*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ළඟදීම මහා මැතිවරණයක් – මියුසියස් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් – ප්‍රධාන තනතුරු කීපයක වෙනසක්? සජබ-නිදහස එක්වෙයි – කුරුණෑගල සටන උණුසුම් – මලික් යලිත් රනිල්-සජිත් එක්කරන වෑයමක – UNP ඇතුලේ ගැටුම්

  • ළඟදීම මහා මැතිවරණයක්
  • මියුසියස් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක්
  • ප්‍රධාන තනතුරු කීපයක වෙනසක්?
  • සජබ-නිදහස එක්වෙයි
  • කුරුණෑගල සටන උණුසුම්
  • මලික් යලිත් රනිල්-සජිත් එක්කරන වෑයමක
  • UNP ඇතුලේ ගැටුම්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): මුලින්ම ජනාධිපතිවරණය පවත්වන බව බොහෝ දෙනා සිතා සිටිය ද හදිසි මහා මැතිවරණයකට යාම සඳහා ජනාධිපතිවරයා සුදානමින් සිටින බවට දේශපාලන අංශවල කතා බහට ලක්ව තිබේ. ජනාධිපතිවරයාට පසුගිය මාර්තු මාසයෙන් පසු ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ව්‍යවස්ථාමය බාධාවක් නොමැත.

මේ අනුව මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේ හෝ මැයි මාසයේ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් බව පැවසේ. ඒ සඳහා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ යුතුව තිබේ.

මැතිවරණයකට දින විමසලා?

රටේ ප්‍රධානතම කාර්යාලයක් මඟින් මැතිවරණයක් පැවැත්විය හැකි කලින්ම දිනය පිළිබඳ විමසීමක් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් කර ඇති බව ද දැන ගන්නට ඇත. මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙය මාර්තු හෝ අප්‍රේල් මාසයේ පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බව ද පැවසේ. මහා මැතිවරණය පැවැත්වූවාට පසුව කාහටවත් 113 ක බහුතරය ලබා ගත නොහැකි බවට වර්තමාන දේශපාලන වටපිටාව දෙස බැලුවිට පෙනීයන කාරණයකි. එවන් වාතාවරණයක් තුළ ජාතික ආණ්ඩුවක් සෑදීම ජනාධිපතිවරයාගේ අදහස බවට සැකයක් නොමැත. ඉන්පසුව ජාතික ආණ්ඩුවේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි. එය ජනාධිපතිවරයාගේ පැත්තෙන් බැලුවිට ඔහුට වඩා වාසි සහගත තත්වයකි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් සිටින මතය මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන මතයේය. එවිට එහි ප්‍රතිපලය සමඟ ඉන්පසුව පැවැත්වෙන මහා මැතිවරණයේ කොතැනක කෙලෙස කටයුතු කල යුතු දැයි තීරණය කිරීම පහසු නිසාය.

මැතිවරණ සූදානම හා ණය ගැනීමේ සුදානම

මේ අතර අයවැයෙන් වැඩිකළ වැටුප් වලින් කොටසක් ජනවාරි මාසයේ සිට ලබා දීම, ඉන්ධන මිල අඩු කිරීම, ඉදිරි දින වල විදුලි ගාස්තුවල අඩු කිරීම ආදී කටයුතු වලින් ද මැතිවරණයක ඉඟි ලැබෙමින් පවතී. ඉන්ධන වෙළඳපොළට විදෙස් සමාගම් පැමිණීම නිසා ආණ්ඩුවට ඉන්ධන ගෙන්වීමට ඩොලර් වැය කිරීම සීමාවී ඇති අතර විශාල සංචාරක පිරිසක් රටට පැමිණීම තුළ ඩොලර් ප්‍රශ්නය යම්තාක් දුරට තාවකාලිකව හෝ විසඳි ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණයද නිසාය. ඒ සමඟ නැවත ණය ගැනීමට රජය කටයුතු කරමින් සිටින අතර එයින් දීර්ගකාලීනව යලිත් වරක් දැඩි අවදානමකට රට ලක්වෙමින් පවතී. දේශීය සම්පත් විකුණා දමමින් තවත් ණය ලබා ගනිමින් යන ගමනේ දුර ඉතාම අඩු අතර හැකිතාක් ඉක්මනින් රටේ නිෂ්පාදනය වැඩි කරන්නටත් ඉහළ ධනවතුන්ගෙන් විශාල බදු අය කර අනෙකුත් පිරිසට සාමාන්‍ය බදු ක්‍රමයකුත් හඳුන්වාදීම වහාම සිදු කල යුතුය.

පොහොට්ටු – අලි සන්ධානය සූදානම්?

මෙවර මහමැතිවරණයකට ශ්‍රීලංකා පොදු ජන පෙරමුනත් එක්සත් ජාතික පක්ෂයත් බොහෝදුරට තරග කරන්නේ පොදු පෙරමුණක් හෝ සන්ධානයක් යටතේය. ඒ බොහෝදුරට හංසයා ලකුණෙනි.

ඒ අනුව බොහෝ දුරට දෙපාර්ශවයෙන්ම දිස්ත්‍රික්ක සඳහා සම නායකවරු පත් වෙතැයි සඳහන්වේ. උදාහරණයක් ලෙස කුරුනෑගල දිස්ත්‍රික්කය සඳහා අකිල විරාජ් කාරියවසම් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු සම නායකවරු ලෙස පත් කරන්නට නියමිතය. පසුගිය මහා මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුනෑගල දිස්ත්‍රික්කයට තරඟ වැදුනේ පොහොට්ටුවෙනි. මෙවර ඔහු බොහෝදුරට තරග නොකරන්නට හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නට ඉඩ තිබේ.

මහා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධ කතාබහත් සමඟ විවිධ සන්ධාන බිහිවෙමින් පවතී. පාර්ලිමේන්තු මැතිවරණයකින් තරග කර ජයගන්නට නම් බොහෝ විට ප්‍රධාන බලවේග තුන හෝ හතර සමඟ එක්වන්නට බොහෝ ස්වාධීන කණ්ඩායම් වලට හෝ කුඩා පක්ෂ වලට සිදුවේ.

සජබ – නිදහස එක්වෙයි – කුරුණෑගල සටන උණුසුම්

පොහොට්ටුවෙන් ස්වාධීන වූ නිදහස ජනතා සභාව ඉදිරි මහා මැතිවරණයකදී සමගි ජන බලවේගය වෙත එක්වන්නට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සමඟ දැඩි තරගකාරී තත්වයක් ඇතැම් දිස්ත්‍රික්කවල ඇතිවීම වැළක්විය නොහැක.
උදාහරණයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය ගතහොත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 15 කි. ඡන්ද කොට්ඨාශ 14 කි. අපේක්ෂකයන් 18 කි. දැනට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු සිවු දෙනෙකි. නලීන් බණ්ඩාර, අශෝක අබේසිංහ, එස්.ඩබ්ලිව්. අලවතුවල, තුෂාර ඉඳුනිල් එම සිවු දෙනාය. මීට අමතරව හිටපු ඇමතිවරයකු මෙන්ම සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ සමීපතමයකු වන කුලියාපිටිය සංවිධායක උපාලි පියසෝම මේ වන විටත් දිස්ත්‍රික්කය පුරා සංවිධාන කටයුතු සිදු කරමින් පෙරමුණ ගෙන සිටින පළපුරුදු ජ්‍යෙෂ්ඨතමයෙකි.

පොදු ජන පෙරමුනෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජයරත්න හේරත් දැන් ඉන්නේ සමගි ජන බලවේගයේය.මහජන පක්ෂයේ අසංක නවරත්න ද එලෙසමය.චරිත හේරත් , දයාසිරි ජයසේකර , අනුර ප්‍රියදර්ශන යාපා, ගුණපාල රත්නසේකර ආදී පිරිස ද සමගි ජනබලවේගය හා එක්ව තරග කරන්නට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.මේ නිසා මනාප වලින් ජයග්‍රහණය පහසු නැත. එම නිසා සමගි ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුව තුළ ඇති තරගය ඉතාම විශාලය. අනුර ප්‍රියදර්ශන යාපා ඇතැම් විට පොහොට්ටු – අලි සන්ධානයෙන් තරඟ කරන්නට ඉඩ ඇති බවද පැවසේ. මේ කිසිවක් තවමත් අවසන් එකඟතා වලට පැමිණ නැත. ජී.එල් .පීරිස් හට සජබ ජාතික ලැයිස්තුව හිමිව ඇති අතර ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික්කයෙන්ද, නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතය. මේ අතර මෙතෙක් වෙනම දේශපාලන ගමනක යමින් සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා ද යලිත් සජබ වැඩපිළිවෙල සමඟ ගමන් කරන්නට පටන්ගෙන ඇති බවද පැවසේ.

සජිත් ගෙන් සහතිකයක් !

මේ අතර සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණ ජයග්‍රහණ සඳහා තමන් දිස්ත්‍රික්ක වල නව සංවිධායක වරුන් පත් කිරීම හා විවිධ වෙනස්කම් සිදුකරන බවත් දැනට සිටින සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් තම රජයක් තුළ ඔවුන්ට සාධාරණය ඉටු කරන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ ප්‍රබලයන් වෙත දැනුම්දී තිබේ. මීට හේතුවී ඇත්තේ විවිධ සන්ධාන ගතවීම් හරහා එක්වන පක්ෂ හා පුද්ගලයන් වෙත ආසන සංවිධායක ධුර හා දිස්ත්‍රික් සංවිධායක ධුර ලබාදීමේදී දැනට සිටින සංවිධායක වරුන් කලබලවීම වැළැක්වීම ය. මනාප පොරය නිසා නව සංවිධායකවරයකු දිස්ත්‍රික්කයට පැමිණීම පැරණි සංවිධායකවරුන් ඉවසන්නේ නැත. අලුතින් එක්වන්නා ජනප්‍රිය අයකු නම් බලපෑම් ඉතාම වැඩිය. කෙසේ වෙතත් සජිත් මේ වන විට රට පුරා යමින් තම පක්ෂයේ සංවිධාන කටයුතු සොයා බලමින් අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් සිටින්නේ දුර්වල ප්‍රදේශ සඳහා නව ක්‍රමවේද සොයා බලමිනි.

මලික් සමරවික්‍රම යලිත් රනිල් – සජිත් එක්කරන වෑයමක

මේ සියලු සන්ධාන කතා එක්වීම් කතන්දර අතරේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීමේ උත්සාහය යලිත් වරක් පනගන්න්වන්නට මලික් සමරවික්‍රම හා තවත් කීපදෙනෙකු විසින් ක්‍රියාවට නංවා ඇත. රනිල්ගේ හා සජිත්ගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම හිටපු එජාප ඇමතිවරයෙකුද වෙයි. මේ කටයුතු සඳහා හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමතිවරුන්ද පූර්ණ ශ්‍රමය හා කාලය වැය කරමින් සිටිති. මීට සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසකගේ කැමැත්ත හිමිව ඇතත් සජිත් ප්‍රේමදාස ඊට පැහැදිලි පිළිතුරක් දී නොමැත. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය , ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ආදී ප්‍රධාන කාරණා සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතරේ සාකච්ඡා වී ඇති අතර එක්වන්නට නම් දෙපාර්ශවයටම විශාල පරිත්‍යාගයන් සිදු කරන තැනකට මේ වන විට පැමිණ තිබේ. මේ පාර්ශව දෙකම කලක් එක්ව වැඩකළ එකම කඳවුරේ පිරිස්ය. එහෙත් පාර්ශව දෙකේම එකම තනතුරු බලාපොරොත්තු වන පිරිස් මේ පාර්ශව එක්වීමට සිදුවෙනවා දකින්නට කැමති නැත. එහෙත් බහුතර එජාප පාක්ෂිකයා මේ දෙපාර්ශවයේ එක්වීම අපේක්ෂා කරති. අද එජාපහ සජබය ලෙස බෙදී සිටියද මේ පක්ෂ දෙකේම සිටින්නේ එදා ශක්තිමත් එජාපය වටා සිටි ජනතාවය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට රට පුරා තම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය දියත් කර ඇත. ඇත්ත වශයෙන්ම මැතිවරණ සටන මුලින්ම ආරම්භ කරමින් රට පුරා යාම නිසා රටේ ජනතාවට අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අදහස් සම්බන්ධයෙන් යම් කැමැත්තක් තිබේ. එය දිගටම ඒ ආකාරයටම පවත්වා ගෙනයාම ජවිපෙට ඇති අභියෝගයයි. අනෙක් අතට අනෙක් පක්ෂද මැතිවරණ සටන ආරම්භ කල පසුව සැබෑ සටන දැක ගත හැකි වනු ඇත. ඒ අනුව පවතින තත්වය විවේචනය කරන අතරම රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් තම ස්ථාවරය හා එම ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ජනතාව ජාතික ජන බලවේගයෙන් ඉදිරියේදී විමසනු ඇත. විශේෂයෙන්ම පාවෙන ඡන්ද ආකර්ෂණය කරගන්නටත් පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසෙන් යම් කොටසක් ආකර්ෂණය කර ගන්නටත් ජාතික ජන බලවේගය සමත්ව තිබේ. වෙනදාට වඩා විදෙස් තානාපතිවරු හා ජවිපෙ සම්බන්ධතා වැඩි වී තිබෙන්නේද මේ නිසාය.

එජාප කළමනාකරණ කමිටුව රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව මේ සතියේද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. එහිදී ඉදිරි මැතිවරණ සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් සංවිධාන කටයුතු විවිධ පාර්ශව සඳහා භාරදීම සිදු විය. එජාප නව වැඩපිළිවෙලක් සමඟ 2024 වසර ආරම්භ කරන්නට නියමිතය. පසුගිය කාලය තුළ එජාපයේ සංවිධාන කටයුතු වල විශාල යමක් සිදු නොවූ නිසා එය මැතිවරණ මුල් කරගෙන වහාම ප්‍රබල වෙනසකින් ශක්තිමත් එජාපය යලි ගොඩනැගීම සිදු කල යුතු බවට රට පුරා පාක්ෂිකයන්ගෙන් පක්ෂ නායකත්වයට ඉල්ලීම් ගලාවිත් තිබේ.

එජාප තුළ කණ්ඩායම් කීපයක් ?

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විවිධ කණඩායම් අතර ඇති බෙදීම මේ දිනවල ජනාධිපතිවරයාටද ගැටළුවක් වී තිබේ. මේ පාර්ශව වෙන්වෙන්ව කටයුතු කරන්නට යාම මැතිවරණ වලදී ඇතැම්විට ගැටළුවක් වීමට පවා ඉඩ ඇති බව එජාපයේ මධ්‍යස්ථ පිරිසගේ මතයයි. විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දු පක්ෂය එකමුතු කරන්නටත් පක්ෂය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමටත් නව වැඩපිළිවෙලක් ඇති කරන්නට වෙහෙසෙන බව සඳහන්ය. එහෙත් පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් ඊට සහය නොදෙන බවද පැවසේ. හරින්ට ක්‍රීඩා ඇමති ධුරය ලැබුනාටද ඇතැමුන්ගේ කැමැත්තක් නොමැත.

රනිල් – චම්පික සමඟ ඩුබායි යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි වෙත ගොස් තිබේ. මෙම සංචාරය සඳහා හිටපු පරිසර ඇමතිවරයෙකු වන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද එක්ව සිටී. ඉදිරි මැතිවරණ සඳහා ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වන බව මීට පෙර දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබිණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඩුබායිහි දී සිදු විය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩුබායි වෙත ගොස් සිටින අතරවාරයේ මෙම හමුව සිදුව තිබේ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතරද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) සමඟ ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායක දෙපළ සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සමුළුව 15 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සමුළුව ලබන 15 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී එම පක්ෂයේ මීළඟ පස් අවුරුදු වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී එම පක්ෂයේ උත්තරීතර නායක ධුරය මහින්ද රාජපක්ෂ වෙත ලබා දෙමින් අනෙකුත් තනතුරුවල වෙනස්කම් ඇති කෙරෙන බව පැවසේ.

පොලිස්පති ධුරය සඳහා පරිපාලන සේවාවෙන් පත් කිරීම් ?

පොලිස්පති ධුරය සඳහා පරිපාලන සේවාවෙන් කිසිවකු පත් කරන්නටත් පොලිස්පති තනතුර තුන් වසරකට සීමා කරන්නටත් යෝජනා ඉදිරිපත්ව තිබේ. පොලීසිය දෙපාර්තමේන්තුවක් බැවින් මේ වෙනස්කම් සිදු කිරීමේ නීතිමය බාධාවන් නොමැත. දේශබන්දු තෙන්නකෝන් මාස තුනක කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බැවින් මේ සඳහා අවශ්‍ය කාලයද තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබීම හේතුවෙන් කාදිනල් හිමිපාණන් දැනටමත් මෙම පත් කිරීමට විරෝධය පල කර තිබේ.

දේශබන්දු ගැන ව්‍යවස්ථාදායක සභාවෙන් බෙදුණු තීරණයක්

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් තිදෙනා හා සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙකු විසින් ඊට අනුමැතිය ලබාදී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම් හා එක් සිවිල් සංවිධාන නියෝජිතයෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත. ව්‍යවස්දාථා යක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කර ඇත.

ඉහළ පොලිස් නිලධාරීන් සතු අසීමිත බලතල සම්බන්ධයෙන් කලක සිට විවිධ විවේචන පවතී. පොලිස් බලය දේශපාලන බලයද අභිබවා යන අවස්ථා මෑත කාලීනව දක්නට ලැබුණු අවස්ථා බොහෝය. බොහෝ අවස්ථාවල පොලිස් වාර්තා හමුවේ අධිකරණමය කටයුතු සිදුවන බවටද පෙනී ගොස් තිබේ. මේ නිසා අපක්ෂපාතී පොලිස් සේවාවක් සඳහා පරිපාලන කටයුතු සම්බන්ධ ප්‍රවීනයන් ලෙස පරිපාලන සේවා නිලධාරීන් සුදුසු බවට කලක් තිස්සේ සාකච්ඡා වී තිබිණි.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නව තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බවද පැවසේ. ඒ අනුව අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ඇති කොට ඒ සඳහා වික්‍රමරත්න මහතා පත් කිරීම දැනට සාකච්ඡා වෙමින් ඇත. සිවිල් තනතුරක් ලෙස පත් සිදුකරන මෙම නව තනතුරට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරීම පැවරෙනු ඇත. මේ අතර හිටපු පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටද යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.

ප්‍රධාන තනතුරු කීපයක වෙනසක්?

මේ අතර 2024 ජනවාරි 01 වැනිදා සිට සහ ජනවාරි 15 වැනිදා සිට රටේ ප්‍රධානතම තනතුරු කීපයක වෙනස්වීම් සිදුවන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි, ආරක්ෂක අංශ වල තනතුරුද ඒ අතර වෙයි. 2024 වසරේ නව වැඩපිලිවෙල රැසක් රජය සැලසුම් කර ඇති අතර ඒවා වේගවත්ව නිසි සංවිධානගතව ක්‍රියාවට නැංවීම මෙම වෙනස්කම් වල සැලසුම වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකත්වය සුමන්තිරන්ටද – ශ්‍රිධරන්ටද ?

