බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වූ අතර එහිදී, ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්, හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන අතර, පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදුවූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීම අගය කළ අතර, එම කැපවීම නිසාම විදුලිය ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවද සඳහන් කළේය .

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ රජය පවත්වාගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කියා සිටි අතර, මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන ලෙසත් ඒ සඳහා පූර්ණ ලෙස මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය .

දිස්ත්‍රික්කයේ විනාශ වූ මහාමාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතුවලදී මතුව ඇති ගැටලු සඳහා අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසමින් එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

කලාඔය පහළ පාලම ඉදිකිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන පරිදි තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිකිරීම් සිදු කිරීමේදී එහි අත්‍යාවශ්‍යතාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සහ නිසි ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය .

එමෙන්ම විශාල ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයකින් සහ අවශ්‍ය ප්‍රතිඵල සපුරා ගැනීමකින් තොරව අතහැර දමා තිබෙන ආකාරයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඉදිකිරීම් සිදු කිරීමේදී ප්‍රදේශයක් ලෙස පමණක් නොව රටක් ලෙස ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය

දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා එය කඩිනමින් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ජල සැපයුම යථාවත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසීය. දිස්ත්‍රික්කයේ ළිං පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසද පළාත් පාලන ආයතන වෙත උපදෙස් දුන්නේය

දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා වගාවන් සඳහා සුදුසු පරිසරයක් කඩිනමින් ගොවි ජනතාවට සකස් කර දෙන ලෙසත්, විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් අත හැරෙන භූමි ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

දෙසැම්බර් 25 වනදාට පෙර ගොවින්ට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා නිම කරන ලෙසත්, එම වන්දි ගෙවීමේදී රක්ෂිතයේද, නිත්‍යානුකූලද නොසළකා වන්දි ලබා දෙන ලෙසත්, රක්ෂිතවල වගාව වැළැක්වීමට ක්‍රමානුකූලව පියවර ගන්නා ලෙසත් කියා සිටියේය..

කල්පිටිය වැනි ප්‍රදේශවල පාංශු සංරක්ෂණ කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

සත්ව කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපායමාර්ග යළි නගා සිටුවීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා බිම් මට්ටමින් නිවැරදි තොරතුරු අවශ්‍ය බවත්, සෑම සත්ව ගොවිපොළක්ම ලියාපදිංචි කිරීම වෙනුවෙන් නීති හඳුන්වාදීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 627කට පූර්ණ හානි සිදුව තිබෙන අතර නිවාස 20,813කට අර්ධ හානි සිදුව තිබේ. එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය වන්දි ලබා දීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වල පදිංචි කරවීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, රජයේ ඉඩමක් සැපයිය නොහැකි නම් ඉඩමක් මිලදී ගැනිම වෙනුවෙන් හිමිවන මිලියන 05ක මුදල ඔවුන්ට ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත.

එමෙන්ම පූර්ණ නිවාස හානි වූ ජනතාවට නිවාස ඉදිකරදීමේදී ලක්ෂ 50ක නිවසක හිමිකම ලැබෙන අයුරින් නිසි සැලැස්මක් අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ධීවර කර්මාන්තය පිළිබඳවද මෙහිද අවධානය යොමු වූ අතර හානි වූ ධීවර බෝට්ටු අලුත්වැඩියා කර ගැනීම සඳහා ආධාර ලබාදීම මෙන්ම ඉස්සන් ගොවිපොළ සඳහා සාධාරණ වන්දි මුදල් සහ බැංකු හරහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත.

හලාවත රෝහලේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලු අතර ලබන සතිය වන විට රෝගීන් නැවත ඇතුලත් කර ගැනීමේ සහ ඒකක කිහිපයක කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරිහු පෙන්වා දුන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...