මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් රාජ්‍ය නිලධාරීන් නීති හා අණ පනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න තිබෙන්න විදියක් නැහැ. මට හේතු අවශ්‍ය නැහැ. රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි. වැවිලි ක්ෂේත්‍රයේදී ඇතැම් නිලධාරින් අණ පනත් පලිහක් කර ගනිමින් කටයුතු කරනවා. 80 දශකයේ මීට අදාළ පනත සකස් කරන විට මේ පිළිබඳව මා අවධානය යොමු කර තිබෙනවා.
මේ ප්‍රදේශවලින් ෆයිනස් වගාව ඉවත් කිරීමට පෙර ඉන් ජල පෝෂක ප්‍රදේශවලට බලපෑම් සිදුවනවා ද යන්න විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි. ෆයිනස් වගාව ඉවත් කර ටර්පන්ටයින් වගාවට යොමුවුණේ ඇයි? ටර්පන්ටයින් වගාව මඟින් ජලපෝෂක ප්‍රදේශවලට බලපෑමක් ඇති වෙනවා නම් එම වගාව ඉවත් කරන්න.
මේ ප්‍රදේශයේ ගුරු හිඟය පිළිබඳව සඳහන් කෙරුණා. ගුරු පත්වීම් ගැනීමෙන් පසුව අවුරුද්දක්, දෙකක් යන විට ස්ථාන මාරු ගන්නවා. පත්වීම ලබා වසර පහක් ගතවනතුරු ගුරු ස්ථාන මාරු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශයත්, පළාත් සභාවත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි. වතු පාසල් සඳහා අලුත් ඉඩම් ලබා ගැනීම පිළිබඳ කළ යෝජනාව සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගණය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට අප කටයුතු කරනවා. දියතලාව මූලික රෝහල නිසා බණ්ඩාරවෙල රෝහලේ සංවර්ධන කටයුතුවල ගැටලුවක් මතුව තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමට පියවර ගන්නවා. බණ්ඩාරවෙල දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරන අතර, එහිදී මේ කටයුතු සොයා බැලිය යුතුයි. බදුල්ල පළාත් මහ රෝහල සංවර්ධනය කිරීමට අදාළ ඉඩම් සියල්ල මේ වන විට නිදහස් කර තිබෙනවා. එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන ලෙස මා ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. අපේ රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම නිසා දැනට විදේශ ආධාර ලැබීම නැවතී තිබෙනවා. ඒ නිසා බදුල්ල පළාත් මහ රෝහලට අවශ්‍ය උපකරණ සඳහා මුදල් ලබාදීමේදී යම් ප්‍රමාදයක් සිදු විය හැකියි. සංචාරකයන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් එම රෝහලේ ස්ථාපිත කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා .
පසුගිය කාලයේ බදුල්ල දිස්ත්‍රික්කයේ අතපසු වූ සංවර්ධන කටයුතු නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා මෙහිදී අදහස් දැක්වීය.
දිස්ත්‍රික්කයේ වාරි මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා ජනාධිපතිවරයා දැනුම්වත් කළ අතර, වම් ඉවුර සංවර්ධනයට ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළේය.
රෂිකා හෙන්නායක