයන් සොයා ගත්තේ ඔහු ඔටිසම්, ADHD, භින්නෝන්මාදය සහ බයිපෝලා අක්‍රමිකතාවන්ට ගොදුරුව සිටීමට වැඩි ඉඩක් තිබූ බව ය.
විද්‍යාව සංකීර්ණ වන්නේ මෙතැනදී ය.
බහුජාන ලකුණු ලබා දීම [PSG] මගින් පුද්ගලයෙකුට යම් රෝගයක් වැළඳීමේ සම්භාවිතාව තක්සේරු කිරීම සඳහා ඔහුගේ DNA පරීක්ෂා කරයි. මෙමගින් හෘද රෝග හෝ සුලභ පිළිකා වැනි තත්ත්වයන් වර්ධනය වීමට වැඩි ඉඩක් තිබේ ද? යන්න හඳුනා ගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, එය ඔවුන්ගේ DNA විශාල ජනගහනයකට සංසන්දනය කරන බැවින්, පුද්ගලයෙකුගේ අවදානම පුරෝකථනය කිරීම සඳහා ප්‍රතිඵලවල නිරවද්‍යතාව අඩු විය හැකි ය.
වාර්තා චිත්‍රපටය පුරා ම බීබීසීය දුටු ආකාරයට විශේෂඥයින් අවධාරණය කරන්නේ, DNA විශ්ලේෂණයෙන්වලින් රෝග විනිශ්චයක් නොව නැඹුරුතාවක් පෙන්නුම් කරන බව ය. මෙයින් අදහස් කරන්නේ හිට්ලර්ට මෙම තත්ත්වයන් කිසිවක් තිබූ බවක් එයින් නොපෙන්වන බව ය.
නමුත් සමහර ජාන විද්‍යාඥයින් මෙම සොයාගැනීම් අනවශ්‍ය ලෙස සරල කර ඇති බවට කණස්සල්ල පළ කර තිබේ.
ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි අධිකරණ ජාන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙනිස් සින්ඩර්කොම්බ් කෝට් සිතන්නේ, ඔවුන් “ඔවුන්ගේ උපකල්පනවල ඕනෑවට වඩා දුර ගොස් ඇති,” බව ය.
“චරිතය හෝ හැසිරීම කියන ඒවා සම්බන්ධයෙන්, මම හිතන්නේ ඒක හරි ම නිෂ්ඵල යි,” 2018 දී එම රුධිර සාම්පලය ම පරීක්ෂා කළ මහාචාර්ය කෝට් බීබීසීයට පැවසීය.
එය “සීමිත ප්‍රකාශනයක්” නිසා ප්‍රතිඵලවලින් යමෙකුට නිශ්චිත රෝගයක් තිබේ ද? යන්න අනාවැකි කීමට තමා කැමති නැති බව ඇය පැවසුවා ය.
තවත් ජාන විද්‍යාඥවරියක වන ආචාර්ය සන්ධ්‍යා රාමන් එය සරලව මෙසේ පවසයි: “ජානයක් ඔබේ DNA තුළ ඇති පමණින් එය ඔබ තුළ තියෙන්න පුළුවන් කියලා අදහස් වෙන්නේ නෑ.”
මෙය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඔටිසම් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය සයිමන් බැරන්-කොහොන්ගේ වාර්තා චිත්‍රපටයෙන් පිළිබිඹු වේ: “ජීව විද්‍යාවේ සිට හැසිරීම්වලට යාම විශාල පිම්මක්,” යැයි ඔහු පවසයි.
“මේ වගේ ජානමය ප්‍රතිඵල බලන එකෙන් අපකීර්තියට පත්වීමේ අවදානමක් තියෙනවා. මිනිස්සු හිතන්නේ, ‘මගේ රෝග විනිශ්චය ඒ වගේ බිහිසුණු දේවල් කළ කෙනෙක් එක්ක සම්බන්ධ යි ද?’ කියලා.”
තවත් බොහෝ සාධක සලකා බැලිය යුතු බැවින්, ජානමය තත්ත්ව සඳහා පමණක් අවධානය යොමු කිරීම අවදානම්සහගත බව ඔහු පවසයි.

එක්සත් රාජධානියේ ජාතික ඔටිසම් සංගමය ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අතර, මෙම සොයාගැනීම් “අවධානය ලබා ගැනීමට කළ බාල වැඩක්” ලෙස හඳුන්වයි.
පර්යේෂණ සහකාර අධ්‍යක්ෂ ටීම් නිකලස් දැඩි ප්‍රකාශයක් කරමින් පැවසුවේ, “පරණ රෙදි කඩමාල්ලක විද්‍යාවට වඩා නරක විදිහට, අපි [වාර්තා චිත්‍රපටයේ] ඔටිසම් රෝගීන්ගේ හැඟීම් නොසැලකිලිමත් ලෙස නොසලකා හැරීම ගැන කම්පනයට පත් වෙලා ඉන්නවා,” යනුවෙන් ය.
“ඔටිසම් සහිත පුද්ගලයන්ට මීට වඩා දෙයක් ලැබිය යුතු යි.”
බීබීසී ආයතනය මෙම ගැටලු පිළිබඳව චැනල් 4 සහ වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ නිෂ්පාදන සමාගම වන බ්ලින්ක් ෆිල්ම්ස් වෙත යොමු කළේ ය.
එක් ප්‍රකාශයක ඔවුන් පෙන්වා දෙන්නේ, මහාචාර්ය බැරන්-කොහොන් වැනි විශේෂඥයන්, “පුද්ගලයෙකුගේ හැසිරීමට ජාන විද්‍යාව පමණක් නොව, ඉතා වැදගත් ලෙස ඔවුන්ගේ පරිසරය; ළමා කාලය සහ ජීවන අත්දැකීම්, හැදී වැඩුණු ආකාරය, අධ්‍යාපනය සහ සම්පත් වෙත තිබූ ප්‍රවේශය සහ අවට සංස්කෘතික බලපෑම් වැනි බොහෝ සාධක මගින් හැඩගැසී ඇති බව,” පෙන්වා දී ඇති බව ය.
“වැඩසටහන මගින් පෙන්නුම් කරන්නේ ජාන විද්‍යාවට හිට්ලර් පිළිබඳ තොරතුරු සපයන්න පුළුවන් කියන එක. නමුත් ඔහුගේ හැසිරීම ඔහුගේ ජීව විද්‍යාව අනුව තීරණය වූ බව ඉන් අදහස් වෙන්නේ නෑ.”

වාර්තා චිත්‍රපටියේ නම ද දැඩි අවදානයක් යොමු වන එකක් වන අතර, Blueprint of a Dictator [ඒකාධිපතියෙකුගේ සැලැස්මක පිටපතක්] යන එහි දෙවන කොටස ද එවැනි එකකි. මහාචාර්ය කිං පැවසුවේ, එය ඇය තෝරා ගන්නා නමක් නොවූ බව ය. වැඩසටහනේ පෙනී සිටින ඉතිහාස මහාචාර්ය තෝමස් වෙබර් බීබීසීයට පැවසුවේ, “ඒකාධිපති ජානයක් නොමැති” බව ඔවුන් අවධාරණය කර ඇති බැවින් මෙම සිරස්තලයෙන් තමා පුදුමයට පත් වූ බව ය.
බීබීසීයට කතා කිරීමට පෙර වාර්තා චිත්‍රපටය නරඹා නොතිබූ මහාචාර්යවරයා පැවසුවේ, DNA විශ්ලේෂණය උද්වේගකර මෙන් ම කණස්සල්ලට පත් කරන බව තමාට පෙනී ගිය බව ය.
“හිට්ලර් ගැන මම දැනටමත් සැක කළ බොහෝ දේ එයින් තහවුරු වූ නිසා එක සිත් ඇදගන්නාසුලු යි… නමුත් මිනිස්සු ‘නරක ජානය’ සොයා ගැනීමට උත්සාහ කිරීම වැනි ජාන විද්‍යාව ගැන ඕනෑවට වඩා කියවයි ද යන්න ගැන මට කණස්සල්ලක් තිබුණා.”
විශේෂයෙන් ම, වැඩසටහනේ සඳහන් ඔටිසම් සහ අනෙකුත් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් එය කෙලෙස භාර ගනීවි ද යන්න ගැන ඔහු කණස්සල්ලට පත්ව සිටියේ ය.
ඔබ සාමාන්‍ය ජනතාව සඳහා සංකීර්ණ විද්‍යාව පිළිබඳ නිවැරදි වැඩසටහනක් කිරීමට උත්සහ කරන විට බොහෝ දුෂ්කරතා සහ අන්තරායන් ඇති විය හැකි ය.
“ඒක රූපවාහිනිය – ඉඳලා හිටලා සරල කිරීම් කරනවා,” විද්‍යාඥවරියක ලෙස තම වගකීම් මාධ්‍යයේ යථාර්ථය සමග සමබර කර ගනිමින් වැඩ කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් රාශියක් ඇති මහාචාර්ය කිං පැවසීය.
“ඔවුන්ට [වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින්ට] වෙනස් උපක්‍රමයක් අරගෙන අවධානය ගන්න තිබුණා. නමුත් ඔවුන් එහෙම කළේ නෑ. ඔවුන් යම් යම් සූක්ෂ්ම දේ අල්ලා ගැනීමට උත්සහ කරලා තියෙනවා… අපි ආරක්ෂක සීමා දාලා තියෙනවා.”
