*
Friday, May 17, 2024
spot_img

Latest Posts

වම්මුත් කරගහගෙන යන “ඒකීය රාජ්‍යය” මාක්ස්වාදීද ? ෆැසිස්ට්වාදීද ?

නූතන ජාතික රාජ්‍යය යනු බොහෝදුරට යම් නිශ්චිත සංකෘතික ප්‍රජාවක් විසින් නිර්මාණය කරගත් පරිපාලන ඒකකයකි. එසේම එකී නිශ්චිත සංකෘතික ප්‍රජාවකින් සැදුම්ලත් ජාතියට ඇතුලතක් මෙන්ම පිටතක්ද තිබේ.
එමෙන්ම එකී සංකෘතියට අයිති ජනයා අතර පොදුබවක් සහ එකම බාෂාවක් හා ආගමක් සහ එකම ඉතිහාසයකට උරුමකම් කියන අතීතය පිළිඹද සමාන ස්මරණ තිබෙන සහ එකම වීරයන් සහ එකම සතුරන් සිටින එකම සාමූහික පොදු තර්ජනයන්ට මුහුණපාන ඒකකත්වයක් ඇත.

බොහෝවිට නූතන දියුණු ලෝකය තුල ජාතිය යනු හුදු පරිකල්පිත ප්‍රජාවක්බවට පත්වෙමින් තිබුනද ලෝකයේ කුඩා කුඩා සංකෘතීන් තුල පමණක් නොව චීනය වැනි සමාජවාදී යැයි කියන මහා රාජ්‍යයන්වල මෙන්ම තාමත් ඇමරිකාව වැනි දැවැන්ත ලිබරල් රාජ්‍යයන්වල පවා අදෘෂමාන ලෙස මේ ජාතික ආවේශය නැවතත් පුනස්තාපනය වෙමින් තිබේ.

මෙහිදී ප්‍රමාණයෙන් කුඩා යම් සංකෘතික ප්‍රජාවකට පිටත සිටින අධිපති සංකෘතිකක ප්‍රජාවක් විසින් (අදිපති ජාතියක් විසින්) බලහත්කාරම් කිරීම බාහිර අතපෙවීමක් ලෙස නුතන ලෝකය තුල සැලකේ. එසේම යම් කුඩා සංකෘතික ප්‍රජාවක් වෙසෙන බූමියක් තුලට එකී බූමියට ව්‍යාජ අයිතිවාසිකම් කියමින් අධිපති ජාතියක් විසින් හමුදාව යෙදවීම අධිරාජ්‍යවාදයක් ලෙස අර්තකතනය කල හැක.

ලංකාවට අදාලව මේ ප්‍රස්තුතය විග්‍රහ කරගැනීමේදී උතුරු පලාතේ ජීවත්වෙන්නේ දෙමළ බාෂාව කතාකරන සහ හින්දු ආගම අදහන වෙනම ජනකොට්ඨාශයක් බව පැහැදිලිය. එහිදී ඔවුන් වෙසෙන බූමියේ ස්වයං තීරණය පිළිඹඳ ඉතිහාස තීන්දුව ඇත්තේ එකී ප්‍රදේශයේ ජීවත්වන ඔවුන් සතුවය. එසේ නොමැතිව දකුණේ සිංහල බෞද්ධ අධිපති කතිකාව විසින් බලහත්කාරයෙන් ඔවුන්ගේ ඇඟේ ගසන ඒකීය රාජ්‍යය තුල නොවේ…

දකුණේ සිංහල බෞද්ධ ආන්ඩු විසින් “බාහිර අතපෙවිම්” “අධිරාජ්‍යවාදී බලපෑම්” යන යෙදුම් වලින් බටහිර සතුරෙකුට දමා ගැසුවද ඒ යෙදුම් සැබැවින්ම අදාල වෙන්නේ තමන්ගේ අතින්ම බැටකන අසල්වැසි සංකෘතික ප්‍රජාවකට එරෙහි තමන්ගේම අදිපති බාවිතාව සම්බන්දවය. මෙහිදී ඒකීය රාජ්‍යය කතිකාව යනු උතුර සම්බන්දව සිංහල බෞද්ධයාගේ පුරානෝක්තිගත ව්‍යාජ පරිකල්පිත අයිතිවාසිකමකි.

එසේම මේ පරිකල්පිතය සකස්වී ඇත්තේ ඉතිහාසයේ සිට පැවත එන සිංහල බෞද්ධ රාෂ්ඨ්‍ර පාලකයන් විසින් දමිළ සොළී මිසදුටු ආක්‍රමණ යුධමය වශයෙන් නැවත නැවතත් පරාජය කර යලි යලිත් සිංහල බෞද්ධ අභිමානය ස්තාපිත කලේය සහ එසේ හෙයින් ඒකීය බූමිය සිංහල බෞද්ධයාගේ දෙදාස් පන්සිය වසරක නිර්මල උරුමයයි යන දෘෂඨිවාදයෙනි. ඇතැම් විට මේ පුරාණ ලෙජන්ඩ්වල සුළු සුළු සත්‍යතාවයන් තිබුනා වුවද මේ ගෝලීය සියවස තුල පරවෙණි නිජබිම් උරුමය වූකලී තවත් එක් ගෝත්‍රික උරුමයක් පමණි.

ලොව බොහෝ දියුණු රාජ්‍යයන්වල වර්තමානයේ වාසය කරන්නේ එහි පුරාණ පදිංචිකරුවන් නොවේ.

මෙහිදී අධිපති ජාතීන් විසින් සුළු ජාතින්ට බලපෑම් කිරීම සම්බන්දව මාක්ස් ගේ අදහස නම් ” අන් ජාතීන් පාගාගෙන සිටින ජාතිය තමන්ගේම වහල්බැමි තවතවත් තදකරගනිමින් සිටී” යන්නය. එසේම එංගලන්තයේන් නිදහස්වීමට අයර්ලන්තය කල අරගලයේදී මාක්ස් ඒංගල්ස් කොන්දේසි විරහිතව අයර්ලන්තය වෙනුවෙන් පෙනීසිටියේය.

මෙහිදී ලෙනින් සඳහන් කරන ජාතීන්ගේ ස්වයංතීරන අයිතිය තුල විස්තර කෙරෙන්නේද මහා ජාතියෙන් වෙන්වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට සූලු ජාතියට ඇති ස්වායක්ත අයිතිය පිළිඹඳවය. මෙහිදී බොහෝවිට සිදුවන්නේ මහා ජාතියේ ස්වෞත්තම වාදය විසින් සුළු ජාතීන් කැඩී වෙන්වෙන තැනට අදාල සියළු තත්වයන් නිර්මාණය කරදීමය. මේ තත්වය තුල පීඩිත ජාතියේ ජාතිකවාදය පීඩක ජාතියේ ජාතිකවාදයට වඩා යුක්තියුක්ත බව මාක්ස් විසින් මෙන්ම ලෙනින් ලෙනින් විසින්ද පෙන්වාදී තිබේ.

ලංකාවට අදාලව මේ ගැඨළුව විග්‍රහකරගැනීමටද වඩාත් උචිත වන්නේ මේ මාක්ස්ගේ හා ලෙනින්ගේ ප්‍රවේශයන්ට අනුව යැයි මමද විශ්වාස කරමි.

නමුත් අවාසනාවකට ලංකාවේ බොහෝ වාමාංශිකයන් මෙහිදී පෙනීසිටියේ ඒකීය රාජ්‍යය වෙනුවෙනි.(පීඩක මතවාදය වෙනුවෙන් ) ඒ තුලින් ඔවුන් උත්සාහ කලේ දකුණේ “ඒකීය” ජනප්‍රිය වාදය හරහා සිංහල බහුතරයේ ජනමතය දිනාගැනීමටය. එහිදී ඒකීය රාජ්‍යයට පක්ෂපාතී ස්වකීය ස්තාවරය ප්‍රකාශකිරීමෙන් නොනැවතුන ජ.වි.පෙ.වැනි පක්ෂ දෙමළ ජනවාර්ගයට එරෙහි යුද්ධයට බෞතිකවද මතවාදීවද දැවැන්ත තල්ලුවක් දුන්නේය.

දෙමළ ජනවාර්ගයට එරෙහි යුද්ධය උච්චස්තානයකට ලංවූ එක් අවස්තාවක සාමාන්‍ය ජනයා ඉලක්ක වෙන බර අවි ප්‍රහාර රාජපක්ෂ පාලනය විසින් ජාත්‍යන්තර බලපෑම් මත නතර කලේය. එහිදී යුධ උන්මාදයේ උපරිමයට පැමිණ තිබූ ජ.වි.පෙ. බර අවි ප්‍රහාරය නතරකල කිරීම ගැන රාජපක්ෂ ආන්ඩුවට දෝෂාරෝපණය කලේය. බොහෝවිට ජ.වි.පෙ. එහිදී බලාපොරොත්තු උනේ ඔවුන්ගේ බලපෑම් මත නැවත පත්තුවෙන බර අවි වල ගොදුරු වෙන දෙමළ මළකඳන් වෙනුවෙන් දකුණේ සමාජයෙන් ලැබෙන ජාතිවාදී ඡන්දවලින් කොටසක් ලාබෙට ඩැහැගැනීමය.

පසුව නන්දිකඩාල් වලදි රුධිර ගංගාවක් මැද යුද්ධය අවසන්වීමත් සමඟ උතුරේ සමාජය ඇදවැටුන ඛේදජනක ඉරණම සම්බන්දව දකුණේ සිවිල් සමාජය තුල ඇතිවූ පස්චත්තාපය මැද ජ.වි.පෙ. තමන්ගේ යුද්ධයට බැකප් කිරීමේ ස්තාවරය වහා වෙනස්කරගන්නා බවක් දක්නට ලැබින.(මේ සඳහා මංගල වැන්නවුන්ගේ මතවාදී බලපෑම්ද හේතු උනි) පසුව අනුර කුමාර විසින්ම තමන්ගේ පැරණි මතවාදී ස්තාවරයන් වැරදි බව පිළිගත්තේය.

නමුත් එයද ගැඨළුවෙන් ලිස්සා යෑමකි. මන්ද දැනුදු ඔවුන් දෙමළ ජනයාගේ ස්වයංතීරන අයිතිය පිළිගන්නේද නැද්ද යන්න ඝෘජුව ප්‍රකාශ නොකරයි. මෙහිදී අනුර කුමාර විසින් දෙමළ ජනයා සම්බන්දව ඔවුන් වෙනස්කරගත්තා යැයි කියන ස්තාවරය බර අවි ප්‍රහාර ගැන කතාව පමණද ..? එතකොට සැහැල්ලු අවිවලින් කරන මර්ධනය වලංගුද ..? බොහෝවිට ඔවුන්ගේ මේ අතරමැද අස්තානය වූ කලී දකුණේ ඒකීයරාජ්‍ය වාදීන්ද උතුරේ දමිළ ජනයාද යන දෙකොඨ්ටාශයම බැලන්ස්කරගැනීමට යෙදූ තක්කඩි උපායකි.

මෙහිදී ජ.වි.පෙ.යෙන් බිඳුන පෙරටුගාමී පක්ෂයේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ද ස්තාවරය වන්නේ විජේවීරයන්ගේ පරණ ස්තාවරය වූ සමාජවාදී පාලනයක් තුල ලබාදෙන පෙඩරල් ක්‍රමයක් පිළිබඳවය. මෙහිදී ඔවුන් සඳහන් කරන සමාජවාදයද ඒකීය රාජ්‍යය මෙන්ම බලෙන් දෙමළ ජනයාගේ ඇඟේ ගහන ප්‍රොජෙක්ට් එකකි. මන්ද උතුරේ ජනයා ඉල්ලන්නේ ඔවුන්ගේ ස්වයංතීරන අයිතිය මිස සමාජවාදයක් නොවන නිසා ය. එහිදී පෙරටුගාමීන්ගේ සමාජවාදී යුටෝපියාව මතු කවදාහෝ යථාර්ථයක් වන තුරු එතෙක් දෙමළ ජනයා ඉවසා දරා සිටිය යුතුය.

වි.කො.ස. (වර්තමාන ස.ස.ප.) වැනි වාමවාදී පක්ෂ පෙඩරල් බලය බෙදීමකට විරුද්ධවී සිටින්නේ ඒ හරහා කුඩා කුඩා වඩාත් දුර්වලවූ රාජ්‍යයන් දෙකක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි යන අස්තානයේ සිටය. නමුත් මේ තර්කය සාධාරණ වන්නේ වාරි ආර්ථිකය සඳහා මහා පරිමාණ බූමිය වැදගත්ව තිබූ වැඩවසම් ක්‍රමයට අදාලව පමණි. නූතන ලෝකය තුල රාජ්‍යයක දියුණුව පදනම් වන්නේ තාක්ෂණය හා ආකල්ප යන ප්‍රස්තුතයන් මතය. විශේෂයෙන් මේ යුගයේ දැවැන්ත බූමියක් හිමි දිළිඳු රාජ්‍යයන් මෙන්ම ඉතා කුඩා බූමියක් හිමි අති ධනවත් රටවල්ද ඇත.

ජාතීන් දෙකකට සංවාද කලහැකි සන්නිවේදනය මධ්‍ය ඇත්තේ ජාතිකවාදය ඇතුලත නොවේ. හේතුව ජාතිකවාදයන් හැමවිටම ප්‍රතිවාදී ජාතිකවාදය වෛරයෙන් බැහැරකරන හෙයින්. එහිදී ජාතිකවාදයන් දෙකකට යම් එකඟතාවකයකට පැමිණීම සඳහා සංවාදකිරීමට පළල් මාධ්‍යයක් හොයාගත යුත්තේ පිටතිනි. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ මාක්ස්වාදය යන තන්ත්‍රයන් දෙක ඒ සඳහා උචිත මූලාශ්‍රයන්වේ. හේතුව මේ තන්ත්‍රයන් දෙකම විශව මිනිස් පීඩාවන්ට සංවේදී වීමය. නමුත් අවාසනාවකට වි.කො.ස. වැනි මාක්ස්වාදී න්‍යායේ ලාංකීය උරුමකරුවන් යැයි කියාගන්නා අයටද මාක්ස්වාදයේ හරය මගහැරී වටෙන් වටෙන් සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය දූපත්වාදයක පැටලී ඇත …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan