(2022 නොවැම්බර් 30 වැනි බදාදා දින Daily FT හි ආගන්තුක තීරු ලිපි රචක, රාජ් ගොන්සාල්කෝරලේගේ ‘ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම’ ලිපිය පිළිබඳ අදහස් කිහිපයක්) – සිංහල පරිවර්තනය
දිනේෂ් දොඩම්ගොඩ විසිනි
සිංහල, දෙමළ සහ මුස්ලිම් දේශපාලන නියෝජිතයන් අතර බලය බෙදා ගැනීමෙන් ජනවාර්ගික ප්‍රශ්නය විසඳී, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, බහුවිධ සමාජයක් සහතික කෙරනු ඇති බව 2022 නොවැම්බර් 30 වැනි බදාදා දින Daily FT ආරාධිත තීරු ලිපි රචක රාජ් ගොන්සාල්කෝරළේ, සිය ලිපියෙහි තර්ක කරයි.
‘ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම’ නම් ඔහුගේ ලිපියෙහි රාජ් විශ්වාස කරන්නේ බලය බෙදා ගැනීමේ විසඳුම දිගුකල් පවතිනු ඇති බවයි. කෙසේ වෙතත්, බලය බෙදා ගැනීමේ ගෝලීය අත්දැකීම් පෙන්වා දෙන පරිදි, බලය බෙදා ගැනීමේ ආයතනවලට බෙදී ගිය තිරසාර සාමයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික කළ නොහැක.
බලය බෙදාගැනීම
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව, උතුරු අයර්ලන්තයේ ගැටුම් පිළිබඳ එලැඹුනු කෙටි කාලීන විසඳුම සමඟ 1972 දී ‘බලය බෙදා ගැනීම’ (power-sharing) යන යෙදුම ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් විය. කොන්සොසියේෂනල් (Consociational) නම් වූ න්‍යාය මත පදනම්ව බලය බෙදා ගැනීමේ ක්‍රමය යෝජනා කළ න්‍යායාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් (Arend Lijphart), දේශපාලන තීරණ ගැනීමේදී සියලු වැදගත් කණ්ඩායම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වය සුරක්ෂිත කරන යාන්ත්‍රණයක් ලෙස බලය බෙදා ගැනීම සලකන අතර, ජනවාර්ගික හෝ ආගමික වශයෙන් බෙදී ඇති සමාජයක, බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් මඟින් රාජ්‍ය තීරණ ගැනීමේ දී සියලු වැදගත් වාර්ගික-ආගමික කණ්ඩායම්වල ප්‍රභූ දේශපාලන නියෝජිතයින් සම්බන්ධ කර ගැනීම සහතික කළ යුතුය.
බලය බෙදා ගැනීමේ උපාය මාර්ගයේ යෝජකයන්ට අනුව, නියම කොන්දේසි යටතේ, යෝජනා කර ඇති ආකාරයට කොන්දේසි හතක්, බලය බෙදා ගැනීමේ ආයතනවල සාර්ථකත්වයට දායක වන බව දැක්විය හැකිය. එම කොන්දේසි වනුයේ: බලය බෙදා ගැනීමේ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රභූ ආධිපත්‍යයක් තිබීම; ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල දැකිය හැකි පරිදි කණ්ඩායම් අතර මතවාදී වෙනස්කම් ඇති වන විට, ගැටුම්වලට යොමු නොවී සාකච්ඡාමය විසඳුම් සොයා ගැනීමට නැඹුරුවක් ඇති සමාජ සංස්කෘතියක් පැවැතීම; බලය බෙදා ගැනීමේ ගිවිසුමට ගරු කිරීමට සියලු පාර්ශවකරුවන්ගේ අවංක කැපවීම; ඵලදායී හා සුජාතභාවය සහිත ආණ්ඩුවක් සහ පරිපාලන නිල-බල ක්‍රමයක් සුරක්ෂිත කිරීමට අවශ්‍ය ශක්තිය රාජ්‍යයට තිබීම; නිසි ලෙස සම්පත් බෙදා හැරීමේ යුක්තිය පසිඳලීමට පහසුකම් සපයන ආකාරයේ ආර්ථික සමෘද්ධියක් සහ සමානාත්මතාවයක් සමාජය තුළ තිබීම; බලය බෙදා ගැනීමේ ගිවිසුමේ එකඟ වූ සමානුපාතික ක්‍රමයට බලපෑ හැකි බැවින්, ජනවාර්ගික කණ්ඩායම් අතර ස්ථාවර ජන අනුපාතයන් දිගටම පවත්වාගෙන යාම; සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සුබවාදී සබඳතාවයක් පැවතීම යන හිතකර කොන්දේසි හතය.