චැනල් 4 සිය වැඩසටහනේ නම “DNA වාචිකව හැඳින්වෙන්නේ ‘ජීවිතයේ බ්ලූප්‍රින්ට්’ ලෙසින් බව පවසමින් ආරක්‍ෂිත ප්‍රතිචාරයක් දැක්වූයේ ය. මීට අමතරව, එහි කාර්ය වන්නේ, “පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වන වැඩසටහන් නිර්මාණය කිරීම වන අතර, මෙම වැඩසටහන මගින් සංකීර්ණ විද්‍යාත්මක අදහස් සහ ඓතිහාසික පර්යේෂණ සියලු නරඹන්නන්ට ප්‍රවේශ විය හැකි කිරීම” අරමුණු කරගත් බව ද පවසයි.

ව්‍යාපෘතියේ සදාචාරත්මක බව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් තිබේ.
හිට්ලර්ගේ අවසරය හෝ ඔහුගෙන් ඍජුව පැවත එන්නෙකුගේ අවසරය ලබා දිය නොහැකි අවස්ථාවක ඔහුගේ DNA පරීක්ෂා කළ හැකි ද?
ඉතිහාසයේ දරුණුතම ම්ලේච්ඡ ක්‍රියාවකට ඔහු වගකිව යුතු බවට එය සම්බන්ධ වන්නේ කෙසේ ද? එය ඔහුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය නැති කරයි ද?
“මේ හිට්ලර්. එයා කාටවත් DNA පර්යේෂණ කරන්න බැරි ගුප්ත චරිතයක් නෙවෙයි. කවුද ඒ තීරණය ගන්නේ?” මහාචාර්ය කිං තර්ක කරයි.
ඉතිහාසඥ සුභද්‍රා දාස් එයට එකඟ වේ: ‘විද්‍යාඥයෝ කරන්නේ මේවා තමයි. ගොඩක් කාලෙකට කලින් මිය ගිහින් DNA ලබා ගත්ත අය ගොඩක් ඉන්නවා. ඒක විද්‍යාවේ සහ පුරා විද්‍යාවේ සාමාන්‍යයෙන් කරන දෙයක්. ප්‍රශ්න සහගත වෙන්න පටන් ගන්නේ අපි ඒක කියවා ගන්නා ආකාරය අනුව.”
ඉතිහාසඥ ආචාර්ය කේ පැවසුවේ, “ඇත්ත පවතින තාක් සහ අපි සෑම දෙයක් ම දෙවරක් පරීක්ෂා කිරීමට වග බලා ගත් තාක් කල්” සදාචාරාත්මක කෝණය ගැන සැලකිලිමත් නොවන බව ය.
හිට්ලර්ගේ DNAවලට අත තැබිය යුතු ද? යන්න පිළිබඳව ඇය මෙලෙස පැවසුවා ය: “හිට්ලර් මිය ගිහින් අවුරුදු 80ක්. ඔහුගේ පරම්පරාවෙන් සෘජුව පැවතගෙන එන කෙනෙක් නෑ සහ ඔහුට දරුවෙක් හිටියේ නෑ. කියාගන්න බැරි තරම් දුක් වේදනාවලට ඔහු වගකිව යුතු යි. ඔහුගේ DNA විශ්ලේෂණය කිරීමේ සදාචාරාත්මක උභතෝකෝටිකයට එරෙහිව අපි එක සලකා බලන්න ඕනේ.”
සිත්ගන්නාසුලු කරුණ නම්, යුරෝපයේ විද්‍යාගාර කිහිපයක් ම ව්‍යාපෘතියේ කොටසක් වීම ප්‍රතික්ෂේප කළ අතර, පරීක්ෂණය සිදු කළේ, එක්සත් ජනපදයේ [විද්‍යාගාර] පහසුකමකිනි.

එසේ නම්, මේ පර්යේෂණය කිසිසේත් ම සිදු කළ යුතුව තිබුණා ද? බීබීසී පුවත් සේවය ජාන විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් රැසකට කතා කළ අතර, පිළිතුර රඳා පවතින්නේ ඔබ මතය විමසන පුද්ගලයා මත ය.
වාර්තා චිත්‍රපටයේ සිටින අය, ස්වාභාවිකව ම, ඔව් යැයි පවසති. එය, මිනිසුන් එක හා සමානව සිත් ඇදගන්නා සහ බිය ගන්වන අයෙකු ලෙස හිට්ලර්ගේ සම්පූර්ණ චිත්‍රයක් නිර්මාණය කිරීමට උපකාරී වේ.
“කලින් පැවති අන්තවාදය තේරුම් ගැනීමට අපට හැකි සෑම දෙයක් ම කළ යුතු යි,” මහාචාර්ය වෙබර් විශ්වාස කරයි.
“අපි අවංක වෙමු,” ආචාර්ය කේ පවසයි. “මේ මාතෘකා දැනටමත් තිබුණු දේවල්… අපි මේ අදහස හදිස්සියේ ම මිනිසුන්ගේ සිත් තුළ රෝපණය කළේ නැහැ. දශක ගණනාවක් තිස්සේ හිට්ලර්ට යම් යම් ආබාධ තිබුණා කියා ජනතාව අනුමාන කරනවා.”
නමුත් එයට සියලු ඉතිහාසඥයන් එකඟ වන්නේ නැත.
උට්‍රෙක්ට් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ඉතිහාසය පිළිබඳ සහකාර මහාචාර්ය ඊවා වියුකුසෙක් පවසන්නේ, “හිට්ලර්ගේ ක්‍රියාවන්ට හේතු වූ දේ පැහැදිලි කිරීමට උත්සහ කිරීමට මේක ඉතා සැක සහිත ක්‍රමයක් කියලා මම හිතන්නේ,” යනුවෙන් ය.
සමූහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයනයන් කෙරෙහි අවධානය යොමු කරන අචාර්ය වියුකුසෙක් බීබීසීයට පැවසුවේ, මිනිසුන් උනන්දු වන්නේ ඇයි දැයි ඇයට තේරුම් ගත හැකි නමුත් “අපි සොයන්නේ කුමන පිළිතුරු වුවත් DNA පරීක්ෂණයකින් එය සොයාගත නොහැකි,” බව ය.
එමෙන් ම, පර්යේෂණය සිත්ගන්නාසුලු වුව ද, එය ඉතිහාසයේ සැබෑ පාඩම් වසන් කිරීමේ අවදානමක් ඇති බව ඉතිහාසඥ ඈන් වැන් මොරික් පවසයි.
එම පාඩම නම් “යම් යම් තත්ත්වයන් තුළ සිටින සාමාන්‍ය මිනිසුන්ට, බිහිසුණු ප්‍රචණ්ඩත්වය සිදු කිරීමට, ආරම්භ කිරීමට හෝ පිළිගන්න වෙන්න පුළුවන්,” යන්න ය.
හිට්ලර්ගේ (විය හැකියාවක් ඇති) කුඩා ලිංගේන්ද්‍රිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, සමූහ ප්‍රචණ්ඩත්වය සහ ජන සංහාර සිදුවන්නේ කෙසේ ද යන්න හෝ ඒවා සිදුවන්නේ ඇයි ද යන්න පිළිබඳව අපට කිසිවක් උගන්වන්නේ නැති බව ඇය පවසයි.

අධ්‍යයනය අවසන් කර අනෙකුත් විශේෂඥයින් විසින් සමාලෝචනය කළ පසු, සියලු සොයාගැනීම් අවසානයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ඒවා “අතිශයින් ම ප්‍රවේශමෙන් සහ සන්සුන්ව” භාවිත කළ යුතු බව මහාචාර්ය වෙබර් පවසන නමුත් ඒවා යම් ආකාරයකින් උපකාරී වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.
පර්යේෂණ ප්‍රතිඵලවල හොඳ දේ තමයි ඒක. එය වසර පහක්, 150, 500ක් ඇතුළත සිදු වෙන්න පුළුවන්. මෙම පර්යේෂණය අනාගත පරම්පරාව සඳහා වෙන එකක් සහ අනාගතයේදී බුද්ධිමත් පුද්ගලයින් ඒවා භාවිතා කරයි කියලා මට විශ්වාස යි.”
නමුත් මෙම ප්‍රතිඵල භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් අප සැමට වගකීමක් තිබේ.
සෑම කෙනෙකු ම “විද්‍යාව අනුගමනය කළ යුතු” බවත් අප දන්නා දේ සහ නොදන්නා දේ පැහැදිලි කළ යුතු බවත් ආචාර්ය කේ පවසයි.
එයට මාධ්‍ය සහ එය වාර්තා කරන ආකාරය ඇතුළත් වේ.
“මෙම වාර්තා චිත්‍රපටය නරඹන ඕනෑ ම අයෙකුට වගකීමක් තිබෙනවා, ඒ, ඒ ගැන නිවැරදිව ලිවීමට, ඔවුන් අපකීර්තියට දායක නොවන බවට වග බලා ගැනීමට.”
“මේ වගේ වාර්තා චිත්‍රපටයක් රික්තයක් තුළ පවතින්නේ නැහැ.”