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් නාමයෝජනා බාර දී ඇත. ඉදිරි මැතිවරණ වලදී සුළු පක්ෂ සහාය ආණ්ඩු පිහිටුවීමට මෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහනයටද තීරණාත්මක බැවින් එම පක්ෂ නායකත්වය ශ්‍රීලාංකේය දේශපාලනයට අතිශය වැදගත්ය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සමුලුව ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිත අතර එහි පක්ෂයේ නව නායකත්වය නිවේදනය කරන බව එම පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මවෙයි සේනාධිරාජා පැවසීය.

2024 ජනවාරි මාසයේ 20 වනදා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සඳහා එකකට වැඩි නාමයෝජනා ලැබී තිබුණහොත් ඊට පසුවදා පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කරනු ලබන බවත් ජනවාරි 28 වැනි දා නව නායකයා පක්ෂය අමතනු ඇති බවත් ඉකුත්දා රැස්වු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණි.

මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකත්වය තෝරා ගැනීමට ඡන්දයක් නොපැවැත්වුණු අතර පක්ෂ නායකයා පක්ෂය විසින් එකමතිකව තෝරා ගැනුණු බවත් අතර මෙවර එම සම්ප්‍රදාය වෙනස් වනු ඇත.

ගෙවල් ලක්ෂ අටක විදුලි සැපයුම් කපලා

මෙරට ලක්ෂ හැත්තෑවක් පමණ වන විදුලි පාරිභෝගිකයන් අතරින් විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා දිවයින පුරා පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකගේ විදුලිය සැපයුම විසන්ධි කර ඇත.

මෙයට අමතරව විදුලිය බිල නොගෙවීමේ හේතුව මත රටපුරා තවත් නිවාස ලක්ෂ 12කට පමණ රතුබිල් යවා ඇත.

විදුලිය නිපදවීමට යන වියදම මෙන් දසගුනයක් පමණ ඉහළ ගාස්තුවක් විදුලිය ගාස්තු ලෙස විදුලි බල මණ්ඩලය අයකරන බවට චෝදනා නැගී තිබේ. ආණ්ඩුව පවත්වා ගෙන යාමට මුදල් සෙවීම සඳහා මෙසේ අධික විදුලි ගාස්තු අයකෙරෙන බවට චෝදනාවක් පවතින අතර විදුලි බල මණ්ඩලය කොටස් කර විකුනාදැමීම සඳහා එය ලාභ ලබන බව පෙන්නුම් කිරීම සඳහා අධික ගාස්තු අය කරන බවට තවත් චෝදනාවකි.

විදුලි විසන්ධියෙනුත් CEB ලාභය ඉහළට

විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා තුනකදී ඉහළ යෑමත් සමඟ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගියේය.

විදුලි බිල් ගෙවීමට නොහැකිවූ පිරිසේ වැඩි දෙනෙක් මධ්‍යම පාන්තිකයෝ වෙති. වර්තමාන ආර්ථික අර්බුදය තුළ වැඩිම බලපෑමට ලක්ව සිටින්නේද මධ්‍යම පාන්තිකයන්ය. සමහරුන් විදුලි බිල ගෙවා දැමීම සඳහා කණකර ආභරණ උකස් කිරීම හා ණය ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවී ඇත.

විදුලිය බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් එක් ලක්ෂ විසි දහසක් පමණ පසුගිය අගෝස්තු මාසයේදී සිදුකර ඇත.

මේ අතර විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වලට යළි විදුලිය සැපයුම ලබා දෙන අවස්ථාවේදී අය කෙරෙන ගාස්තුව වන රුපියල් තුන් දහසේ මුදල මගින්ද විශාල ලාභයක් මණ්ඩලයට හිමිව තිබේ. වසර කීපයකට මෙම ගාස්තුව ඉවත් කරන ලෙසටද ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. විදුලිය විසන්ධි විසන්ධි කෙරෙන අවස්ථාවලදී නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා හිඟ මුදල වාරික වශයෙන් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති. මේ අතර අධික විදුලි ගාස්තු නිසා කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ස්ථාන රැසක් වැසී ගොස් තිබේ. මේ නිසා ලක්ෂ ගණනකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී ගොස් තිබේ. මේ නිසා වැරදි ආකාරයට විදුලි ගාස්තු සකස් කල උද්ගලයන් මේ සියල්ලට වග කිව යුතුය.

කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් ?

ශ්‍රීලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන් මල්කඩවන් වූ කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් පවතින බවට එම විදුහලේ දෙමාපියන් හා ආදී ශිෂ්‍යාවන් චෝදනා කරති. මෙම උත්සාහයට එම පාසලේ වර්තමාන ශිෂ්‍යාවන් හා ආචාර්ය මණ්ඩලයේ බහුතරයක්ද විරෝධය පල කර තිබේ.
විශාල මුදලක් වැය කරමින් විශාල බලාපොරොත්තු ඇතිව තම දියණියන් පාසලට ඇතුළත් කලේ බෞද්ධ පරිසරයක හැදී වැඩෙන්නට බව පවසන මියුසියස් විදුහලේ දෙමාපියන් මේ වන විට පාසලේ පරිපාලනය හා බොහෝ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැඩි කල කිරීමට පත්ව සිටිති.

මියුසියස් විද්‍යාලයේ පෙර පාසලට ප්‍රධානියෙක් ලෙස පත්ව ආ කාන්තාවක් පෙර සේවය කල ස්ථාන සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි විරෝධය පළකරති. බෞද්ධ නොවන ආගමික අන්තවාදී සම්බන්ධතාවයක්ද මේ පසුපස ඇති බවට චෝදනා ඇති අතර මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීම කළයුතුව තිබේ. පාසල් කළමනාකාරීත්වයේ ඇතැම් පුද්ගලයන්ගෙන් එල්ලවී ඇති බලපෑම් නිසා පාසලේ ගුරුවරියන්ද දැඩි අපහසුවට පත්ව සිටිති.

අතීතයේ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් යයි පැවසීම ආඩම්බරයක් වුවත් අද පාසලේ ගුරුවරියන්ට සිදුව ඇත්තේ රැකියාව ආරක්ෂා කරගෙන සියල්ල ඉවසා සිටින්නටය.
මෙතෙක් කල් මියුසියස් විද්‍යාලයේ පරිපාලනය මෙහෙයවන ලද්දේ රටේ කීර්තිමත් කාන්තා විද්‍යාල වල විශ්‍රාම ගිය පළපුරුදු විදුහල්පතිවරියන් විසින් වුවද මේ වන විට එම තත්වයද වෙනස්වී තිබේ. එම නිසා මෙම පාසලේ ගෞරවනීය භාවය හා කීර්ති නාමය රැක ගැනීම සඳහා වගකිවයුත්තන් නිසි පියවර ගත යුතුව තිබේ.

ක්‍රිකට් තහනම් ඉවතට ?

ක්‍රිකට් තහනම ඉවත් කෙරන බව අපි පසුගිය සතියේ මේ තීරයෙන් අනාවරණය කළෙමු, ක්‍රිකට් සටන රොෂාන් රණසිංහගෙන් ක්‍රීඩා අමාත්යංශය ඉවත් කිරීමත් සමඟ අවසන් වී තිබේ. නව ඇමති හරින් කටයුතු කරමින් සිටින්නේ රොෂාන් රණසිංහ ඇමතිවරයා කටයුතු කල ආකාරයට වඩා වෙනස් ආකාරයටය. ඒ අනුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම එළඹෙන සතිය වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇති බව පැවසේ.

තහනම ඉවත් කරගැනීම සඳහා නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරමින් සිටියි. ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ කවුන්සිලය සමඟ සාකච්චා වලදී ධනාත්මක පිළිතුරු ප්‍රතිචාර ලැබී ඇති බවය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan