Wednesday, November 30, 2022
spot_img

Latest Posts

ලිංගික දිශානතිය මත පදනම් වූ අනවශ්‍ය “මනෝවෛද්‍ය ඇගයීම්” නවතා දමනු!

ලිංගික දිශානතිය (Sexual Orientation) පදනම් කරගත් “මනෝවෛද්‍ය ඇගයීම්වලට” අදාළව මෑත දින ශ්‍රී ලංකා මාධ්‍ය විසින් වාර්තාකර තිබූ සිදුවීම් දෙකක් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ කුයර (LGBTIQ) පුද්ගලයන් සහ ඔවුන්ගේ සහෘදයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. මෙම සිදුවීම්වලදී ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව, සමරිසි සබඳතා “මනෝවෛද්‍ය ඇගයීම්වලට” භාජනය විය යුතු බවට පවතින මිත්‍යාව තවමත් ඇතැම් පොලිස් නිලධාරීන් සහ අධිකරණය විසින් විශ්වාස කරන බවට පසක් වේ. ජාත්‍යන්තරව හඳුනාගෙන තිබෙන සම්මතයන් පවා උල්ලංඝනය කරමින් මෙවන් වෙනස්කොට සැලකීම් සිදුකරන ක්‍රියාවලීන්ට ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ අධිකරණයේ සාමාජිකයන් යොමුව තිබීම කණගාටුවට කරුණකි.

පළමු සිදුවීම, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රදේශයේ ජීවත් වූ තම පෙම්වතිය හමුවීමට මෙම වසරේ ජූනි මස ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු කාන්තාවකට අදාළ වේ. ඇගේ පෙම්වතියගේ පියා විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත, එම දෙපළ සමරිසි සබඳතාවයක සිටීම මත අත්අඩංගුවට පත්ව ඉන් අනතුරුව අක්කරේපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙම කාන්තාවන් දෙදෙනා  මනෝවෛද්‍ය ඇගයීමකට” යොමුකරන ලෙස අධිකරණය නියමකර ඇත. මාධ්‍ය වාර්තා අනුව, එකී “ඇගයීමෙන්” අනතුරුව එම අධිකරණයේම පැවති නඩුකරයක දී මෙම කාන්තාවන් දෙදෙනා ම නිදහස් කර ඇති අතර, ඉන්දියානු කාන්තාවට යළි ඉන්දියාවට පිටත්ව යන ලෙසත්, ශ්‍රී ලාංකික කාන්තාව ඇගේ පවුල සහ ඈ ජීවත් ව සිටි ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් ආරක්ෂාවන පරිදි ආරක්ෂිත නිවාසයකට යොමුකරන ලෙසත් අධිකරණය විසින් නියෝග කර ඇත. ඉන් අනතුරුව පළවූ මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබුණේ, “මනෝවෛද්‍ය ඇගයීමකට” යොමුකරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණේ, තමා එකිනෙකාගෙන් වෙන්කරන්නේ නම් සියදිවි හානි කරගන්නා බවට එම කාන්තාවන් දෙදෙනා ම තර්ජනය කර තිබූ නිසා පමණක් බව ය. එහෙත්, භාවිතය අනුව, මනෝවෛද්‍ය ඇගයීම් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරුන් විසින් පුරුද්දක් ලෙස නියෝග නිකුත් කිරීම සිදුකෙරෙනුයේ සමරිසි ලිංගික සබඳතා පවත්වන බවට චෝදනා ලද පුද්ගලයන්ට අදාළ නඩු කටයුතුවලදී ය.  

වාර්තා වූ තවත් සිදුවීමකට අනුව, සමරිසි කාන්තාවක තම පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තබා ආගමික ස්ථානවල පූජකයන් වෙත රැගෙන ගොස්, ‘සමලිංගිකත්වය’ පාපයක් බවට ඈ ලවා බලහත්කාරයෙන් නැවත නැවත කියවීමට කටයුතු කර ඇත. එමෙන්ම, “ඈට මානසික රෝගයක් තිබෙන” බව පවසා උපදේශන සැසිවලට සහභාගී වීමට බලකර ඇති ඇගේ පවුලේ සාමාජිකයන්, එසේ නොකළහොත් ඈ පුනරුත්ථාපනය සඳහා යොමුකරවන බවට තර්ජනය කර ඇත. මෙසේ බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තැබීම පිළිබඳව ඇගේ මිතුරකු විසින් පොලීසියට පැමිණිලි කළ විට, එම මිතුරා සහ වින්දිත කාන්තාව යන දෙදෙනාට ම පොලීසිය විසින් තර්ජනය කර ඇත. සමරිසි කාන්තාවගේ පවුලේ සාමාජිකයන් විසින් කළ ඉල්ලීමකින් අනතුරුව, තමාට “මානසික රෝගයක්” ඇති බව තහවුරු කරන “මනෝවෛද්‍ය ඇගයීමකට” යොමුවන ලෙස ඈට බලකර ඇති පොලීසිය, ඇගේ සමරිසි සබඳතාවයට අදාළ සාක්ෂි සොයාගැනීමට ඇගේ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට දෙන ලෙස බලකර ඇත. ඈට මානසික රෝගයක් තිබෙන බව තහවුරු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) ලවා “මනෝවෛද්‍ය ඇගයීමක්” ලබා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන් විසින් නඩුවක් ගොනුකර ඇති අතර, ‘අතුරු’ මහේස්ත්‍රාත්වරයකු විසින් එවන් නියෝගයක් ද නිකුත් කර ඇත. ඈ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් මෙම නියෝගය අභියෝගයට ලක්කරමින් මහාධිකරණයේ කරුණු දක්වා සිටි අතර, මේ පිළිබඳව දැනුවත් වූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ කාන්තාවට මානසික රෝගයක් ඇති බවට කිසිඳු සාක්ෂියක් හමුවී නොමැති බව පවසා නඩුව නිශ්ප්‍රභා කර ඇත.

1883 ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ, පිළිවෙලින් “ස්වභාවධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” සහ “තදබල අශෝබන ක්‍රියා” සාපරාධීකරණය කර ඇත. මෙම වගන්ති දෙකම භාවිතා කරමින් සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට කටයුතු යොදා ඇති මුත්, එකී වගන්තිවල අඩංගු පදවල අර්ථයන් පැහැදිලි කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ නිර්වචනයක් ලබා දී නොමැත. මෙම ‘අපරාධයට’ වරදකරුවන පුද්ගලයන් වසර දහයක් දක්වා සිරගත කිරීමට හැකියාව ඇත. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය හරහා, සියලු පුද්ගලයන්ට නීතිය ඉදිරියේ සමානාත්මතාවය සඳහා ඇති අයිතිය සහ නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය තහවුරු කර ඇත. එමඟින් වාර්ගිකත්වය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂභාවය, දේශපාලනික මතය සහ උපන් ස්ථානය මත පදනම් වූ වෙනස්කොට සැලකීම තහනම්කරන මුත්, ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය හෝ සමාජභාවී ප්‍රකාශනය (Sexual Orientation, Gender Identity or Gender Expression: SOGIE) මත සිදුවන වෙනස්කොට සැලකීම තහනම්කර නැත. 12 වන වගන්තිය ඔස්සේ SOGIE මත පදනම් වූ වෙනස්කොට සැලකීම තහනම්කර ඇති බවට අතීතයේ ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන් බැඳි විවිධ සමුළුවල ප්‍රකාශ ලබා දී ඇති මුත්, ඉහත සඳහන්කළ පරිදි, නීතියේ දක්වා ඇති පැහැදිලි විධිවිධාන සහ නීතිය ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රකාශයට පටහැනි බවක් නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඊක්වල් ග්‍රවුන්ඩ් (EQUAL GROUND) ආයතනයේ රොසෑනා ෆ්ලේමර්-කල්දේරා විසින් ගොනුකළ පැමිණිල්ලකට අදාළව, කාන්තාවන්ට එරෙහි සියලු අන්දමේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ප්‍රඥප්තියේ (CEDAW) කමිටුව විසින් 2022 මාර්තු මස ලබා දුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කෙරුනේ, කාන්තාවන් අතර තිබෙන සමරිසි සබඳතා සාපරාධීකරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. සමරිසි සබඳතා සාපරාධීකරණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන, එම ප්‍රඥප්තිය විසින් ලබා දී ඇති වෙනස්කොට සැලකීම්වලට ලක්නොවී සිටීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට ප්‍රකාශ කළ කමිටුව, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කළ යුතු බවට නිර්දේශ කළේය.   

නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) විසින් ශ්‍රී ලංකාවේ නීතීඥයන්ට මෑත දින පැවැත්වූ වැඩමුළුවකදී, ඊට සහභාගීවූවන් විසින් ඉහත දැක්වූ සිදුවීම් දෙකට සමාන සිදුවීම් රැසකට උදාහරණ ගෙනහැර පෑ අතර, එම සිදුවීම්වලදී සමරිසි සබඳතාවයක් පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින පාර්ශවයන්ට එරෙහිව ගොනුවී ඇති නඩුවල විනිසුරුවරුන් විසින් පළමු පියවරක් ලෙස ස්වයංසිද්ධවම “මනෝවෛද්‍ය” හෝ “ශාරීරික” “ඇගයීම්” සිදුකළ යුතු බවට නියෝග නිකුත්කර ඇති බවට පෙන්වා දී තිබිණි. මෙය සමරිසි කාන්තා, සමරිසි පිරිමි සහ ද්වීරිසි පුද්ගලයන් ඇතුළු සියලු පුද්ගලයන්ට ලබා ගත හැකි මානව හිමිකම්වල ආරක්ෂාවට පටහැනි වැරදිසහගත ක්‍රියාවකි. මෙවැනි නියෝග හරහා එවැනි ඇගයීම්වලට ලක්වන පුද්ගලයන්ට මානසික වශයෙන් සිදුවන්නේ බරපතල හානියකි.

කෙසේවෙතත්, සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවට පවතින මතය මිත්‍යාවක් බවට බැහැර කරමින් 2021 අගෝස්තු මස, ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCP) විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම විශ්වාසය සාක්ෂි-මත පදනම් වූ විද්‍යාවට අනුකූල නොවන බවයි. එමෙන්ම, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අහෝසි කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දක්වා තිබිණි. මෙම නිවේදනය, 2018 දී ඉන්දියානු මනෝවෛද්‍ය සංගමය විසින් නිකුත් කළ නිවේදනය හා සැසඳෙන අතර, එහි දක්වා තිබුණේ, සමරිසි ලිංගිකත්වය, “විෂමරිසිභාවය සහ ද්වීරිසිභාවය මෙන්ම සාමාන්‍ය මානව ලිංගිකත්වයේ ප්‍රභේදයක්” බවත්, ප්‍රතිකාර කිරීමකින් ලිංගික දිශානතිය වෙනස් කළ හැකි බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් හමුවී නැති බවත්, සහ එවන් අරමුණක් මත සිදුකරන ප්‍රතිකාර ඔස්සේ ඊට ලක්වන පුද්ගලයාගේ ආත්ම අභිමානය හීනවීමට සහ අපකීර්තිය ඇතිකිරීමට හේතුවනු ඇති බවත් ය. මෙම ප්‍රකාශය, සමලිංගිකත්වය මානසික ආබාධ ලැයිස්තුවෙන් 1973 වර්ෂයේදී ඉවත් කළ ඇමරිකානු මනෝවෛද්‍ය සංගමයේ (APA) සහ 1992 වර්ෂයේදී ඉවත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර රෝග වර්ගීකරණ නාමාවලියේ (ICD) ස්ථාවරයන් හා සැසඳේ.  

2018 වර්ෂයේදී ඉන්දියාවේ සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත් ඵලදායී තීන්දුවට (Navtej Singh Johar & Ors. v. Union of India) අදාළ නඩුවේ දී, ඉන්දියානු මනෝවෛද්‍ය සංගමයේ නිවේදනය ද ඉදිරිපත් වූ අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබිණි. එම නඩුවේදී, සමරිසි කාන්තාවන් සහ සමරිසි පුරුෂයන්ට තම ලිංගික දිශානතිය පිළිබඳව සුබවාදී හැඟීමෙන් යහපත් මානසික සෞඛ්‍යයක් අත් විඳීමට “පිටතට පැමිණීමට” (coming out) හැකිවිය යුතු බවත්, තම ලිංගික දිශානතිය වෙනත් පුද්ගලයන්ට හෙළිදරව් කිරීමට හැකියාව ලැබීම මත ලබා ගත හැකි සමාජීය සහයෝගය ඉහළ ගොස් ඇති බවත්, සහ එය මානසික සෞඛ්‍යය සඳහා තීරණාත්මක සාධකයක් වන බවත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

“මානසික/මනෝවෛද්‍ය ඇගයීම්” ඇතුළු LGBTIQ පුද්ගලයන් ඉලක්කකළ සම්මුතිගත නොවන නිවැරදි කිරීමේ ප්‍රතිකාර ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන අතර, මෙලෙස උල්ලංඝනය වන අයිතීන් අතර, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICESCR) 12 වන වගන්තියෙන් සහතික කර ඇති සෞඛ්‍යය සඳහා ඇති අයිතිය ඇතුළත් වේ. එමෙන්ම, මෙවන් ක්‍රියා, සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥපත්තියේ (ICCPR) 7 වන වගන්තිය, සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංඝනය කරමින්, වධහිංසා හෝ වෙනත් කෘෘර, අමානුෂික හෝ පහත් සැලකීම් හෝ දඬුවම්වල ආකාරයක් ගත හැකි ය. තව ද, “සෑම අයෙකුටම පුද්ගල නිදහස සහ ආරක්ෂාව සඳහා අයිතියක් ඇත” යනුවෙන් දැක්වෙන ICCPR හි 9 වන වගන්තියට, “සිරුරට හෝ මනසට තුවාල වීමෙන් නිදහස් වී සිටීමට, හෝ ශාරීරික හා මානසික ඒකාග්‍රතාවය සඳහා අයිතියක් තිබීම” ඇතුළත් විය යුතු බවට මානව හිමිකම් කමිටුව විසින් අර්තනිරූපණය කරන ලදී. ශ්‍රී ලංකාව යනු මෙකී ප්‍රඥප්ති දෙකටම අදාළවන රාජ්‍ය පාර්ශවයකි.

ලිංගික දිශානතිය (Sexual Orientation) සහ සමාජභාවී අනන්‍යතාවයට (Gender Identity) අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අදාළවන මූලධර්මයන් සමුදායක් වන යෝගියකාර්ටා මූලධර්මයන් (Yogyakarta Principles) (2007) හි 18 වන මූලධර්මය හරහා නිශ්චිතවම සඳහන් කරන්නේ, ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය යනු වෛද්‍යමය ත්ත්ත්වයන් නොවන බවත්, එහෙයින් ඒවාට ප්‍රතිකාර කිරීමට, ඒවා සුව කිරීමට හෝ යටපත් කිරීමට නොහැකි බවත් ය. ඒ අන්දමින්ම, 32 වන මූලධර්මය (2017 දී YP+10 විසින් හඳුන්වා දෙන ලදී) හරහා, පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය කුමක් වූව ද, ඔවුනට කායික හා මානසික ඒකාග්‍රතාවය, ස්වාධිපත්‍යය සහ ස්වයං-නිර්ණය සඳහා අයිතියක් ඇති බව තහවුරු කරයි.

පුද්ගලයකුගේ ලිංගික දිශානතිය මත “මනෝවෛද්‍ය ඇගයීම්” සිදු කිරීම, එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, හෝ අධිකරණය ඇතුළු වෙනත් අධිකාරියක අභිමතය පරිදි සිදු කිරීම අනවශ්‍ය ය. මෙවන් ඇගයීම්වල අවශ්‍යතාවයක් සඳහා නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය වී නොමැති පසුබිමක, අධිකරණයේදී මෙවන් ඇගයීම් සඳහා නියෝග නිකුත් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම අදාළ විනිසුරුවරයාගේ අභිමතය පරිදි ය. මෙවන් අනවශ්‍ය “මනෝවෛද්‍ය ඇගයීම්,” මානව හිමිකම් උල්ලංඝනය කරන බැවින් සහ ජාත්‍යන්තර නීතියට පටහැනි බැවින් නතරකළ යුතු වේ.

*නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන් විසින් රචිත Stop Unnecessary “Psychiatric Evaluations” based on Sexual Orientation නම් ලිපිය ඇසුරිනි.

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.