Thursday, February 9, 2023
spot_img

Latest Posts

අර්බුදයක් විසඳන්න ‘වහ බීලා’ හරියනවා ද? IMF ණය ගැනීමට පෙර ග්‍රීසියෙන් උගත හැකි පාඩම්!

‘තිත්ත බෙහෙතක්’ සහ ‘වස පානය’ කිරීම අතර පැහැදිලි වෙනසක් තිබෙන බවත්, ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට තිත්ත බෙහෙතක් යැයි සිතා වස පානය නොකළ යුතු බවත් ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය මහාචාර්ය Yanis Varoufakis අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් දින අද දෙරණ 24 හි STATE OF THE NATION වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ඔහු පලකල අදහස්…

🟥 ප්‍රශ්නය – ඔබ ඔබගේ ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකාව මේ මොහොතේ  IMF වෙත යාමෙන් වැළකිය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. එසේ යෑමෙන් කිසිදු ප්‍රථිඵලයක් නොමැති නම්, මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදී ඉදිරියට යාමට නම්, ඔබ දකින හොඳම විසඳුම කුමක්ද  …?

🟨 පිළිතුර – බංකොලොත්භාවයක් තියෙන මොහොතක එයට කවුරු මොන විසඳුමක් දෙනු ලැබුවත් එවැනි රටක් ඉදිරියට ගෙන යෑම ඉතාමත් අපහසු ගමනක්. මෙවැනි අවස්ථාවක රට ගොඩ ගැනීමට ලෙහෙසි නැහැ. එසේ ගොඩනැගීමට අනාගතය සඳහා ආයෝජනය කිරීමට ද ඉතා අපහසුයි.

නමුත් බංකොලොත් වූ රටක් එයින් මිදීමට වර්තමානයේ දී IMF හි උපකාර පතනවා. එය හරියට අසනීප වූ රෝගියකු සුදුසු වෛද්‍යවරයකු හඳුනාගනිමින් උචිතම ඖෂධ අපේක්ෂා කිරීමක් වැන්නක්. එනමුත් 1998 දකුණු කොරියාව හා 2010, 2015, 2016, 2018 ග්‍රීසිය IMF හි උදව් අපේක්ෂාවෙන් IMF ආයතනය වෙත ගිය ද එම රටවල් බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ඨ වූයේ නැහැ

🟥ප්‍රශ්නය – නමුත් IMF ආයතනය තුළින් ඔබ රට තුළ ක්‍රියාත්මක කළ වැඩසටහනේ දී, ඔවුන්ගෙන් සිදුවූ වැරදි ප්‍රතිපත්ති පිළිබඳ ද සමාව ඉල්ලුවා නේද…?

🟨 පිළිතුරු – ඔව් කලා! ඒත් එක්කම මම IMF එකේ උගත් පිරිස් බොහොමයකට කතා කලා. ඔවුන් පිළිගත්තා ඔවුන් අතින් ඒ රටවල විසකුරු (toxic) ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ බවට. ඉතිං මේ තුළින්ම පෙනී යන්නේ සුදුසුම බෙහෙත් සහ විෂ සහිත බෙහෙත් අතර වෙනස. විෂ සහිත දේ මිනිසුන් විනාශ කරනවා. එසේත් නොමැති නම් රෝගියා ඉතා අසාධ්‍ය තත්ත්වයට ඇද දමනවා. මට හොඳටම විශ්වාසයි ඔබේ රටේ මිනිසුන් එම විෂ සහිත බෙහෙත් නොබොන බවට. මම කියන්නෙ නෑ IMF එකට ඇහුම්කන් නොදෙන්න කියලා, ඔවුන් සමඟ කතා කළ හැකියි. නමුත් තනිව ගතහොත් ශ්‍රී ලංකාට උදවු කල යුත්තේ අතීත සිදුවීම් හා කරුණු පදනම් කර ගනිමින් වර්තමානයේ මුහුණ දෙන ගැටලුවට විසඳුමක් දිය හැකි ආකාරයටයි.

