*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පුල්ලි තියෙන, ලංකාවේ ඉන්න විශාලම බිළාල කුලයේ සාමාජිකයට කියන හරි නම මොකක්ද ?

මුලින්ම කියන්න ඕන මේ නම් පලහිලව්ව අද ඊයේ එකක් නෙමෙයි. යටත්විජිත යුගයටත් එහා ඉඳන් දුවන අක්මුල් තිබෙන පැටලැවිල්ලක් මේක. අපි තේරුම්ගත යුතු මූලීකම කාරණාවක් තමයි යුරෝපීය රටවලින් පසුකාලීනව ආපු විද්‍යාත්මක විනය (scientific discipline) කියන එක අපි වගේ ආසියාතික රටවල එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඒ නිසා යම්කිසි භුමි වපසරියක වෙසෙන සතුන් නාමකරණය හෝ පොදු නාමයක් යටතට ගෙන ඒමෙ උවමනාව හෝ අවශ්‍යතාව අපිට තිබුනෙ නෑ. අදටත් ලංකාව ඇතුලෙ ව්‍යවහාරයේ තිබෙන සත්ව නාම එහෙම සලකලා බැලුවම ප්‍රාදේශිය ව්‍යවහාරයන් එකකට එකක් අතිශයින්ම පරස්පරතා සහිතව දකින්නට ලැබෙන එක සාමාන්‍ය දෙයක්.

යුරෝපීය ආභාශය ක්‍රමයෙන් අපේ රටවලට ඇතුල් වෙද්දි නාමකරණ අවශ්‍යතාවන් එක්ක ලාංකීය ජනතාව හුරුවෙලා තිබ්බ ප්‍රාදේශීය ව්‍යවහාරයන් ඇතිවෙන ඝට්ටනයේ ප්‍රතිඵලයක් විදිහට නාම වල ගැටලු පැන නගිනවා. ඒ නිසා දිවියාද කොටියද කියන ගැටලුවේ මූලයන් හොයන් යෑම ඇරඹීමට සුදුසුම අවධිය මට හිතෙන විදිහට යුරෝපියයන්ගෙ ආගමනය සිදුවන සමය.

(මෙතනදි අනතුරු ඇඟවීමක් කරන්න වෙනවා මේ ව්‍යායාමයේදි තිබෙන ගැටලුව තවත් ව්‍යාකූල තැනකට ඇදන් යන්න වෙන බවට. ඒ නිසා අවධානයෙන් කියවන්න)

(දෙවැනි කාරණය තමයි මේ විස්තර කරගෙන යාමේදි “දිවියා/ කොටියා” කියන නම් දෙකම යොදාගන්නවා මම අවසාන පැහැදිලි කිරීමට එනකන්)

බ්‍රිතාන්‍යය කිරීටය ලංකාව යටත් කරගන්න සෑහෙන කාලෙකට කලින් මේ දූපතට ගොඩ බැහැපු, මේ දුපත ගැන සවිස්තරාත්මකව වාර්තා කරපු ඉතාමත් ප්‍රසිද්ධ චරිතය තමයි රොබර්ට් නොක්ස්. නොක්ස් 1681 දි ලියන An Historical Relation of the Island Ceylon ග්‍රන්ථයේ සඳහන් කරනවා

” and although here be both bears and Tygers in the woods, yet they are not so fierce , as commonly to assault people”

දැන් මේකෙදි නොක්ස් භාවිතා කරලා තියෙන වචනය තමයි Tygers. Tyger අක්ෂර වින්‍යාසය පැරණි ඉංග්‍රිසියෙන් කියන්නෙත් වර්තමානයේදි Tiger ටම තමයි. Tiger = ටයිගර් = ව්‍යාඝ්‍රයා. එතකොට ලංකාවේ ව්‍යාඝ්‍රයන් ඉන්නවද ?? ව්‍යාඝ්‍රයන් ලංකාවේ නෑ. මෙතනදි නොක්ස්ට වැරදීමක් වෙලා තිබෙනවා. ඔහු Tyger කියන නමෙන් හඳුන්වන්නෙ ලංකාවේ ඉන්න පුල්ලි තියෙන “දිවියා/කොටියව”. නොක්ස් තමයි වරද්දා ගැනීම් පෙලක පලමු පුරුක.

1681 වර්ශයේ ඉඳන් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා 1744 වර්ෂයට. 1744 දි ඕලන්ද පාලන සමයේ ලංකාව ගැන ලියන යොහාන් වුල්ෆ්ගැන්ග හෙට් තමන් අඳින චිත්‍රයක් එක්ක මේ කතාව ලියනවා

“Tigers and Leopards are rare there, of which i have shown a couple”

මේ සටහන එක්ක එන හෙට් ගේ චිත්‍රයේ ඉන්නෙ දිවියා/කොටියා කියලා අපි නම් කරන සත්වයා. නමුත් හෙට්ගෙ සටහනෙ Tiger කියලත් ලියලා තියෙනවා. ටයිගර්ස්, එහෙම නැත්තන් ව්‍යාඝ්‍රයෝ මීට අවුරුදු 12000 කට පමණ කලින් අවසන් වුන ප්ලයස්ටොසීන යුගයෙන් පස්සෙ ලංකාවේ හිටියේ නෑ. එහෙනම් නොක්ස්ට පස්සෙ දෙවනි වතාවට වරද්දගන්න තැනැත්තා වෙන්නෙ යොහාන් වුල්ෆ්ගැන්ග හෙට්.

1744 වර්ශයේ ඉඳන් ආයෙත් ෆාස්ට් ෆෝවඩ් කරනවා 1803 ට.1803 දි කැප්ටන් රොබර්ට් පර්සිවාල් ලියනවා An account of the Island of Ceylon කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථයේ පර්සිවාල් සඳහන් කරන්නෙ

” The smaller species of Tygers also infests the woods, but they seldom venture to attack a man. The larger kind, called the royal tyger, is not an inhabitant of the island”

රායිට්.. තෙවැනි වතාවට වරද්ද ගන්නවා පර්සිවාල්. නොක්ස්ගෙ සහ හෙට්ගෙ වරදම මෙතනදි පර්සිවාල් රිපීට් කරන ගමන් ඌණ පූර්ණයක් කරනවා royal tyger ලංකාවේ නෑ කියලා. මෙතනදි පර්සිවාල් smaller species of tyger කියන්නෙ අපි දන්න කියන ලංකාවේ ඉන්න දිවියා/කොටියට. Royal tyger කියන රෙෆරන්ස් එක පර්සිවාල් දෙන්නෙ ඉන්දියාවේ ඉන්න ව්‍යාඝ්‍රයට. ව්‍යාඝ්‍රයන් ලංකාවේ නෑ කියන සටහන පර්සිවාල් එකතු කිරීම නිසා එතනදි ඔහු පියවරක් ඉදිරියෙන්.

දැන් එමු 1807 වර්ශයට. 1807 දි ලියන කෝඩිනර් සටහන් කරනවා මෙහෙම.

“The Royal Tiger is not found in Ceylon; but a smaller species commonly called cheta is numerous.

කෝඩිනර් හොඳ ආරම්භයක් අරන් කියනවා රෝයල් ටයිගර්ස් ලංකාවෙ නෑ කියලා. ඒ කියන්නෙ ව්‍යාඝ්‍රයො ලංකාවෙ නැති බව. ඒ හොඳ ආරම්භය ඉතාමත් ඛේදාන්තයකින් ඉවර කරනවා හත්ගව්වකින්වත් හොයාගන්න බැරි චීටා සත්වයන් ලංකාවේ ඉන්නවාය කියලා. කෝඩිනර් පැහැදිලිවම මෙතනදි චීටා කියන්නෙත් අපි දන්න කියන දිවියා/කොටියට.

