*
Monday, April 15, 2024
spot_img

Latest Posts

ආරක්ෂක වියදම් අඩුකිරීමේ යෝජනාව ගැන ….

රජය කුඩා කිරීම වෙනුවෙන් මේ වෙද්දී සැලකිය යුතු ජනමතයක් තිබෙනවා. මේක අලුත් තත්ත්වයක්. විශේෂයෙන්ම ජවිපෙ වැනි සමාජවාදී ආකෘතියක ගොඩ නැගුනු පක්ෂයක් වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල්ට කාලයක සිටම කරන්න අවශ්‍යව තිබුණා විය හැකි වුවත්, ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්කමක් නොතිබුණු ඇතැම් දේවල් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වන තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල් කියන දේවල් හමුවේ, පූස් පැටවු වගේ ඒ දේවල් අහගෙන වක්‍රව හෝ අනුමත කරන තැනකට රාජපක්ෂ කඳවුරේ හිටපු බොහෝ අයව තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. බලය ලබා ගන්න ඉන්න විපක්ෂ බලවේග වලට රජය කුඩා කිරීමට එරෙහිව කතා කර ලකුණු රැස් කර ගැනීමේ හැකියාව, ඇතැම් විට තාවකාලිකව විය හැකි වුවත්, අහෝසි වී තිබෙනවා. මෙය වසර හත අටකට පෙර අප මේ සටහන් බ්ලොග් එක හරහා ලියන්න පටන් ගනිද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

රජය කුඩා කළ යුතුයි කියන තැනට රටක් විදිහට එන්න පුලුවන්නම් එය ඉතා හොඳ තත්ත්වයක්. එතැනින් එහාට, එය කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව, පුළුල් එකඟතා අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. රටේ ජනතාවට ඒ විදිහේ තේරීමක් තියෙන එක නරක දෙයක් නෙමෙයි.

දේශපාලනඥයින්ගේ නාස්තිකාර වියදම් අඩු කළ යුතුයි කියන එක ජනප්‍රිය අදහසක් වන තරමටම ප්‍රතිඵලදායක අදහසක් නෙමෙයි. මේක කලින් සටහනකින් පැහැදිලි කළා. ඒ කියන්නේ අනවශ්‍ය වියදම් සීමා කිරීම නොකළ යුතු බව නෙමෙයි. එය අනිවාර්යයෙන් කළ යුතු, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති දෙයක්. මම හිතන්නේ මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් මේ බව දන්නවා. ඒ නිසාම, රජයේ වියදම් අඩු කළ හැකි වෙනත් ආකාර ගැන බොහෝ දෙනෙක් හිතන්න පටන් අරන් තිබෙනවා.

ආරක්ෂක වියදම් මේ ගොඩක් අයගේ ඇහැ ගිහින් තියෙන තැනක්. අරගලය දවස් වල ආරක්ෂක වියදම් අඩු කළ යුතුයි කියා අදහස් පළ කළ අය අතර රාජපක්ෂ කඳවුර හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හැම එකම වගේ සිටියා. 2023 අයවැය ඇස්තමේන්තු එළියට ආවට පස්සේ ඒ අතරින් ඇතැම් අය ආරක්ෂක වියදම් ගැන බර තබා කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.

රටක ජාතික ආරක්ෂාව කියන්නේ වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි සේවාවක්. මේ වැඩේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජයක් විසින් කළ යුතු මූලික කාර්යයයක් ලෙසයි. ඇත්තටම කිවුවොත් ජාතික ආරක්ෂාව කියන්නේ රටක රජය ආරක්ෂා කර ගැනීම. රටක් කියා දෙයක් තියෙන්නේම රජයක් තිබෙන නිසා බැවින් මෙය රට ආරක්ෂා කර ගැනීමක් කියා කියන්නත් පුළුවන්. රටේ ජනතාව ආරක්ෂා වෙනවානම් වෙන්නේ වක්‍ර විදිහට. සමහර වෙලාවට රජයට ආරක්ෂා වෙන්න සිදු වන්නේ රටේ ජනතාව අතරින්ම කොටසකගෙන් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාද ඇතුළුව හැම විටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන පිරිවැය දරන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට.

වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි නිසාම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව විසින් ගෙවිය යුතු මිල කීයද කියලා තීරණය කළ හැක්කේ දේශපාලනය තුළ පමණයි. ඒ හැර මේ ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැහැ. ඒ නිසාම, මේ මොහොතේ හෝ වෙනත් මොහොතක, ආරක්ෂක වියදම් අඩු කළ යුතුද, වැඩි කළ යුතුද, එසේම පවත්වා ගත යුතුද වගේ ප්‍රශ්න වලට දේශපාලනික නොවන පිළිතුරක් දෙන්න බැහැ. ඒ නිසාම, මම එවැනි පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කර අවසාන වශයෙන් පොදු එකඟතාවය මත නිර්ණය විය යුතු දෙයක්. මම මේ සටහනින් කරන්න හදන්නේ ඒ වැඩේට උදවුවක් ලෙස තොරතුරු ටිකක් ඉදිරිපත් කරන එක පමණයි.

සමහර අය කියන විදිහට මෙවර අයවැයෙන් ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 539ක් වෙන් කරලා. ඒ කතාව ඇත්තද?

මේ ගණන ඇවිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ වල එකතුව ලෙසයි. ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක හමුදා වල වියදම්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියා කියන්නේ පොලීසියේ වියදම්.

මෙතැනින් එහාට යන්න කලින් එක දෙයක් පැහැදිලි කළ යුතුයි. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක වියදම් ගැන කතා කරද්දී අදහස් කරන්නේ හමුදා වල වියදම් ගැන. එහෙමත් නැත්නම් මිලිටරි වියදම් ගැන. පොලීසියේ වියදම් ආරක්ෂක වියදම් විදිහට සැලකෙන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නීතිය හා සාමය රැකීමේ වියදම් විදිහට. සාමාන්‍යයෙන් පොලීසියේ කාර්යය රජය හෝ රට ආරක්ෂා කිරීම නෙමෙයි. සිවිල් ආරක්ෂාව. ඒ නිසා, පොලීසියේ වියදම ආරක්ෂක වියදමක් ලෙස අරගෙන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් වලට එකතු කරලා පෙන්වන එක හරිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

දෙවන ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් ගත්තත් ඒ සියල්ලම ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් නොවීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම වගේ ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනවා. ඒ වගේම, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ තිබෙන “රණවිරු මාපිය රැකවරණ දීමනා” වගේ වියදම් සැලකිය හැක්කේ සුබසාධන වියදම් ලෙසයි.

ඉහත තත්ත්වයන් යටතේ වුනත් ලංකාවේ ආරක්ෂක වියදම් වැඩියි කියන තර්කය නිශේධනය වන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ පොලීසිය විසින් කරන ප්‍රධාන කාර්යයත් රජය ආරක්ෂා කරන එකම තමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.

පහළින් තියෙන්නේ පොලීසියේ වියදම්ද ඇතුළත්ව, ආරක්ෂක වියදම් ලෙස පැහැදිලිව හඳුනා ගත හැකි වියදම්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – රුපියල් මිලියන 209,716 යි

ශ්‍රී ලංකා නාවික හමුදාව – රුපියල් මිලියන 75,739 යි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව – රුපියල් මිලියන 66,628 යි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව – රුපියල් මිලියන 19,913 යි

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව – රුපියල් මිලියන 435 යි

ජාතික පොලිස් කොමිසම – රුපියල් මිලියන 157 යි

විශේෂ කාර්ය බලකාය – රුපියල් මිලියන 12,519 යි

පොලිස් දෙපාර්තමේන්තුව – රුපියල් මිලියන 116,380 යි

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය – රුපියල් මිලියන 740 යි

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – රුපියල් මිලියන 85 යි

රාජ්‍ය බුද්ධි සේවය – රුපියල් මිලියන 2,985යි

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් – රුපියල් මිලියන 6,188 යි

එකතුව – රුපියල් මිලියන 511,485 යි

පෙර වසරට සාපේක්ෂව ඉහත වියදම් වල 11.2%ක වැඩි වීමක් තිබෙනවා. රුපියල් වලින් මිලියන 51,582ක්. ණය හා පොලී ගෙවීම් ඉවත් කළ පසු රජයේ ඉතිරි වියදම් වැඩි කර තිබෙන්නේ 9.7%කින් පමණයි. මේ අනුව, ඉහත අයිතමයන් යටතේ ආරක්ෂක වියදම් වැඩි වීම, සුළු වශයෙන් වුනත්, අනෙක් වියදම් වැඩි වීමට වඩා වැඩියි.

ඉහත එකතුව රුපියල් බිලියන 511ක්. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යංශ වල මුළු වියදම රුපියල් බිලියන 539ක්. මේ ගණන් දෙක අතර වෙනස වන රුපියල් බිලියන 28ම ආරක්ෂක වියදම් නොවුනත්, එයින් යම් කොටසක්ද ආරක්ෂක වියදම්. ඒ කොටස හරියටම හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඒ ටික අමතක කළත්, පැහැදිලිව හඳුනාගත හැකි ඉහත කොටස පොලී හා ණය ගෙවීම් හැර රජයේ මුළු වියදමෙන් 14.0%ක්. එක පවුලකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක්.

ඕනෑම රටකට ජාතික ආරක්ෂාව වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ජාතික ආරක්ෂාව ලාබ නැහැ. දැන් මට්ටමින් ආරක්ෂාව ලබන්නනම් ලංකාවේ පවුලක් ඒ වෙනුවෙන්ම වසරකට රුපියල් ලක්ෂය ඉක්මවන බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ඒ තරමට බදු ගෙවිය නොහැකිනම් ආරක්ෂාව අඩු කරන්න වෙනවා.

එක් එක් හමුදා අංශ හා පොලීසිය වෙනුවෙන් රටේ එක් පවුලක් විසින් 2023දී ගෙවිය යුතු බදු මුදල ආසන්නව පහත තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – රුපියල් 41,120 යි

ශ්‍රී ලංකා නාවික හමුදාව – රුපියල් 14,850 යි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව – රුපියල් 13,060 යි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව – රුපියල් 3,900 යි

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව – රුපියල් 90 යි

ජාතික පොලිස් කොමිසම – රුපියල් 30 යි

විශේෂ කාර්ය බලකාය – රුපියල් 2,450 යි

පොලිස් දෙපාර්තමේන්තුව – රුපියල් 22,820 යි

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය – රුපියල් 150 යි

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – රුපියල් 20 යි

රාජ්‍ය බුද්ධි සේවය – රුපියල් 590 යි

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් – රුපියල් 1,210 යි

එකතුව – රුපියල් 100,290 යි

එහෙමනම් මේ වියදම් අඩු කළ යුතුද?

මම කලින්ම කිවුවනේ මෙය දේශපාලන ප්‍රශ්නයක් කියලා. එය එක් එක් පුද්ගලයා විසින් තනි තනිව තීරණය කළ යුතු දෙයක්. පොලීසිය වෙනුවෙන් එක පවුලක් විසින් ගෙවිය යුතු බදු මුදල රුපියල් 22,820ක්. පොලීසිය සිටීමේ වාසි ඊට වඩා වැඩිනම් මේ වියදම දරන එකේ පාඩුවක් නැහැ. අනෙකුත් හමුදාවන් වෙනුවෙන් වසරකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 77,470ක්.

පහළින් තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල් වල ජාතික ආදායමෙන් (දදේනියෙන්) ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල. මූලාශ්‍රය ලෝක බැංකුව. 2020 වසරේ දත්ත.

  1. ඕමානය – 10.9%
  2. සවුදි අරාබිය – 8.4%
  3. කුවේට් – 6.5%
  4. ඊශ්‍රායලය – 5.6%
  5. රුසියාව – 4.3%
  6. යුක්රේනය – 4.1%
  7. ඉරාකය – 4.1%
  8. පකිස්ථානය – 4.0%
  9. ඇමරිකා එක්සත් ජනපදය – 3.7%
  10. සිංගප්පූරුව – 3.2%
  11. ඉන්දියාව – 2.9%
  12. ග්‍රීසිය – 2.8%
  13. එක්සත් රාජධානිය – 2.1%
  14. ඕස්ට්‍රේලියාව – 2.1%
  15. නෝර්වේ – 1.9%
  16. ශ්‍රී ලංකාව – 1.9%
  17. චීනය – 1.8%
  18. නවසීලන්තය – 1.5%
  19. කැනඩාව – 1.4%
  20. නේපාලය – 1.4%
  21. බංග්ලා දේශය – 1.3%
  22. මැලේසියාව – 1.1%
  23. පිලිපීනය – 1.0%
  24. ජපානය – 1.0%
  25. ඉතියෝපියාව – 0.5%
  26. කොස්ටරිකා – 0.0%

ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අනුව රටවල් බෙදී ගොස් ඇති ආකාරයෙන් පෙනෙන්නේ එය එක් එක් රටේ ජනතාවගේ තේරීමක් බවයි. දත්ත තිබෙන රටවල් 147ක් අතරින් ලංකාවේ ස්ථානය 53.

කෙසේ වුවත්, එක් එක් රට ආරක්ෂාව වෙනුවෙන් මුදල් වැය කරන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක ආරක්ෂක වියදම් වලින් සැලකිය යුතු කොටසක් යුද උපකරණ ආදිය සඳහා යන වියදම්. මෙයින් වෙනස්ව ලංකාව කියන්නේ “මිනිස්සුන්ගෙන්” යුද්ධ කරන රටක්. උපාය මාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ 2021 වාර්තාව අනුව, සක්‍රිය සේවයේ නිරතව සිටින හමුදා සාමාජිකයින් ගණන ලංකාවේ ජනගහණයෙන් 1.13%ක්. මෙම දර්ශකය අනුව, ලෝකයේ රටවල් 172ක් අතරින් ලංකාව ඉන්නේ 13වන තැනයි.

  1. උතුරු කොරියාව – 5.04%
  2. එරිත්‍රියාව – 3.38%
  3. ඊශ්‍රායලය – 2.01%
  4. ඕමානය – 1.22%
  5. දකුණු කොරියාව – 1.16%
  6. ශ්‍රී ලංකාව – 1.13%
  7. සිංගප්පූරුව – 0.85%
  8. රුසියාව – 0.71%
  9. සවුදි අරාබිය – 0.69%
  10. කුවේට් – 0.60%
  11. කියුබාව – 0.44%
  12. නෝර්වේ – 0.43%
  13. ඇමරිකා එක්සත් ජනපදය – 0.42%
  14. මැලේසියාව – 0.36%
  15. පකිස්ථානය – 0.31%
  16. ඕස්ට්‍රේලියාව – 0.25%
  17. එක්සත් රාජධානිය – 0.21%
  18. ජපානය – 0.20%
  19. චීනය – 0.16%
  20. පිලිපීනය – 0.14%
  21. ඉතියෝපියාව – 0.13%
  22. ඉන්දියාව – 0.11%
  23. බංග්ලා දේශය – 0.10%
  24. කොස්ටරිකා – 0.00%

ජනතා කැමැත්ත මත පදනම්ව ලංකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීමට අවශ්‍ය වන තත්ත්වයක් යටතේ වුවත්, එවැන්නක් වහා කිරීම අපහසු ඇයි කියා ඉහත සංඛ්‍යාලේඛනය පෙන්වා දෙනවා. ලංකාවේ සන්දර්භයේ ආරක්ෂක වියදම් අඩු කිරීම යනු ආරක්ෂක හමුදා සාමාජිකයින් ගෙදර යැවීමයි.

ඉහත දත්ත වල පෙන්වා ඇති පරිදි, ලංකාවේ ආරක්ෂක වියදම් වලින් වැඩිම කොටස එනම් රුපියල් බිලියන 210ක් පමණම වැය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්. පහළින් තිබෙන්නේ එම වියදම් මොනවාද යන්නයි.

වැටුප් හා දීමනා – රුපියල් මිලියන 152,897 යි.

ආහාර හා නිල ඇඳුම් – රුපියල් මිලියන 33,500 යි.

වෛද්‍ය සැපයුම් – රුපියල් මිලියන 1,000 යි.

අනෙකුත් සැපයුම් – රුපියල් මිලියන 3,350 යි.

ජල හා විදුලිබිල් – රුපියල් මිලියන 3,300 යි.

දුරකථන හා අනෙකුත් බිල් හා බදු – රුපියල් මිලියන 767 යි.

ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් – රුපියල් මිලියන 9,325 යි.

ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් – රුපියල් මිලියන 4,427 යි.

වාහන හා යන්ත්‍ර සූත්‍ර නඩත්තුව – රුපියල් මිලියන 1,150 යි.

එකතුව – රුපියල් මිලියන 209,716 යි.

මුළු වියදමෙන් 89.4%ක්ම හමුදා සෙබළුන්ගේ වැටුප්, ආහාර, නිල ඇඳුම් හා වෛද්‍ය සැපයුම්. ඉතිරි සියලුම වියදම් මුළු වියදමෙන් 10.6%ක් පමණයි. හමුදාවේ වියදම් විශාල ලෙස සීමා කර ඇති බව බැලූ බැල්මටම පේනවා.

එහෙමනම් හමුදාවේ වියදම් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

වැටුප් හා දීමනා වියදම් පෙර වසරේ වියදමට ආසන්නව සමානයි. පෙර වසරට වඩා රුපියල් මිලියන 13,570කින් හමුදාවේ වියදම් ඉහළ ගොස් ඇතත්, එයින් රුපියල් මිලියන 13,118ක්ම වැඩි වී තිබෙන්නේ ආහාර හා නිල ඇඳුම් කාණ්ඩය තුළයි. එය 64%ක වැඩිවීමක්. මේ වැඩි වීම මූලික වශයෙන්ම ආහාර මිල වැඩි වීම නිසා සිදු වූවක් බව ඉතාම පැහැදිලියි. ඉන්ධන වියදම් වලද රුපියල් මිලියන 560ක පමණ වැඩි වීමක් තිබෙනවා. යුද හමුදාවේ වියදම් වැඩි වී තිබෙන රටාවට සමාන රටාවක් අනෙකුත් හමුදා අංශ වල වියදම් වැඩි වී ඇති ආකාරය තුළද දැකිය හැකියි.

දිගුකාලීනව හමුදා කුඩා කරනවද, දැන් මට්ටමේම පවත්වා ගන්නවද කියන එක දේශපාලනික තීරණයක්. දැන් මට්ටටේම පවත්වා ගන්න එක වෙනුවෙන් පෙනී සිටින අය ඒ වෙනුවෙන් බදු ලෙස තමන්ට ගෙවන්න වෙන මිල ගැනත් අවබෝධයෙන් අදාළ තීරණය ගන්නවානම් වඩා හොඳයි.

අනෙක් අතට ආරක්ෂක වියදම් අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටින අය දැනගත යුතු දෙය එය කළ හැක්කේ හමුදා භටයින් ගෙදර යැවීම මගින්ම පමණක් බවයි. හමුදා භටයින් සේවයෙන් මුදා හැරලා නිකම්ම ගෙදර යවන්න බැහැ. එක්කෝ යම් වන්දියක් හෝ විශ්‍රාම වැටුපක් වගේ දෙයක් දෙන්න වෙනවා. ඒවටත් සල්ලි යනවා.

ඊට අමතරව, හමුදා පුහුණුව ලැබූ විශාල පිරිසක් හදිසියේ සේවයෙන් මුදා හැරියොත් ඒ අය ගම් වලට ගිහින් කුලී වැඩ කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් කරනවානම් සැලසුමක් ඇතුව, ක්‍රමිකව කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, දිගුකාලීනව කොහොම වුනත් කෙටිකාලීනව, ආරක්ෂක වියදම් අඩු කරන එක කියන තරම්ම ලේසි නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan