ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් (ලලිත් – කුගන්) අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට අද (27) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අතර එම අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
එලෙස 2010වසරේදී අතුරුදහන් වූයේ දේශපාලන,මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාළව වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණි.
ඒ අනුව අද දින නඩුව කැඳවා තිබුණු අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මෙම අතුරුදහන් කිරීමේ සිද්ධිය හා ඊට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
එහිදී ඔහු අවධාරණය කළේ යුක්තිය වෙනුවෙන් වූ සටන අතනොහරින බවයි.
යුක්තිය උදෙසා වූ ක්‍රියාවලිය පළිගැනීමක් නොවන අතර අනාගතයේදී මෙවැනි අපරාධ වළක්වා ගත හැක්කේ වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළහොත් පමණක් බවද ජයගොස මහතා සඳහන් කරන ලදී.
”2010 දෙසැම්බර් 9 රාත්‍රී යාපනය අධි ආරක්ෂිත ප්‍රදේශයකදී ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. මේ වනවිට වසර 16ක් ගෙවී ගියා ඔවුන් ගැන ආරංචියක් නෑ. ඔවුන් දෙදෙනා පැහරගෙන දින කිහිපයක් තුළ එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඔවුන් දෙදෙනා පැහරගෙන නැති අතර අත්අඩංගුවට ගත් බව. ඒ කියන්නේ මේ පැහැරගැනීම් කෙරෙන්නේ රජයේ අවබෝධයෙන්. පසුව අපි මේ පිළිබඳ පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන් එය පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් තොරතුරු ආශ්‍රිතව බව. අපි වසර ගණනාවක් උත්සාහ කර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙනාවා. පසුගිය නඩු වාරයේ අහපු හැම ප්‍රශ්නයකටම ගෝඨා කිව්වේ මට ඇහෙන්නේ නෑ, මට මතක නෑ කියලා විතරයි. එයාට එහෙම මගහරින්න බෑ. 2015 නොවැම්බර් 8 සත්හඬ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව කියනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගැනීම ඔහුගේ අවබෝධයෙන් වුණේ කියලා. එහෙමනම් ලලිත් සහ කුගන් පැහැරගැනීම විතරක් නොදැන ඉන්න හේතුවක් නෑ. අපි යුක්තිය සඳහා සටන නවත්වන්නේ නෑ. අපට අවශ්‍ය පළිගැනීමක් නෙවෙයි. වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළොත් විතරයි අනාගතයේ මේවා සිදුවීම නවත්වන්න පුළුවන්. අපේ මේ සටන ලලිත් සහ කුගන් වෙනුවෙන් විතරක් නෙවෙයි දසදහස් ගණන් අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන්. අපේ මේ සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් විතරක් නෙවෙයි, අනාගතයේ කිසිවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම වලක්වන්න.”