1855 වර්ෂය වෙද්දි එන සැමුවෙල් බේකර් , කෝඩිනර්ගෙ අඩිපාරේම ගිහින් ලංකාවෙ චීටා සත්වයන් ඉන්නවා කියලා සඳහනක් කරනවා.

තත්වය මෙහෙම භායානක වෙලා තියෙද්දි සෙන්සිබල් මනුස්සයෙක් මේ සීන් එකට එන්ටර් වෙනවා. හොඳ නිරීක්ෂකයෙක් වගේම තීක්ෂණ බුද්ධියක් තිබුනු මේ මනුස්සයා තමයි සර් ජේම්ස් එමර්සන් ටෙනට්. ටෙනට් 1861 දි ඉතාමත් පැහැදිලි සටහනක් කරමින් මෙහෙම කියනවා

” By the Europeans, the Ceylon leopard is erroneously called a cheetah, but the true ‘cheetah” [felis jubata (දැන් ටැක්සොනොමිස්ට්ලා රෙද්ද උස්සන් එන්න එපා felis jubata කිව්වට, මේ ඒ කාලේ විද්‍යාත්මක නාමය) ], the hunting leopard of India, does not exist in the island”

ටෙනට් පැහැදිලි සඳහනක් කරනවා ලංකාවේ ඉන්න දිවියා/කොටියව තමයි මේ වරද්දලා චීටා කියලා යුරෝපියයන් හඳුන්වලා තියෙන්නෙ, නමුත් ඔවුන් ලංකාවෙ නැති බව.

දැන් මේ උඩ මම විවිධ ග්‍රන්ථ සහ සටහන් වලින් උපුටනය කරපු දේ අනුව තේරුම් යන්න ඕන Tiger, leopard, Cheetah කියන නම් සියවස් කිහිපයකට කලින් ඉඳන්ම අවුල් සහගත තත්වයක තිබ්බ බව. මේකට හේතු වෙන ප්‍රධාන කාරනය තමයි යටත්විජිත යුගයේදි දේශාඨනයේ නියැලුන පුද්ගලයන් එ් කාලෙදි විලාසිතාවක් විදිහට යන යන රටවල වනජීවය ගැන සඳහනක් කිරීමට පුරුද්දක් කරගෙන තිබ්බ එක. අවාසනාවකට ප්‍රස්ද්ධිය සහ කීර්තිය සඳහා මේ වගේ සටහන් තැබුවට සත්ව විද්‍යාව ගැන නාම මාත්‍ර දැනුමක්වත් තිබුන පුද්ගලයන් නෙවෙයි වැඩි හරියක් මේ කාර්යේ නියැලෙන්නෙ. අන්න ඒ හේතුව නිසා පසුව එන අදාල විෂය ක්ශේත්‍රවල පුද්ගලයන්ට අච්චාරුවක් ඉතුරු කරලා තමයි පෙරැකි පුද්ගලයන් නික්ම යන්නෙ.

දැන් එතකොට 1830 තරම් පැරණි ශබ්දකෝශ තුල ” කොටියා = ceylon tiger ” දිවියා = spotted tiger ” වැනි යෙදුම් භාවිතා වෙන්න හේතු වෙන්නෙ පෙරැකී කාරණා. 1830 Clough ශබ්දකෝශයේ මේ වරද දකින්න පුළුවන්.

මන් හිතනවා Tiger = කොටියා ලෙස වැරදි භාවිතයක් ලංකාවේ ඇතිවෙන්න හේතුවුන කාරණයට ප්‍රමාණවත් පිලිතුරක් සැපයුවා කියලා.

දැන් ඊලඟට එන්න ඕන කාරණය තමයි ලංකාවෙ ඉන්න පුල්ලි තියෙන කහපාට හාදයට කියන හරි නම කොටියද ? දිවියද ? කියන එක.

ආදී ඉන්දු ආර්ය භාෂාවන් සලකලා බැලුවම සංස්කෘත සහ පාලි යන භාෂා ද්විත්වයෙනුත් පැරණිතම භාෂාව වෙන්නෙ සංස්කෘත. සංස්කෘත භාෂාවෙදි චිත්‍රකඃ පදයත් ද්වීපින් කියන පදයත් දෙකම මාරුවෙන් මාරුවට ව්‍යාඝ්‍රයා සහ දිවියා/කොටියා හඳුන්වන්න යොදාගන්නවා. පාලි භාෂාවෙදි දිවියා/කොටියව හඳුන්වන පදය තමයි “දිපි” . පාලියේදි එන ‘දිපි’ පදය සංස්කෘත භාෂාවේ ‘ද්වීපින්’ පදයෙන් බිඳී ආවක් බවට සැක කරන්න පුළුවන්. හැබැයි මෙතන වෙනස තමයි සංස්කෘතයේ ‘ද්වීපින්’ කියන පදය කොටියා සහ ව්‍යාඝ්‍රයා දෙදෙනාටම භාවිතා කලාට පාලියෙ එන ‘දිපි’ පදය භාවිතා කරන්නෙ දිවියා/ කොටියට පමණයි. ව්‍යාඝ්‍රයට පාලියෙන් කියන්නෙ ‘ව්‍යග්ඝ’. මම මේකට උදාහරණයක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ අනුබව නොකළයුතු මාංශ වර්ග දහයක්‌ ගැන සඳහන් කරනවා. මහාවග්ග පාළියේ හෙසජක්‌ඛන්ධකයෙහි සහ පාළිමුත්තක විනය විනිශ්චය දි මේ ගැන සඳහන් කරනවා. පිලිවෙලින් කිව්වොත්

“මංසෙසු පන මනුස්‌සහත්ථි අස්‌ස සුනඛ අභිසීහ ව්‍යග්ඝ දිපි අච්ඡ තරච්ඡානං වසෙන දස මංසානි අකප්පියානියි”

මේ දහය ඇතුලේ නෝට් කරන්න ‘ව්‍යග්ඝ’ සහ ‘දිපි’ කියන වචන දෙක වෙන් වෙන්ව සඳහන් වෙන ආකාරය. එතකොට බොහොම පැහැදිලියි ‘දිපි’ කියන්නෙ දිවියට/කොටියට. ඒකෙ වෙන භාවිතාවක් නෑ.

දැන් අපිට හිතාගන්න පුළුවන් අපි භාවිතා කරන ‘දිවියා’ කියන පදයේ මූලය. දිවියා බිඳෙන්නෙ පාලියේ ‘දිපි’ පදයෙන්. දිවියා කියන්නෙ පාලියෙන් එන පදයක්. දිවියා කියන පදයට පාලියෙන් නිශ්චිත භාවිතාවක් තිබුනට අවාසනාවකට ලංකාවෙදි මේ නම ඩයලූට් වෙනවා. සත්ව විද්‍යාව හො නාමකරණ විෂයන් ගැන අවශ්‍යතාවක් හෝ වගේ වගක් නැති ජනතාව පාලියෙන් බිඳුන දිපි පදය ලංකාවේ ඉන්න බිළාල කුලයෙ ඕනෑම සාමාජිකයෙක්ව හඳුන්වන්න භාවිතා කරන ජෙනරික් ටර්ම් එක බවට පත්කර ගන්නවා. සම්පූර්ණයෙන් නොවැඩුනු කොටියෙකු හා කලුවරේ පැනයන හොඳින් වැඩුනු අඳුන් දිවියකු අතර වෙනසක් නොදකින ගැමියා සමහර අවස්ථාවලදි මොවුන් දෙදෙනාටම දිවියා කියන නම භාවිතා කරනවා. ඒකෙ ගැටලුවක් ඔවුන් දකින්නෙ නෑ.. ආරක්ෂා වීම පමණයි ඔවුන්ගෙ අරමුණ.

තත්වය මෙහෙම තියෙද්දි වාසනාවකට මේ භුමිය තුලම අනාදිමත් කාලෙක ඉඳන් හැදෙනවා වචනයක් ‘කොටියා’ කියලා. කොටියා කියන්නෙ කොටියම විතරයි. අඳුන් දිවියට, කොල දිවියට කොටියා කියලා කියන්නෙ නෑ. ඒ නිසා ‘කොටියා’ කියන නාම භාවිතාව ඉතාමත් නිශ්චිතයි. ලංකාවෙ ඇතුලෙ ඉන්න බිළාල කුලයේ විශාලතම සාමාජිකයට භුමිය තුලින්ම ලැබෙන විශේෂිත අනන්‍ය නාමය ‘කොටියා’.

1960 ගනන්වලදි ලංකාවේ හිටපු විශිෂ්ට බුද්ධිමතෙක් විදිහට සලකන්න පුළුවන් ඉතාමත් අග්‍රගන්‍ය සත්වවේදියකු වන පෝල් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහත්මයා තහවුරු කරගන්නවා ලංකාවේ ඉන්න දිවියා/කොටිය ලංකාවට අනන්‍ය උප විශේෂයක් බවට. එහෙම තහවුරු කරගන්න උප විශේෂයට එතුමා ලබා දෙන විද්‍යාත්මක නාමය තමයි ‘පැන්තෙරා පාර්ඩුස් කොටියා’… උප විශේෂ නාමයට ‘කොටියා’ කියන පදය එකතු කරන්න එතුමා උත්සුක වෙන්නෙ පෙරැකී ව්‍යාකූල තත්වයන්ගෙන් තොරව ලංකාවේ බිහිවුන අනන්‍ය සිංහල නාමයක් ලබාදෙන බලාපොරොත්තුවෙන් (මම එහෙම කියන්නෙ මොන පදනමකින්ද ? කියන ගැටලුව එන්න පුළුවන්. එහෙම කියන්න රීසන් එක තමයි දැරණියගල නම් කරපු හැම විද්‍යාත්මක නාමයකටම ලාංකීය අනන්‍යතාවයක් එක්ක සිංහල ලකුණක් ලැබෙන විදිහෙ නාමකරණයන් තමයි එතුමා සිදුකරලා තියෙන්නෙ. උදාහරණයකට 1962 දි එතුමා විසින් සොයාගනු ලබන ටූත්ඩ් වේල් විශේෂයට එතුමා ලබාදෙන විද්‍යාත්මක නම ‘මීසෝප්ලොඩෝන් හොටඋලා’. අදටත් සිංහල නමක් සහිත ලොව එකම තල්මස් විශේෂය තමයි හොටඋලා) එහෙම නැත්තන් එතුමාට ලෙහෙසියෙන්ම පැන්තෙරා පාර්ඩුස් දිවියා කියලා නම් කරන්නත් තිබුනානෙ. එසේ කලේ නැත්තෙ මේ ඇතිවෙලා තිබෙන කන්ෆියුශන් එකෙන් ගලවාගැනීම සහ අනන්‍ය සිංහල නමක් ලබාදීම කියන මූඛ්‍ය පරමාර්ථයන් ඇතිව කියලා මම විශ්වාස කරනවා මොකද එතුමාගේ සත්ව නාමකරණය වගේම ඉතිහාස ආඛ්‍යාන නැවත ගොඩනැගිමේදිත් දේශීයත්වය පිළිබඳව යම් යම් සලකුණු සහ ඉඟි ඉතිරි කිරීම පුරුද්දක් වශයෙන් සිදුකල දෙයක් බව ජේශ්ඨ දැරණියගල මහත්තයගේ පර්යේෂණ සහ ලේඛන පරිහරණය කරපු කෙනෙක්ට කියන්න පුළුවන්.

ඒ හින්දා මේ ඉන්නේ කොටියා.

~ Don Supz

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan