රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ (LNW):
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නව විගණන වාර්තාවක් අනුව පසුගිය සමය තුළදී රජයට සිදු වූ තවත් විශාල පාඩුවක තොරතුරු හෙළිවී ඇත.
එනම්, විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබූ විද්‍යුත් වාහන 510 සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අය කරගත හැකිව තිබූ රුපියල් මිලියන 1,384ක බදු ආදායමක් අහිමි වී ඇති බව හෙළිදරව් වී ඇති බව පැවසේ.
ඒ අනුව, විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව අයැදුම්පත් භාර ගැනීම, පරීක්ෂා කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදු කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එම නිසා මෙකී යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ ලෙස විනිවිදභාවය කඩකර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
තවද, බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපි ගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබීමත් ඒ අනුව මෙකී බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ කිසියම් ආකාරයකින් අක්‍රමිකතා හෝ අවභාවිත වීමක සිදු නොවූයේ යැයි විගණනයට බැහැර කළ නොහැකි බව මෙකී වාර්තාවේ සඳහන් වේ.
විද්‍යුත් වාහන සඳහා තීරුබදු නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරි ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ ආනයන අපනයන පාලක වෙත මෙකී යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී බලපත්‍ර නිකුත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණු නමුත් , ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශීය රැකියා අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයා විසින් එම කටයුතු පවරාගෙන තිබූ බව පැවසේ.
මේ නිසා හිටපු ලේකම්වරයා අධිකාරි බලය අව භාවිත කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇති අතර , මෙකී යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට නම් 2022 වර්ෂයේ මැයි මස 1 වන දා සිට 2023 සැප්තැම්බර් මස 15 වන දා දක්වා කාලසීමාව තුළ විදේශ රටක සේවා නියුක්තව සිටින අයෙකු විය යුතුය.නමුත් , මේ බව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් අමාත්‍යාංශය විසින් අනුගමනය කර නොතිබිණි.
එම විගණනය මගින් අනාවරණය කොට ඇති තොරතුරු පහත ආකාරයෙන් සටහන් කොට ඇත.
විදේශගත නොවූ පුද්ගලයන් හතර දෙනෙකු වෙනුවෙන් අදාළ නීතිරීති රෙගුලාසි නොසලකා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබිණි. මෙකී පුද්ගලයන් 04 දෙනාගේ බැංකු ගිණුම්වලට අදාළ කාලසීමාව තුළ අමෙරිකානු ඩොලර් 445,942ක විදේශ ප්‍රේෂණ ලැබී තිබිණි. විදේශගත නොවූ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සඳහා ලැබී තිබූ මෙම විදේශ ප්‍රේෂණ මුදල් විශුද්ධිකරණය මඟින් හෝ වෙනත් අනීතික ආකාරයෙන් ලද මුදල් නොවන බවට තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබිණි.