සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 25, (LNW) කොළඹ :
කාන්තා ක්‍රිකට් ක්‍රීඩා සමාජ පන්දු වාර 50 තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වූ අවසානය කරා රැඟෙන යන්නට තරුණ ක්‍රීඩිකාවන් පොකුරක් සමඟ කවීශා දිල්හාරි ට හැකි වෙනවා.වඩා ජ්‍යෙෂ්ඨ අත්දැකීම් ඇති යුද හමුදා කණ්ඩායම අවසාන තරගයේදී ලකුණු 90 න් පරාජයට පත් කරමින්,චිලව් මේරියන්ස් කණ්ඩායම සූරතාවය කරා මෙහෙයවන කවීශා,මෙම තරගාවලියේ තරගයෙන් තරගයට,තරගයේ හැඩයට අනුගත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වුණා.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ඇය පහසු තරගයකදී පන්දු යැවීමෙන් පවා වැළකී,අලුත් ක්‍රීඩිකාවන්ට සිය අත්දැකීම් වර්ධනය කර ගන්න සහය වන ආකාරය දැක ගන්න ලැබුණා.අවසාන තරගයේදී මේ තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටි නිලක්ෂිකා ද සිල්වා ද,අනුෂ්කා සංජීවනී,සුගන්ධිකා කුමාරි,අචිනි කුලසූරිය වැනි ජාතික කණ්ඩායමේ කැපී පෙණෙන චරිත ද නියෝජනය කරන යුද හමුදාව සමඟ සටනට සීරුවෙන් මුහුණ දෙන්නට කවීශා කල්පනාකාරී වුණා.
පළමුව පිතිකරණයේ යෙදුණ මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නී සහ යුද හමුදා කණ්ඩායමේ නායිකාව අචිනි කුලසූරියගෙන් දැවන්ත පීඩනයක් එල්ල වුණා.ඇය ලකුණු 37 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.මේ තරගාවලියේ චිලව් මේරියන්ස් කණ්ඩායමේ විශ්වසනීයම පිතිකාරිණිය වූ ඉමේෂා දුලානි එම පීඩනය දරා ගනිමින් පහර දෙද්දී ඊට හොඳම සහය දෙමින් අවශ්‍යයම මොහොතේ කණ්ඩායම වෙනුවෙන් ඉහළම දායකත්වය දුන් කවීශා ලකුණු 80 ක් ලබා ගනිමින් ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ද සහිතව නායකත්වයේ වගකීම රැදුණු ඉණිමක් ක්‍රීඩා කරන්නට සමත් වුණා.හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් ද සහිත වූ ඒ ඉණිම මෙන්ම ඇය විශ්වාසවන්තිය වූ ඉමේෂා රැස් කර ලකුණු 71 ට සහය වෙමින්,තෙවන කඩුල්ලට ලකුණු 120 ක සබඳතාවයක් ඇති කරනු ලැබුවා.
ඒ තත්ත්වය මත ලකුණු 205 ක ලකුණු පූවරුවක් සමඟ ප්‍රතිවාදීන්ට අභියෝග කළ මේරියන්ස් කණ්ඩායමට එම ලකුණු ප්‍රමාණය පිතිකරු නාමලේඛණය ගත් විට අපහසු ඉලක්කයක් ලෙස දකින්නට නොහැකි වුණා.එහෙත් අනුෂ්කා සංජීවනී (35) සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලක්ශිකා ද සිල්වා ලබා ගත් ලකුණු 35 හැරෙන්නට ඉලක්කම් දෙකක ලකුණු ගණනක් සටහන් කර ගන්නට ලැබුණේ ඉමල්කා මෙණ්ඩිස් (19) ට පමණයි.
සෙසු යුද හමුදා පිතිකාරිණියන් සියල්ලටම දැඩ පීඩනයක් ඇති කළ චිලව් මේරියන්ස් පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත්තේ සඳුනි නිසංසලා යි.ඇය ලකුණු 7 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.එසේම සුලේෂා සත්සරණි ද ලකුණු 30 කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා. දඟ පන්දු යවන සඳුනි වෙනුවෙන් පමණක් නොව මද වේග පන්දු යවන සුලේෂා වෙනුවෙන් ද නිර්භීත කඩුලු රැකීමක යෙදුණු සුමුදු නිසංසලාත් මේ ජයග්‍රහණයේ අමතක කළ නොහැකි කොටස්කාරියක වුණා.
ඇය ස්ටම්ප් කිරීම් හතරකින් කඩුල්ල පිටුපස දායකත්වය ලබා දුන්නා.විශේෂයෙන් ඇය ඉලක්කම් දෙකේ ලකුණු අතරට පැමිණි අනුෂ්කා,නිලක්ෂිකා සහ ඉමල්කා යන තිදෙනාම ස්ටම්ප් කිරීම්වලට ගොඳුරු කර ගැනීම කැපී පෙණුනා.
සමස්ත තරගාවලිය අගයමින් තිළිණ පිරිනමන මොහොතේ දක්ෂතම පිතිකාරිණිය මෙන්ම පන්දු යවන්නිය ද නාවික හමුදා කණ්ඩායමේ නියෝජනයන් වෙත හිමි වුණා.හර්ෂිතා සමරවික්‍රම පිතිකාරිනිය ලෙසත්,රශ්මි සිල්වා පන්දු යවන්නිය ලෙසත් ඇගයීම් ලැබුවා.අවසාන තරගයේ වීරවරිය ලෙස තුන් ඉරියව්වෙන්ම සහ නායකත්වයෙන්ද කැපී පෙණෙන දස්කම් පෙන් වූ කවීශා දිල්හාරි නම් කෙරුණා.