කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW:

සෑහෙන කාලයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයක පහස ලබන්නට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සමත්වීම සහ එය වාර්තා කළ ආකාරය බලාපොරොත්තු සහගත තත්ත්වයක තිබීම සතුටුදායකයි.එහෙත් මේ තත්ත්වය අඛණ්ඩව කළමණාකරණය කර ගැනීමේ අභියෝගය ජය ගැනීම පහසු නැහැ.


ක්‍රීඩාවේදී වෘත්තිමය තත්ත්වය ලෙස තමාගේ දක්ෂතාවයන් නඩත්තු කිරිමට ක්‍රීඩාවේ නියැලෙන තත්පරයේදී අනෙකාගේ දක්ෂතාවය යටපත් කිරීමේ හැකියාව ද කළමණාකරනය විය යුතුයි.එම රිද්මය තේරුම් ගැනීම මෙන්ම එම රිද්මය අභිබවා යාමට දක්වන හැකියාව සහ දැණුම විදිහටත් මේ වෘත්තිමයභාවය කියවා ගත හැකියි.
සිම්බාබ්වේ තරගයේ ජයග්‍රහණය සඳහා බෙහෙවින් බල පෑ පැතුම් නිශ්ශංකගේ පන්දු 58 දී නොදැවී ලකුණු 98 ක් ලැබූ ඉණිම පැතුම් විසින් පැතුම්ව නැවත සොයා ගැනීමක් හැටියට හැඳින්වීමට වඩා පැතුම් ප්‍රතිවාදියාව කියවා ගැනීමක් ලෙස වටහා ගත යුතුයි.පැතුම් පකිස්තාන සංචාරය පුරාම සිටියේ අනපේක්ෂිත පසුබෑමක.ඒ ප්‍රතිවාදීන් ඔහුගේ ක්‍රීඩා රටාව අධ්‍යයනය කරමින් අටවන ලද උඟුල් අතරින් පෙරට යාමට නොහැකිව.පැතුම් මෙම ඉණිම තුළ විදහා පෙන් වූයේ ඔහු ඒවා දැක අධ්‍ය්‍යනය කර ඇති බව සහ ඒවා මඟ හැර යා හැකි ඇති ශික්ෂණය උපදවා ගෙන ඇති බවයි.


පන්දු යැවීමේදී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිතිකරුවන්ට අඛණ්ඩව ප්‍රහාරයන් දියත් කරන්නට දුන්නේ නැහැ.විශේෂයෙන් කඩුලු නොමැතිව පන්දු යැවූ මහේෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නෙකු වශයෙන් මෑත කාලයේදී දකින්නට නොතිබුණු දඟ කැවීමක් සමඟ විශ්වසනීය ලෙස පන්දු යවනු ලැබුවා.ආරම්භක පන්දු යැවීමේ වගකීම ඔහු ඉටු කළේ තරගයේ පළමු සහ තෙවන පන්දු ඕවර් දෙක තුළ කඩුලු දෙකක් දවා ගැනීමෙන්.තරගයේ ලකුණු 23 ට කඩුලු 2 ක් වූ මහේෂ් තීක්ෂණගේ පන්දු යැවීමට සමානවම වනිඳු හසරංගත් ලකුණු 23 ට කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුණා.


සිම්බාබ්වේ පිතිකරුවන් අතරින් ලාංකේය පන්දු යැවීමේ පීඩනයට එරෙහිව දවා ගන්නට දුන්නේ කඩුලු 5 ක් පමණක් වුව ද,ලකුණු ලබා ගැනීමට ඉඩ ඇහිරීමෙන් පන්දු ඕවර් 20 නිමාවේ සිම්බාබ්වේ ඉණිම කඩුලු 5 ට ලකුණු 146 කට සීමා වුණා.සිකන්දර් රාසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අභියෝගයට සරිලන විදිහට තමන්ව ස්ථාපනය තර ගනිමින් ලකුණු 37 ක් ලබා ගත් අතර රයන් බුරල් නොදැවී ලකුණු 37 ක් ද බ්‍රයන් බෙනට් ලකුණු 34 ක් ද ලෙස මෙම ලකුණු 146 පොහොසත් කරන්නට දායකත්වය දුන්නා.


පිළිතුරු ඉණිමේ දී ඉකුත් තරගයේදී යොදා ගත් කමිල් මිෂාර සමඟ පැතුම් නිශ්ශංක ඉණිම ආරම්භ කරනු ලැබුවා.පැතුම් කිසිඳු අපහසුවක් නොපෙන්වා පන්දුවට පහර දීම නිසා කමිල්ට පීඩනයක් ඇති නොවුණ ද,ඔහු ලකුණ 12 ට දැවි ගියා.එහෙත් පැතුම්ගේ ප්‍රහාරයට ලැබුණු සහය නිසා දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලෙස පන්දු ඕවර් 5.4 දී ලකුණු 59 ක් වාර්තා වී තිබුණා.අනතුරුව පිටියට පිවිසි කුසල් මෙණ්ඩිස් ද මෑත කාලයේ පැතුම් – කුසල් සබඳතාවයේ කීර්තිය යළිත් තහවුරු කරමින් තරගය නිමා වන විට පන්දු 25 දි ලකුණු 25 ක් රැස් කරන්නට සමත් වුණා.
තරගයේ 17 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවට පැතුම් නිහ්ශංක එල්ල කරන්නට උත්සාහ කළේ හයේ පහරක් නොවී හතරේ පහරක් වුණානම් ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව සිම්බාබ්වේ ලකුණු පූවරුව සමඟ සමාන වෙනවා.එසේ වුවානම් තව පන්දුවක් ජයග්‍රහණය වෙනුවෙන් වැය වුණත් මේ ජයග්‍රහණය වෙනුවෙන් පැතුම් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය ශතකයකින් නිමා වන්නට තිබුණා.එහෙත් ක්‍රීඩකයෙක්ට කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය ලබා දීමේ ඉණිමක්,පෞද්ගලික ඉලක්කවලට වඩා වටිනා නිසා පැතුම්ට ශතකයකට වඩා වටින ඉතිහාසයක් සහ මතකයක් ලෙස මේ ඉණිම සිය ක්‍රිකට් ජීවිතය තුළ නැවත නැවත ස්මරණය කළ හැකියි.


එහෙත් මහා නියඟයකට පසුව වට වැස්සක් බඳු මේ ජයෙන් ඉනික්බිති යළිත් කණ්ඩායමට කැඳවන ලද පන්දුවට පහර දෙන්නට නොහැකි වූ පවන් රත්නායකව ඊ ළඟ තරගයේදී පිටතින් තබා නැවත වෙනසක් කරන්නට ඉඩ තිබෙනවා.එසේම අවසාන පන්දු ඕවර් කිහිපය නිලකුණු පන්දු සමඟ යොමු කළ ඒෂාන් මාලිංග වෙනුවට වෙනත් ආදේශකවලට යන්නටත් ඉඩ තිබෙනවා.එක ජයකින් තමන්ගේ යැපීම තවත් කාලයකට තීරණය කර මේ සංයුතිය ඉවත දමන්නට ඊළඟ තරගය සඳහා කණ්ඩායම තේරීමේදී වෙනස්කම් කරන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා ජයග්‍රහණය මත වැඩිය සතුටු වීමට යාමට වඩා පරිපාලනය පැත්තෙන් දුටුව යම් වෙනස්කමක් වේ නම් ඒ සඳහා වන පරිසරය සකස් කිරීම අනාගතය ජයග්‍රාහී තැනක තබා ගන්නට වැදගත් වනු ඇති බව කිව යුතුව තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවයි.
https://bit.ly/43TLznX

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...