රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබා ගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබා දෙන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත.
ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී , උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් මිලියන 30ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙන අතර, ගංගාරාම විහාරස්ථානය සමග සමීපව කටයුතු කරන දෙස්, විදෙස් කණ්ඩායම්වල සහයෝගය ඉදිරියේදී මෙම අරමුදලට ලබා දීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ මෙම අසීරු අවස්ථාවේ ජනතාවට සහන සලසමින්, රටට නිවැරදි නායකත්වයක් ලබා දීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කර තිබේ.
රටත්, ජනතාවත් අසීරුතාවට පත් වු සෑම මොහොතකම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ කටයුතු කළ අන්දම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදීද ලබා දෙන දායකත්වයද කෘතවේදීව අගය කර ඇත.

