රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ ජාතික මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බඳවා ගනු ලැබූ නව රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු වෙත ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2018 වර්ෂයේදී ක්ෂේත්‍ර සහායක සහ මුරකරු තනතුරු කිහිපයක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමෙන් අනතුරුව වසර අටකට අධික කාලයක් මෙම දෙපාර්තමේන්තුව සඳහා නව බඳවා ගැනීම් සිදු කර නොතිබුණි.
ඒ අනුව, 2018 වර්ෂයෙන් පසු සිදු කෙරෙන මෙම නව බඳවා ගැනීම් තුළින් දීර්ඝ කාලයක් පැවති නිලධාරී පුරප්පාඩු පිරවීම මෙන්ම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ ජාතික මෙහෙවර වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් ශක්තිය තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මෙහිදී නව රාජ්‍ය නිලධාරීන් 31 දෙනෙකු වෙත ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු අතර, එම බඳවා ගැනීම් සීමිත පදනම සහ විවෘත පදනම යටතේ සිදු කර තිබේ.
ඒ අනුව, දෙපාර්තමේන්තුවේ දැනටමත් සේවයේ නියුතුව සිටි නිලධාරීන් අතරින් සීමිත පදනම යටතේ නිලධාරීන් 20 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර ඇත.
තවද, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ කාර්යසාධනය හා ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම ප්‍රගතිය අත්පත් කර ගැනීම සඳහා මඟපෙන්වීම සහ සහයෝගය ලබාදුන් පාර්ශ්වයන් ඇගයීමට ලක් කරමින් විශේෂ ගෞරවනීය ප්‍රණාම පිරිනැමීම ද සිදු කෙරිණි.

