රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කළ යුතු බවත්, ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගයේ රජය එම වගකීම ඉටු කරමින් සිටින බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මගින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිලාභ පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් සුමින්ද සිංගප්පුලි මහතා, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමිය, පාදුක්ක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 92ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම ප්‍රතිපාදන යටතේ තේ වගාව, ගෙවතු වගාව, ඇඟලුම් නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, මීමැසි පාලනය, සත්ත්ව පාලනය, විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය, බිම්මල් වගාව සහ කෘෂි නිෂ්පාදන ඇතුළු ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් 110ක් ක්‍රියාත්මක කර ඇත.

උත්සව සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දිළිඳුකම අවම කිරීම පමණක් නොව, මෙරටින් දිළිඳුකම මුළුමනින්ම තුරන් කිරීම වත්මන් රජයේ ඉලක්කය බවයි.

ඒ සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ සිට පහළට සැලසුම් සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට, පහළ සිට ඉහළට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන නව සංවර්ධන ආකෘතියක් හඳුන්වා දී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එකිනෙකා හුදකලාව කටයුතු කිරීම වෙනුවට, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා හරහා කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන්ගේම ගම සංවර්ධනය කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

තවද, මෙම සියලු ප්‍රතිපාදන මහජනතාවගේ බදු මුදල් බැවින්, ඒවා අදාළ ව්‍යාපෘති සඳහා නිසි පරිදි භාවිත කරන්නේද යන්න අධීක්ෂණය හා විමර්ශනය කිරීම ජනතාව සතු වගකීමක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ ලබාදෙන උපකරණ සහ පහසුකම් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා නිසි පරිදි භාවිත කළ යුතු බවත්, එසේ භාවිත නොකරන්නේ නම් ඒවා නැවත පවරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

එමෙන්ම, වත්මන් රජය යටතේ 2025–2027 වසර තුනක කාලය තුළ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 64ත් 80ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංවර්ධන නිලධාරීන් සඳහා 2013 වසරේ සිට පැවති රුපියල් 300ක සහ රුපියල් 750ක දීමනා සියයට 100කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා, පිළිවෙළින් රුපියල් 1,000ක් සහ රුපියල් 2,000ක් දක්වා වැඩි කිරීමට 2027 අයවැය මගින් කටයුතු කර ඇති බව ද ඒ මහතා පැවසීය. ඊට අමතරව, සංවර්ධන නිලධාරීන් සඳහා සන්නිවේදන දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...

BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...

හිටපු ඇමති වාසුදේව අල්ලස් කොමිසම හමුවට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද...

2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි – මුදල් ලේකම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන...