Thursday, February 9, 2023
spot_img

Latest Posts

පොලී අඩුවෙයිද ?

පොලී අඩු වෙයිද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ඉතිරි කිරීම් තිබෙන අයට. මේ ප්‍රශ්නය කිහිප දෙනෙක්ම පෞද්ගලිකවත් අහලා තියෙනවා. එහෙම අහලා තියෙන්නේ තමන්ගේ සල්ලි මාස හයකට බැංකුවේ දමනවාද එහෙම නැත්නම් අවුරුදු පහකට දමනවාද වගේ සන්දර්භයක. කාටත් තේරෙන පරිදි, පොලී අඩු වෙන බව පේනවානම් දිගු කාලයකට සල්ලි බැංකුවේ දමන එක ලාබයි. පොලී වැඩි වෙන බව පේනවානම් කෙටි කාලයකට සල්ලි දමන එක ලාබයි.

පොලී අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ කොහොමද?

පොලී අනුපාතික තීරණය කරන්නේ මහ බැංකුව විසින් හෝ රජය විසින් කියන එක හරිත් නැති, වැරදිත් නැති, සරල උපකල්පනක්. පොලී අනුපාතික කෙරෙහි මහ බැංකුවට මෙන්ම රජයටද විශාල බලපෑමක් කළ හැකි වුවත් මෙය තනිකරම රජය හෝ මහ බැංකුව විසින් තීරණය කරන දෙයක් නෙමෙයි. මූලික වශයෙන් පොලී අනුපාතික තීරණය කරන්නෙත් ඉහත මුලින් සඳහන් කළ ආකාරයේ ප්‍රශ්න අහන සාමාන්‍ය මිනිස්සු. හැබැයි පොලී අනුපාතික වලට මහ බැංකුවේ හා රජයේ බලපෑම සුළුපටු නැහැ.

බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන විසින් ණය පොලී අනුපාතික හා තැන්පතු පොලී අනුපාතික තීරණය කරන බව මහ පොළොවේ පේන්න තියෙන දෙයක්. නමුත්, බැංකු විසින් ඒ විදිහට පොලී අනුපාතික තීරණය කිරීම පසුබිමේ තියෙන කතාව ඒ තරම් පැහැදිලිව පේන්නේ නැහැ.

බැංකු විසින් ණය විදිහට දෙන්නේ තැන්පතු ලෙස එකතු කර ගන්න මිනිස්සුන්ගේ සල්ලි. බැංකු විසින් කරන්නේ ඒ විදිහට එකතු කර ගන්න සල්ලි ගාණක් තියාගෙන අනෙක් පැත්තට දෙන එක. ඒක බ්‍රෝකර් වැඩක් පමණයි. ඒ නිසා, තැන්පතුකරුවන් විසින් වැඩි පොලියක් ඉල්ලනවානම් බැංකු වලට පොලී වැඩි කරන්න වෙනවා.

උද්ධමනය වැඩි වෙද්දී තැන්පතුකරුවන් විසින් තමන්ගේ තැන්පතු වෙනුවෙන් ඉල්ලන පොලියත් වැඩි වෙනවා. එවිට බැංකුවට ණය පොලී අනුපාතිකත් වැඩි කරන්න වෙනවා.

මහ බැංකුව හා රජය පැත්තකින්ම තිබ්බොත් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වෙන්නේ ණය ඉල්ලුම හා ණය සැපයුම මතයි. ණය සැපයුම කියන්නේ ඉතිරි කිරීම්. ණය ඉල්ලුම ඉහළ යද්දී පොලී අනුපාතිකත් ඉහළ යනවා. එවිට ණය ඉල්ලුම අඩු වෙනවා. අවසාන වශයෙන් ණය ඉල්ලුම හා ණය සැපයුම සමාන වෙන තැන තමයි වෙළඳපොළ පොලී අනුපාතිකය. මේ පොලී අනුපාතිකය අපේක්ෂිත උද්ධමනයට වඩා සුළු වශයෙන් වැඩිවීම සාමාන්‍ය තත්ත්වයයි. එම වැඩිවීම ණය ආපසු නොලැබීමේ අවදානමත් එක්ක ඉහළ යනවා.

රජයේ අයවැය තුලනය වී ඇත්නම් රජයෙන් පොලී අනුපාතික කෙරෙහි බලපෑමක් නැහැ. රජයට ණය ගන්න හෝ ණය සපයන්න අවශ්‍යතාවයක් නැහැ. අයවැය අතිරික්තයක් තියෙනවානම් ඒ අතිරික්තය මුදල් වෙළඳපොළට එද්දී පොලී අනුපාතික පහළ යනවා. අයවැය හිඟයක් තියෙද්දී වෙන්නේ ඕකෙම අනෙක් පැත්ත. අයවැය හිඟය ඉහළ යන තරමට පොලී අනුපාතිකත් ඉහළ යනවා.

ඔය කිවුවේ මහ බැංකුවේ මැදිහත්වීම් නොසලකා හැරලා. රජයේ අයවැය හිඟයක් තිබුණත්, ඒ හිඟයට හරියන්න සල්ලි අච්චු ගැහුවොත්, රජය විසින් සල්ලි එකතු කර ගැනීම නිසා පහළ යන වෙළඳපොළේ ණය සැපයුම වෙන විදිහකින් නැවත ඉහළ යන නිසා පොලී අනුපාතික වලට තිබෙන බලපෑම නිශේෂණය වෙනවා. මහ බැංකුව විසින් ඊටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගැහුවොත් පොලී අනුපාතික පහළ යනවා. ඒ වගේම, මුදල් ගුණකය වැඩි කර මුදල් සැපයුම වැඩි කළොත් වෙන්නෙත් ඕකමයි.

රටක මහ බැංකුවක ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීම. ඒ වැඩේ සිදු නොවෙද්දී ඇඟිල්ල දිගු වන්නේත්, ඇඟිල්ල දිගු විය යුත්තේත්, මහ බැංකුව දෙසටයි. උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතුව තිබෙන ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. ඒ නිසාම, සාමාන්‍යයෙන්, මහ බැංකුව උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරද්දී ඒ ගැන මහ බැංකුවට චෝදනා කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මොකද ස්වාධීනව පොලී අනුපාතික තීරණය කළ නොහැකිනම් මහ බැංකුවට උද්ධමනය පාලනය කරන්න බැහැ.

රජයේ අයවැය තුලනය වී ඇත්නම් මහ බැංකුවට අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන්න අවශ්‍ය නැහැ. රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ යද්දී ඉහළ යන මුදල් ඉල්ලුමට හරියන්න සල්ලි අච්චු ගැහුවහම ඇති. ඒ වගේ තත්ත්වයක් යටතේ උද්ධමනය 2% වගේ පහළ මට්ටමක ස්ථාවරව තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි.

උද්ධමනය 2% වගේ පහළ මට්ටමක ස්ථාවරව තියෙනවානම් ඊට කිට්ටු පොලියක් ගෙවා තැන්පතු එකතු කරගන්න අමාරු නැහැ. ඒ වගේ පොලියකට තැන්පතු එකතු වෙනවානම් බැංකු වලට පුළුවන් 3%-4% වගේ පොලියකට ණය දෙන්න.

ඉහත කී ආකාරයේ තත්ත්වයක් යටතේ රජයේ හෝ මහ බැංකුවේ මැදිහත්වීමක් නැතත් ණය වෙළඳපොළ තුලනය වන නිසා රටේ ජනතාව අතරින් ණයකාරයෝ ඉන්නේ ආසන්න වශයෙන් බාගයක් පමණයි. අනෙක් බාගය ණය දෙන්නෝ. ඔය හේතුව නිසාම ණයදෙන්නන්ගේ හා ණයගන්නන්ගේ දේශපාලන බලයද තුලනය වෙනවා. එක කණ්ඩායමකට රජයේ හෝ මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ වලට බලපෑම් කරන්න අමාරුයි. පොලී වැඩියි කියලා ණයකාරයෝ කියද්දී නෑ වැඩි නෑ කියලා බර දාන්න ඒ හා සමාන ණය දෙන්නෝ ටිකකුත් ඉන්නවා.

ලංකාවේ වගේ දිගින් දිගටම රාජ්ය අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවන්න දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී ණය වෙළඳපොළ තුලනය වගේම ඉහත දේශපාලන බල තුලනයද වෙනස් වෙනවා. ඉතිරි කරන්නන්ගේ දේශපාලන බලය යටපත් වෙලා ණය ගන්නන් අධිපති බලයක් බවට පත් වෙනවා. මොකද ණය ගන්නෝ තරමට ණය දෙන්නෝ නැහැ.

ලංකාවේ අයවැය හිඟයේ තරමට, සල්ලි අච්චු ගැසීම් හා විදේශ ණය නොවන්නට, බොහෝ විට පොලී අනුපාතික 20% මට්ටමටවත් ගිහින්. සමහර විට ඊටත් වැඩි මට්ටමකට. එහෙම නැතුව ණය වෙළඳපොළ තුලනය වෙන්න විදිහක් නැහැ. නමුත්, මහ බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී, එහෙමත් නැත්නම් විදේශ ණය අරගෙන අයවැය හිඟය පුරවද්දී, රටේ ණය ඉල්ලුමේ තරමට ණය සැපයුමක් රට ඇතුළෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ ණයකාරයෝ ගොඩයි. ණය දෙන්නෝ ටිකයි. ඔය වගේ තත්ත්වයක් ඇති වෙලා ණයකාරයෝ ප්‍රබල දේශපාලන බලයක් වුනාට පස්සේ ඕක වෙනස් කරන්නත් අමාරුයි.

මේ වෙද්දී ණයකාරයින් මහ බැංකුවට විශාල පීඩනයක් එල්ල කරන බවත්, මහ බැංකුවට ඒ පීඩනය දැනෙන බවත් පැහැදිලිව පේනවා. එය මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධාවක් වගේම උද්ධමනය මට්ටු කිරීමේ උත්සාහයට වැටෙන උදැල්ලක්.

මහ බැංකුවේ ස්වාධීනත්වය කියන එක පුළුල් අදහසක් වුනත්, ඔය අදහස ඇතුළේ තිබෙන ප්‍රධානම දෙයක් වන්නේ උද්ධමනය පාලනය කිරීම සඳහා, අනෙක් සාධක වලට වැඩි බරක් නොතියා, පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුවට තිබෙන නිදහස. ඒ නිසා ඇතිවන ආර්ථික වර්ධනය පහළ යාම, අයවැය හිඟය වැඩි වීම වගේ අහිතකර ප්‍රතිඵල වලට විසඳුම් හොයන එක රජයේ වැඩක්. මහ බැංකුව සැලකිලිමත් විය යුත්තේ බැංකු පද්ධතිය අස්ථාවර වීමේ අවදානමක් ඇත්නම් ඒ ගැන පමණයි.

සාමාන්‍යයෙන් මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා කරන්නේ රජය. මොකද අඩු පොලියට ණය ගන්න තරමට රජයට වාසියි. රජයක් උත්සාහ කළ යුත්තේම පුළුවන් තරම් අඩුවට ණය ගන්නයි. ඒ උත්සාහය තුළ උද්ධමනය ඉහළ යනවානම් ඒ ගැන බලාගන්න එක මහ බැංකුවේ වැඩක්. මහ බැංකු ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ රජය හා මහ බැංකුව අතර තියෙන ඔන්න ඔය පිළිසිඳීයා ගැටුම නිසා.

ලංකාවේ මහ බැංකුවේ ස්වාධීනත්වය සීමා වෙන්නේ මහ බැංකුව හදපු මුදල් නීති පණතින්මයි. පණත අනුව, භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩල සාමාජිකයෙක්. ඒ නිසා, භාණ්ඩාගාර ලේකම්ට තමන්ගේ නිල බලය මතම මහ බැංකුවේ පොලී අනුපාතික වැඩි කිරීමේ උත්සාහයන් වලක්වන්න පුළුවන්. පුළුවන් විතරක් නෙමෙයි, දිගින් දිගටම වුනෙත් ඔය වැඩේ.

අවශ්‍ය පමණ පොලී අනුපාතික වැඩි නොකරනවා කියන්නේ ණය ඉල්ලුම හා ණය සැපයුම තුලිත වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අඩු සල්ලි ප්‍රමාණය මහ බැංකුව විසින් සැපයිය යුතු බව. වෙන විදිහකින් කිවුවොත් සල්ලි අච්චු ගහමින්, එහි උදවුවෙන් පොලී අනුපාතික පහළින් තියා ගන්න බව.

කාලයක් තිස්සේ ඔය වැඩේ කරපු නිසා ලංකාවේ ඉන්නේ දිගින් දිගටම නියම පොලියට වඩා අඩු පොලියට ණය ගන්න පුරුදු වූ ජනතාවක්. ඒ අඩු පොලියත් වෙන ගොඩක් රටවලට සාපේක්ෂව වැඩි පොලියක් වීම වෙනම කතාවක්. අඩුවට ණය ලැබෙනවා කියන්නේ ආදායම ඉක්මවා වියදම් කරනවා කියන එක. ඒ විදිහට කාලයක් තිස්සේ ආදායම ඉක්මවා වියදම් කරන්න පුරුදු වූ ජනතාවකට එකපාරටම ඒ තත්ත්වය වෙනස් වීම දරා ගන්න අමාරුයි.

මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරද්දී (හෝ වැඩිවෙන්න ඉඩ සලසා තියෙද්දී) එහි බර වැඩියෙන්ම දැනෙන්නේ භාණ්ඩාගාර ලේකම්ට. අලුතෙන් පත් වූ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඒ පීඩනය දරාගෙන සිටීම මෑත කාලයකදී සිදු නොවූ, අගය කළ යුතු දෙයක්. ඒ හේතුව නිසාම, මෙවර පොලී අනුපාතික සම්බන්ධව මහ බැංකුවට පීඩනය එල්ල වෙන්නේ රජයට පිටින් ඉන්න වෙනත් පාර්ශ්ව වෙතින්. භාණ්ඩාගාර ලේකම්ගෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වූ නිසා, මීට කලින් මේ කණ්ඩායම් වලට මහ බැංකුවේ තීරණ විවේචනය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

මේ පීඩනය මහ බැංකුවට දැනෙන බවයි අධිපතිවරයාගේ මෑතකාලීන ප්‍රකාශ වලින් තේරෙන්නේ. පීඩනය හමුවේ මහ බැංකුව යටත් වෙනවා කියන්නේ මහ බැංකුවෙන් අපේක්ෂා කරන ප්‍රධාන කාර්යයයෙන් විතැන් වෙනවා කියන එකයි.

ණය පොලී පහත වැටෙන්නනම් ණය සැපයුම ඉහළ යා යුතුයි. ණය සැපයුම ඉහළ දැමීම සඳහා මෙතෙක් යොදාගත් සම්ප්‍රදායික ක්‍රමය මුදල් සැපයුම වැඩි කිරීමයි. එම උද්ධමනකාරී ක්‍රමය පොලී අනුපාතික අඩු කළ හැකි එකම ක්‍රමය නෙමෙයි. වඩා තිරසාර ක්‍රමය රාජ්‍ය අයවැය හිඟය අඩු කිරීමයි. එවිට රජයේ ණය අවශ්‍යතාවය අඩු වෙද්දී පෞද්ගලික අංශයේ ණය හිමියන් වෙත සැපයිය හැකි ණය ප්‍රමාණය ඉහළ යනවා. පොලී අනුපාතික පහළ යනවා.

අළුත් අයවැයෙන් අපේක්ෂිත අයවැය ශේෂ ඉලක්ක එක්ක නිවැරදි ක්‍රමයට ණය පොලී අඩු කර ගැනීමේ ඉඩක් විවෘත වී තිබෙනවා. ඒ නිසා, මහ බැංකුව නැවත සල්ලි අච්චු ගහන්න යොමු නොවුණත් පොලී අනුපාතික පහළ යා හැකියි.

මුහුද හත් ගවුවක් තියෙද්දී කොහොම වෙතත් රැල්ල පෙනෙද්දීවත් සරම අමුඩේ නොගහා සරම රැල්ලට තෙමුනට පස්සේ සරම උස්සගෙන අමුඩේ ගහගත්ත මහ බැංකුව සරම පාත දාන්න ඕනෑවට වඩා හදිස්සි විය යුතු නැහැ. වැල්ලෙන් ටිකක් ඈතට ගිහින්ම සරම පාත දාන එක කෝකටත් හොඳයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.