අපි බලමු ආජන්ටිනාවට මොකද උනේ කියලා. මීට අවුරුදු විස්සකට පමණ පෙර ආජන්ටිනාවේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් බිලියන ගණනක ණය මුදලක් ලබා දෙමින් විවිධ ක්‍රියාකාරකම් හරහා එම අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කළත්, එය අපේක්ෂිත මට්ටමින් ඉටු කර ගැනීමට ආජන්ටිනාවට නොහැකි වුණා. මා මෙය හඳුන්වන්නේ ආජන්ටිනාවේ වැසියන්ට එරෙහිව සිදුකළ අපරාධයක් ලෙස. මන්ද එහි දී සිදුවූයේ මෙලෙස නිකුත් කළ මුදල රට පාලනය කරන බලවතුන් කිහිපදෙනෙකු සහ සමාගම් කිහිපයක් විසින් ලබාගෙන රට කඩා වැටීමට මොහොතකට පෙර එම මුදල අරගෙන රටින් පිටව යාම. එසේ තිබිය දී එම තත්වය නැවත සලකා බැලීමකින් තොරව වසර පහකට පසුව නැවතත් ණය මුදලක් ආජන්ටිනාව වෙත ලබා දුන්න ද එම අවස්ථාවේ ද අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට IMF එක අසමත් වුනා. IMF සිදුකළේ එම අසාර්ථක ප්‍රයත්නය සඳහා සමාව අයද සිටීම පමණයි. ඉතිං වැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා ට සමා ව ඉල්ලීම යනු IMF එකට මහලොකු දෙයක් නොවෙයි.

අපි බලමු දැන් ශ්‍රී ලංකාවේ පැත්තට කවුරු හරි කෙනෙක් ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කරමින් කිව්වොත් ඔබ කොපමණ ප්‍රමාණයක් ණය බටහිර රටවලින් අරන් තියෙනවද කියා ඒවා ගෙවන්න ඔබ නීතිමය වශයෙන් බැඳී සිටිනවා කියලා, එසේ චෝදනා කරන අයට මාගේ යෝජනාව නම්, ශ්‍රී ලංකාවට මේ තරම් විශාල ණයක් වගකීමෙන් තොරව ලබාගත් පුද්ගලයන් විසින් එම ණය නැවත ගෙවීම සඳහා වගකීම භාර ගත යුතුය යන්නයි. මන්ද වගකීම් විරහිත ණයකරුවකු සිටින්නේ කොහේ ද, එතැන වගකීම් විරහිත ණයදෙන්නකු ද සිටිනවා. IMF එක රටේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ‘අපැහැදිලි’ චරිතවලට කොල්ලකාර ලෙස අති විශාල මුදලක් ලබා දෙන්නේ නම්, එහි වගකීම දැරිය යුත්තේ ඒ රටේ ජනතාව නොවෙයි, එම ණය ලබා දුන්න IMF එකමයි.

ඒ වගේම මෙන්න මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා IMF අතර පැහැදිලි එකඟතාවයක් ඇතිකර ගත යුතුයි. ණයකරුවන්ගේ ණය සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හරින (debt haircut) බවට සහ ඔවුන්ගේ ණයවලින් කුඩා කොටසක් පමණක් ලබාදෙන බවට. ඔබේ රජය ගෙවීමට නොහැකි තරම් අතිවිශාල ණය කන්දරාවක විශාල ප්‍රතිශතයක් ගෙවා දැමීමට බදු බර වැඩි කරනවා නම්, එය බිත්තර දමන පාත්තයා මරා දමන්නක් වැනියි. එය ඔබගේ ජනතාවගේ ජීවත් වීම තහවුරු කිරීමට අවශ්‍ය ආදායම ජනිත කරවන සහ ණය ගෙවා දැමීමේ ක්‍රියාවලිය සක්‍රියව පවත්වා ගන්නා ආර්ථික ක්‍රියාවලිය විනාශ කර දමනු ඇති.

ඔවුන් සමඟ එකඟතාවයක් ඇති කර ගත යුතු අනෙත් කරුණ වන්නේ දැඩි ප්‍රතිපත්ති පැනවිය නොයුතු බවයි. ශ්‍රී ලංකාව යනු බඩු මිලදී ගන්නා කඩයක් නොවන බවට IMF සිහියේ තබා ගත යුතුයි, මන්ද, රටේ දේශීය පෞද්ගලික අංශය පවතින අර්බුදය මත විශාල වශයෙන් තම වියදම් කපා හරින පසුබිමක, ණය අවම කිරීම සහ වියදම් කපා හැරීම සඳහා අයවැය පරතරය ගැන කියා පාමින් රජයේ අංශයේ වියදම් කපා හැරීම තර්කයක් ලෙස ගෙන ඒම ම උමතුවක්.  