බලය බෙදා ගැනීමේ ගිවිසුමක සාර්ථකත්වයට හිතකර වන එකී කොන්දේසි රැසක් ශ්‍රී ලංකාවට නොමැති බව තේරුම් ගැනීම පහසු ය. බලය බෙදාගැනීමේ උපාය මාර්ග පිළිබඳ විවේචකයන් පෙන්වා දෙන්නේ, ජනවාර්ගික වශයෙන් බෙදී ඇති සමාජවල මෙම හිතකර තත්ත්වයන් දැකීම විරල බවත්, සාමාන්‍යයෙන් ගැටුම් අවසානයේ – විශේෂයෙන්ම තීව්‍ර සිවිල් යුද්ධවලින් පසුව මෙම හිතකර කොන්දේසි දැකීම ඉතාමත්ම විරල බවත් ය.
සමකාලීන යථාර්ථයන්
‘පළමුව පැමිණියේ කවුද, ජනාවාස පිහිටවූයේ වූයේ කවුද’ යන්න පිළිබඳ විවාද කරමින් සිටිනවාට වඩා, වර්තමාන සහ අනාගත පරම්පරාවට වඩාත් ප්‍රයෝජනවත්, සමකාලීන යථාර්ථයන් මත පදනම් වූ විසඳුමක් සෙවිය යුතු බවට රාජ් යෝජනා කරයි. ඔහුගේ අරමුණ සමකාලීන යථාර්ථයන් මත පදනම්ව විසඳුමක් සෙවීමට නම, ඔහු කිසි විටෙක බලය බෙදා ගැනීමේ විසඳුමක් යෝජනා නොකරනු ඇත. එයට හේතුව, බලය බෙදීමේ විසඳුම අසාර්ථක බව ලොව පුරා සමකාලීන යථාර්ථයන්ගෙන් පැහැදිලි වීමයි.
බොහෝ බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයන්හි සිදුවූයේ ජනවාර්ගික ආගමික ගැටුම් නිර්මාණය කිරීමට, නඩත්තු කිරීමට හෝ අවසන් කිරීමට දායක වූ පක්ෂ සහ කණ්ඩායම් වල සිටින ප්‍රභූ පැලැන්තියට බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය හරහා බලය ලබා දීමයි. එබැවින්, ඔවුන්ට ලබා දෙන බලය, විශේෂයෙන්ම ගැටුමේ ප්‍රචණ්ඩකාරී අවධිය අවසන් වී, සාමය ඇති වූ විට, වඩාත් රැඩිකල් ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා බලපෑම් කිරීමට මෙම ප්‍රභූන්ගේ හැකියාවන් වැඩි දියුණු කරයි. මෙම හැකියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ සාමයට තර්ජනයක් විය හැකි ආකාරයෙන් ගැටුම උත්සන්න කිරීමට මෙම ප්‍රභූ පැලැන්තියට අවස්ථාව සහ බලය ලබා දෙයි. විශේෂයෙන්ම සිවිල් යුද්ධ වැනි දරුණු ගැටුම්වලින් පසුව බොහෝ රටවල මෙම තත්ත්වය දක්නට ලැබේ.
2002 දී කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ප්‍රමුඛතම න්‍යායාචාර්යවරයා වූ අරෙන්ඩ් ලෙයිෆාර්ට් (Arend Lijphart), විසිවන සියවසේ බලය බෙදාගැනීමේ පාලන තන්ත්‍ර දහසයක් (16) ලැයිස්තුගත කළේය. එහෙත්, පිලිප් ජී. රෝඩර් පෙන්වා දෙන්නේ, එකී රටවල් දහසය අතරින්, (සුරිනාමය 1958-1973), නෙදර්ලන්ත ඇන්ටිලස් (1950-1985) සහ උතුරු අයර්ලන්තය (1999-1999) ස්වාධීන රාජ්‍ය නොවන බවත්, එමෙන්ම, තවත් හතරක් (ඔස්ට්‍රියාව 1945- 1966, නෙදර්ලන්තය 1917-1967, ලක්සම්බර්ග් 1917-1967, සහ කොලොම්බියාව 1958-1974) ජනවාර්ගික වශයෙන් බෙදී ගිය සමාජ නොවන බවත්, චෙකොස්ලෝවැකියාවේ බලය බෙදා ගැනීමේ සිව් අවුරුදු අත්හදා බැලීම (1989-1993) රට බෙදී යාමෙන් අවසන් වූ බවත් ය. එසේම, සයිප්‍රසය (1960-1963) සහ ලෙබනනයේ (1945-1975) අත්හදා බැලීම් සිවිල් යුද්ධ වලින් අවසන් විය. මැලේසියාවේ (1955-1969) බලය බෙදාගැනීමේ අත්හදා බැලීම ඉතා අවදානම් සහගත වන අතර, මැලේසියාවේ එක ජනවාර්ගික වශයෙන් වෙනස් වූ කලාපයක් (සිංගප්පූරුව) බෙදී වෙන් විය / සමූහාණ්ඩුවෙන් නෙරපා හැරුණි. එසේම, වාර්ගික වශයෙන් වෙනස් වූ මැලේසියාවේ සබා රාජ්‍යය වෙන්වීම සන්නද්ධ උපක්‍රම මගින් වැළැකී ඇත. මැලේසියාවේ කොන්සොසියේෂනල් රජය පුළුල් වාර්ගික ප්‍රචණ්ඩත්වයකින් අවසන් විය. එමෙන්ම, ෆීජි හි වසරක බලය බෙදා ගැනීමේ අත්හදා බැලීම (1999-2000) හමුදා කුමන්ත්‍රණයකින් අවසන් විය. දකුණු අප්‍රිකාවේ (1994-1996) බලය බෙදා හැරීමේ විසඳුම සාමකාමී ලෙස බහුතරවාදයට නැඹුරු වී ගියේය. අරෙන්ඩ් ලෙයිෆාර්ට් සාර්ථක යැයි කියූ විසි වෙනි සියවසේ බලය බෙදා ගැනීමේ අත් හදා බැලීම් වලින් මෙතෙක් සාර්ථක වී ඇති ජනවාර්ගික වශයෙන් බෙදී ගිය රටවල් වන්නේ, ස්විට්සර්ලන්තය (1943 -), බෙල්ජියම (1970 -), සහ ඉන්දියාව (1947 -) පමණකි.
එබැවින්, සමකාලීන යථාර්ථයන් බලය බෙදා ගැනීමේ විසඳුමකට අනුබල නොදෙන බව තේරුම් ගත හැකිය. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ යාන්ත්‍රණයක් ලෙස බලය බෙදා ගැනීම ශ්‍රී ලංකාව සඳහා ඇති විසඳුම බව පෙන්වීමට බොහෝ උත්සාහයන් ගත්තද, බලය බෙදා ගැනීමේ උපාය මාර්ගය මෙතෙක් අසාර්ථක වී ඇත.
බලය බෙදා ගැනීමේ අන්තරායන්
ඩොනල්ඩ් රොත්චයිල්ඩ් සහ පිලිප් ජී. රෝඩර් වැනි බලය බෙදා ගැනීමේ උපාය මාර්ගයේ සාර්ථකත්වය ඇගයීමට ලක් කළ පර්යේෂකයෝ, බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයන් තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට තර්ජනය කරන කොන්දේසි හතක් නිරීක්ෂණය කළහ: බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයෙහි දේශපාලන තීරණ ගැනීමේ භාවිතයන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් සම්මත තරගකාරීත්වයෙන් බැහැර වන බැවින් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරයි; බලය බෙදා ගැනීමේ ආයතන විසින් ජනවාර්ගික කණ්ඩායම්වල නායකයින් බලය බෙදාගැනීමේ ගිවිසුමට අභියෝග කිරීමට හැකි ලෙස නිෂේධ බලය වැනි ආයතනිකමය ආයුධ සහ විධික්‍රමවලින් බල ගන්වනු ලබයි; බලය බෙදා ගැනීමේ උපායමාර්ගය මගින් බලය සහ සම්පත් වාර්ගික කණ්ඩායම් අතර බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, එසේ කිරීමේදී සමානුපාතිකත්වයේ මූලධර්මය පමණක් අනුගමනය කරන බැවින්, සමානුපාතිකත්වයේ නීති එක් කණ්ඩායමකට හෝ වෙනත් කණ්ඩායමකට අසාධාරණ ලෙස අවාසිදායක වන්නේද යන්න බොහෝ විට විවාදයට ලක් වී ඇත; ජනවාර්ගික ප්‍රභූ පැලැන්තියේ බලය බෙදා ගැනීම සඳහා වූ කැපවීම්වල දී මුලින් අවංකව කටයුතු කළද, ‘දෙවන පරම්පරාවේ ගැටලුව’ යනුවෙන් හඳුන්වන එම කණ්ඩායම තුළම වඩාත් රැඩිකල් නායකයින් මතුවීම නිසා බලය බෙදීමේ ගිවිසුමේ එකඟතා නොසලකා කටයුතු කිරීමට ඔවුන් තල්ලු වන බව සර්බියානු බලය බෙදාගැනීමේ අත්දැකීමෙන් ද පැහැදිලි වේ; බලය බෙදා ගැනීමේ ආයතන සැලසුම් කර ඇත්තේ රාජ්‍යයේ නියෝජිතත්වය පුළුල් කිරීම සඳහා වන බැවින්, මෙම පුළුල් නියෝජනය වඩාත් වැදගත් රාජ්‍ය කාර්‍යක්ෂමතාව හීන කරයි; බලය බෙදීමේ ගිවිසුමට ඇතුල් වීමේදී ඒ මොහොතේ පවතින සමාජ තත්ත්වයන් පදනම් කර ගනිමින් බලය බෙදාගැනීමේ ගිවිසුමට ඇතුළු වන අතර, විශේෂයෙන් ගැටුම් වලට පසු සංක්‍රාන්තික කාලපරිච්ඡේදයක ගමන් ගන්නා සහ ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන්ට අනුවර්තනය වීමට බලය බෙදීමේ රාජ්‍යයන් නම්‍යශීලී නොවන තත්ත්වයන් පෙන්නුම් කරයි; සහ එමෙන්ම, ගිවිසුමට ඇතුළු වන ප්‍රධාන කණ්ඩායම් වල ප්‍රභූන්ගේ අවස්ථාවාදී හැසිරීම් වලට එරෙහිව බලය බෙදාගැනීමේ ගිවිසුමක නීති බලාත්මක කිරීම අතිශයින් දුෂ්කර බව බලය බෙදීමේ විසඳුම පිළිබඳ ගෝලීය අත්දැකීම් ඇසුරින් පැහැදිලි වෙයි.
යථාර්ථය මෙය නම්, ශ්‍රී ලංකාව සඳහා බලය බෙදාගැනීමේ යෝජනාවක් සඳහා බල කරන යෝජකයින් බලය බෙදාගැනීමේ අන්තරාය ගැන නොදැන සිටිති, නැතහොත් ඔවුහු බොරු කියති, ඒ සමහර විට යටි අරමුණක් සහිතව විය හැකිය. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් 2022 නොවැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ඇති එකම විසඳුම ෆෙඩරල් මාවත බව සිංහල ජනතාවට ඇත්ත කියන්න… ඔහු ඒ බව සිංහල ජනතාවට පැවසීමට පසුබට නොවිය යුතුය. ෆෙඩරල් යනු වෙන්වීමක් නොවේ. ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.” කියායි.
බලය බෙදාගැනීමේ අන්තරාය ගැන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එක්කෝ නොදැන සිටිනවා විය යුතුය, එසේත් නැතිනම්, ඔහු බොරු කියනවා විය යුතුය.
බහු සමාජයක මිථ්‍යාව
රාජ් ගොන්සාල්කෝරලේගේ බලය බෙදාගැනීමේ අනෙකුත් යෝජකයන් මෙන්ම විවිධත්වය පිළිබඳ පටු අවබෝධයක් දරයි. ඔහු ‘විවිධත්වය’ සීමා කරන්නේ සංස්කෘතික විවිධත්වය සහ එම විවිධත්වය හා බැඳුණු සියල්ලට පමණි. සමාජයක් සමන්විත වන්නේ බොහෝ අනන්‍යතා සහිත පුද්ගලයන්ගෙන් ය; සමහර අනන්‍යතා වාර්ගිකත්වය, ආගම හෝ භාෂාව වැනි සංස්කෘතික අනන්‍යතා වේ. සමහර ඒවා සංස්කෘතික නොවන අනන්‍යතා, එනම් වෘත්තීය කණ්ඩායම්වල අනන්‍යතාවය, රැකියාවට සම්බන්ධ අනන්‍යතා යනාදියයි. සමාජයකට බහු අනන්‍යතා ඇත. එහෙත්, බලය බෙදා ගැනීමේ යෝජනා හරහා ශ්‍රී ලංකාවේ සෙසු අනන්‍යතා යටපත් කොට, ජනවාර්ගිකත්වය පිළිබඳ අනන්‍යතාවට ප්‍රමුඛතාව දීමට රාජ් යෝජනා කරයි.
රාජ්ට හෝ බලය බෙදා ගැනීමේ වෙනත් යෝජකයන්ට බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණය විසින් යෝජනා කරන ජනවාර්ගික / ආගමික අනන්‍යතාවට පමණක් ප්‍රමුඛතාව ලබා දෙන ‘විවිධත්වය’ අව්‍යාජ විවිධත්වයක් ලෙස සැමරිය හැකිද? එවැනි ආකෘතියක් තුළ සංඛ්‍යාත්මක බහුතරයක් සහිත වාර්ගික අනන්‍යතාවය ශ්‍රී ලාංකීය සමාජයේ ඕනෑම වෙනත් අනන්‍යතාවයක් අභිබවා ආධිපත්‍යය දරයි. එබැවින් එය සමානාත්මතාවයේ සහ විවිධත්වයේ මූලධර්ම හෝ බහුවිධ සමාජයක මූලධර්ම සම්පූර්ණ නොකරයි. “බලය බෙදා ගැනීම බහුවිධ සමාජයක් ඇති කරන බවට” බලය බෙදා ගැනීමේ යෝජකයින් විශ්වාස කරන මිථ්‍යාව ම රාජ් ද විශ්වාස කරන බව පැහැදිලිය.
දෙවන සභා ගර්භයක්
ප්‍රශ්නය විසඳීමට නැවුම් ප්‍රවේශයක් සොයා ගැනීම සඳහා, වාර්ගික කණ්ඩායම්වල සමාන අයිතිවාසිකම් වලට බාධා පමුණුවන පනත් අවහිර කිරීම සඳහා නිෂේධ බලය ඇති සිංහල, දෙමළ සහ මුස්ලිම් නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු දෙවන සභා ගර්භයක් පිහිටුවීමට අන්තර්වාර විසඳුමක් ලෙස රාජ් යෝජනා කරයි. කෙසේ වෙතත්, දෙවන සභාවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වාර්ගිකත්වය භාවිතා කරන බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයක ඇති ‘මහා සභාගයක්’ රාජ් යෝජනා කරන අතර, එය කිසිසේත්ම නැවුම් ප්‍රවේශයක් නොවේ: බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයේ ම කොටසකි. එබැවින්, එම ප්‍රවේශයේ කිසිවක් නැවුම් නොවේ. එය සැබෑ බහුවිධ සමාජයක මූලිකාංග සුරක්ෂිත කරයිද? එසේත් නැතිනම්, ජනවාර්ගිකත්වයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීම සඳහා වෙනත් සංස්කෘතික හා සංස්කෘතික නොවන අනන්‍යතා යටපත් කරයිද? යන්න කල්පනා කිරීම වටී.
එහෙත් රාජ්, යෝජිත දෙවන සභා ගර්භයක භූමිකාව පිළිබඳ සුන්දර චිත්‍රයක් නිරූපණය කරයි: එම දෙවන සභාවට රාජ්ගේ විශ්වාසයන්ට අනුව වාර්ගික නියෝජිතයන් හරහා සියලු ප්‍රජාවන් එකට ගොනු කළ හැකිය. මෙය තාර්කික අපේක්ෂාවකට වඩා ප්‍රාර්ථනාවක් වන අතර, බලය බෙදා ගැනීමේ අත්දැකීමෙන් පෙනී යන්නේ මහා සභාගයක් හෝ දෙවන සභා ගර්භයක් ඇති වුවද, බලය බෙදා ගැනීමේ පාලන තන්ත්‍රයන් තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගත නොහැකි බව ය.
එසේ නම්, අන්තර්වාර යාන්ත්‍රණයක් ලෙස දෙවන සභාවක් බලාපොරොත්තු වන සුභදායී ප්‍රතිඵල ඇති කරන බවට පාඨකයන්ට ඒත්තු ගැන්වීමට රාජ් ට යෝජනා කළ හැකි නැවුම් සාක්ෂි මොනවාද? මෙතෙක්, ගෝලීය සන්දර්භය තුළ පවා අලුත් කිසිදු සාක්ෂියක් පැමිණ නැත.