 🟥 ප්‍රශ්නය – හිටපු මුදල් ඇමතිවරයකු ලෙස ඔබගේ තක්සේරුව අනුව, ග්‍රීසියේ ආර්ථික කඩාවැටීම සිදුවූ මොහොතේ ඔබව භාවිතා වීම, සහ මෙම කඩා වැටීමට බලපෑ සාධක ලෙස ඔබ දකින්නේ මොනවාද? ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ග්‍රීසියේ ආර්ථිකය සලකා බැලුවහොත් මෙම සිදුවීම් දෙක අතර මොනවගේ සමානකම් තිබෙනවා ද?

🟨 පිළිතුර – මා හිතනා විදියට සිත්ගන්නා සුළු සමාන්තර බවක් ග්‍රීසියේ සිදුවීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අතර තිබෙනවා. ග්‍රීසියේ ආර්ථික අර්බුදය හටගැනුනේ 2010 වර්ෂයේ දී. 2008 වසර තුළ බටහිර රටවල් මූලික කරගනිමින් ඇතිවූ කැපීපෙනෙන මූල්‍ය ව්‍යසනය ක්‍රමක්‌ ක්‍රමයෙන් මුළු ලෝකයටම බලපෑ බව අප දන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් බටහිර  රටවල් දැඩි ව්‍යසනයකට ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මුල් අවස්ථාවේදී  ඩුබායි, ඇමරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් ද බංකොලොත් භාවයට පත්වනු දැක ගත හැකි වුණා. මේ තත්ත්වය ඉතා දැඩිව දුර්වල රාජ්‍යයන් හට බලපෑවේ ඉතාමත්ම තියුණු ලෙසයි.

මෙම තත්ත්වය ග්‍රීසියට ද ඒ හා සමානව මුහුණ දීමට සිදුවුණා. එම අවස්ථාවේදී IMF ඇවිත් විවිධ කොන්දේසි යටතේ මෙම පීඩනයෙන් ගැලවීමට ණය ලබා දුන්නා. මෙම සහාය ග්‍රීසියේ පීඩනය තවදුරටත් ඉහළ දැමුවා පමණක් නොවෙයි, එරට ජනතාව තවදුරටත් හැල්ලුවට ලක්කළා.

මෙම සිදුවීම හා ශ්‍රී ලංකාව අතර තිබෙන සමානතාවය ගැන කතා කාරොත්, 2008, 2009, 2010 වැනි කාලවල හටගත් මෙම අර්බුදයෙන් පසු බටහිර රටවල වසර 12 කාලයක් — එනම් 2008 සිට කොවිඩ් වසංගතය දක්වා — ඉතාම බොළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබුනා. ඒ වන විට බටහිර රටවල මහ බැංකු විසින් — එක්සත් ජනපදය, යුරෝපා මහ බැංකුව, එංගලන්ත බැංකුව, ස්විට්සර්ලන්ත බැංකුව, ස්වීඩනයේ බැංකුව, සහ ජපානයේ බැංකුව පවා — ආර්ථිකය යථා තත්ත්වයට පත්කරන්න කියලා අතිවිශාල මුදලක් අච්චු ගසමින් තිබුණා. මෙය සිදුකළේ 2008 දී ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වූ බැංකු පද්ධතිය විසින්ම යි. වසර 12 ක් ඔවුන් මෙය සිදුකළා. මෙම කාලය තුළ ඒ ඒ රටවල රජයන් විසින් ඔවුන්ගේ ජනතාවගෙන් බහුතරයකට අතිශය දරදඬු කොන්දේසි (universal austerity) පනවනු ලැබුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අති විශාල මුදලක් මූල්‍ය අංශයේ ඉතුරු වූ මුත්, ප්‍රායෝගිකව සිදු වුයේ ආයෝජන අඩුවීම ඉල්ලුම් අඩුවීම හා පරිභෝජන වියදම අඩුවීමයි. බටහිර සැබෑ ආර්ථිකයේ ස්වභාවය වූයේ මෙයයි.

මෙමඟින් 2009 – 2020 පමණ කාලය දක්වා ස්ථිර වශයෙන් බඩුමිල පහල යෑමක් සිදුවූවා, ස්ථිර ආර්ථික සිරවීමක් හටගත්තා. ඊඟළට අප වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. වසංගත තත්ත්වය නිසා සැපයුම් ජාලය සම්පූර්ණ වශයෙන් අඩාල වුණා. මිනිසුන් අතර සල්ලි හුවමාරුව වැඩි වූ නිසා තරමක් දුරට ඉල්ලුම වැඩි වූ අතර බලශක්ති ප්‍රභවයන් ගේ මිල සුළු වශයෙන් ඉහළ යෑමක් දැකිය හැකි වුණා. මෙම නව ගෝලීය චක්‍රය ආරම්භයේ දී පටන්ම ශ්‍රී ලංකාව සිටියේ එහි දුර්වලම පුරුකේ. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම, බලශක්ති ප්‍රභවයන් ගේ මිල ඉහළ යාම හා රජයේ දුර්වල පරිපාලනය වැනි කරුණු මත බංකොලොත්භාවයට පත් වුනු ශ්‍රී ලංකාව, අපි (ග්‍රීසිය) 2010 මුහුණ දුන් තත්ත්වයට සමාන තත්ත්වයකට පත්වුනා. බටහිර ධනවාදයේ අසාර්ථකභාවයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් ව්‍යාප්තව ගිය අර්බුදයකට අසුවුන අපේ රටේ මුදල් ඒකකයේ ගැටළු, ගෙවුම් ශේෂ පිළිබඳ අර්බුද ඇතිවුනා. දැන් ශ්‍රී ලංකාව දෙස බලන විට, අපි එදා මුහුණ දුන්න තත්ත්වයටම ඔබ මුහුණ දෙමින් තිබෙනවා. ඒ අතර, IMF එකත් ඔබට බැල්ම දමමින් මීට වගකිව යුත්තේ ඔබ බවට ඔබට ඇඟිල්ල දිගුකරමින් සිටිනවා. නමුත් එය ඔබේ වැරැද්ද නොවෙයි. එය ගෝලීය වශයෙන් ඇතිවූ සහ ජනතාවගේ සහාය හිමි නොවූ පෙර රජයන් වල වැරදියි.

🟥 ප්‍රශ්නය – මෙවැනි වාතාවරණයක් තුළ ඔබට නැවත අවස්ථාවක් ලැබුනහොත් ඔබ මේ සඳහා කරන්නේ කුමක්ද?

🟨 පිළිතුර – මා කරන්නේ ම කිරීමට උත්සාහ කරමින් සිටි දේ. මා අමාත්‍යවරයා බවට පත්වූයේ අර්බුදය අවසානයේ. මා IMF සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරා. වොෂිංටනයට ලබා දෙන සංඥාවක් ලෙස මම IMF ට මුදල් ගෙවීම නතර කරනවා කිව්වා. ඔවුන්ගේ ප්‍රතිපත්ති රටක් විනාශ මුඛයට ඇදගෙන යන බව සිහිපත් කර දුන්නා. ඔව්, ඒ අනුව 2015 දී අප අතර බරපතල ගැටීමක් නිර්මාණය වූවා. මෙය දරා ගත නොහැකි තැන මාගේ අග්‍රාමාත්‍යවරයා IMF සමඟ තවත් ගිවිසුමකට එළඹීම නිසා මා ධුරයෙන් ඉවත් වූවා. මම හිතන්නේ IMF කියන්නේ ඔබේ රටෙහි අනාගත ආරක්ෂකයා නොවෙයි. අනාගතයේ විය හැකි විනාශකරුවෙකු ලෙසයි මම දකින්නේ. මම එහෙම කියන්න හේතුව තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති මගේ රටට විනාශකාරී ලෙස බලපෑම් කිරීම. එය මා පෞද්ගලිකව විශ්වාස කරන නිසා ඒ තුලින් අදහස් වන්නේ නැහැ ඔවුන් සමග තවදුරටත් ගනදෙනු කළයුතු නැහැ කියලා. ඔවුන් අන්තර්ජාතික වශයෙන් අතිශයින් වැදගත් ආයතනයක්.

ශ්‍රී ලංකාව IMF  සමග ගණදෙනු කරන්නේ නම් සුදුසු ඵලදායි ගණුදෙනුවක් සිදු කළ යුතුයි. එහි දී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මා දකිනවා.

◾ශ්‍රී ලංකාව ණය කරුවන් ගෙන් ලබා ගත් ණය ප්‍රමාණයන් අඩු කරන බවට එකඟතාවකින් තොරව IMF ආයතනයෙන් ණය ලබා නොගැනීම.

◾ස්ථාවර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. IMF හි දැඩි මූල්‍ය කොන්දේසිවලට ඔබ එකඟ නොවිය යුතුයි.

මෙම කරුණු දෙකට IMF එකඟ වන්නේ නැතිනම් රජය කිසිසේත්ම IMF සමඟ ගිවිසුමකට එළඹිය යුතු නැහැ!

🟥ප්‍රශ්නය – ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආර්ථික, සමාජ ගැටලුවක් ඇති වීමට බලවත් රාජ්‍යයන්ගේ අතපෙවීම් හෝ අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියා ඔබ සිතනවාද?

🟨 පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්! ග්‍රීසිය 2010 දී බංකොලොත්භාවයට පත්වන විට IMF, යුරෝපා මහ බැංකුව සහ යුරෝපා සංගමය විසින් ලබා දුන් මුදල් යළි ගෙවීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි කියා මම කිසිසේත්ම විශ්වාස කළේ නැහැ. බලන්න ශ්‍රී ලංකාව ක්‍රමක්‍රමයෙන් බොහෝ රටවලට අද අධික ලෙස ණය වෙලා. මේ ණය දුන් රටවල් – විශේෂයෙන්ම චීනය , ඉන්දියාව,  ඇමෙරිකාව,  ජපානය වැනි රටවල් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑමෙන් කරමින් සිටින බවට අපිට පෙනෙනවා. ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය තුළ තවදුරටත් මේ රටවල් මත යැපීම සිදු වුවහොත් ලංකාව ඔවුන්ගේ යටතට පත්වීම වැළැක්විය නොහැක්කක්. උදාහරණයක් ලෙස ග්‍රීසියට සිදුවී තිබෙන්නේ පසුගිය වකවානුව තුළදී මෙවැන්නක්. ඔබ දන්නවා ග්‍රීසියේ ඉතාමත් වටිනා ආර්ථික මර්මස්ථාන බවට පත්ව තිබූ සංචාරක ස්ථාන වරායවල්, ගුවන් තොටුපොළවල් බටහිර රටවල් ඔවුන්ගේ ගොදුරක් බවට පත්කරගෙන. ඔවුන්ගේ ආර්ථික දේශපාලන කටයුතු සඳහා යොදාගෙන. විශාල පොලී අනුපාත යටතේ ණයවලට හසුවූවහොත් භූ දේශපාලනික බලවතුන්ගේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නොහැකියි.

හරි එහෙනම් ඔබ IMF ආධාර ලබා නොගත්තොත් මොක ද වෙන්නේ? ඔබ බංකොලොත්භාවයට පත්වෙනවා. මම කියන්නේ කමක් නෑ. බංකොලොත්භාවයට පත්වෙන්න, ඒ බංකොලොත්භාවය භාරගන්න, නමුත් පළමු ගලේ සිට නැවත වැඩ ආරම්භ කරන්න. එසේ කිරීම, IMF සහ අනෙකුත් ණයහිමියන් ඉදිරියේ ඔවුන්ගේ කොලොනියක් බවට පත්වනවා ට වඩා බොහෝ යෝග්‍ය ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.

ශ්‍රී ලංකාවටත් තමන් ලබා ගත් ණය ගෙවා දැමීමට නොහැකි වුවහොත්, ශ්‍රී ලාංකිකයන්ටත් රටක් නැති වෙයි ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට අනාගතයක් නැති වෙයි. එබැවින් සුදුසු කතිකාවක් හා ක්‍රමවේදයක් තුළින් අතීත අත්දැකීම් හා උගත් පාඩම් තුලින් IMF හි උදවු හා උපකාර ලබාගැනීම ගැනීම සුදුසු විය හැකියි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.